උත්පත්ති 1:1-31

  • අහස සහ පොළොව නිර්මාණය කරයි (1, 2)

  • පොළොව සූදානම් කළ දවස් හය (3-31)

    • 1වෙනි දවස: ආලෝකය; දවල් සහ රාත්‍රිය (3-5)

    • 2වෙනි දවස: අවකාශය (6-8)

    • 3වෙනි දවස: වියළි බිම සහ ගස් වැල් (9-13)

    • 4වෙනි දවස: ආකාශ වස්තු (14-19)

    • 5වෙනි දවස: මාළු සහ කුරුල්ලන් (20-23)

    • 6වෙනි දවස: සත්තු සහ මිනිස්සු (24-31)

1  පටන්ගැන්මේදී* දෙවියන් අහසයි,* පොළොවයි නිර්මාණය කළා.+  පොළොව හිස්, පාළු තැනක් විදිහටයි තිබුණේ. බලන බලන හැම තැනම ගැඹුරු ජලයෙන්+ සහ අන්ධකාරයෙන් වැහිලා තිබුණා. දෙවියන්ගේ බලය+ ජලය+ මතුපිට ක්‍රියාත්මක වෙමින් තිබුණා.  දෙවියන් කිව්වා “දැන් ආලෝකය ඇති කරනවා” කියලා. එතකොට ආලෝකය ඇති වුණා.+  දෙවියන් ආලෝකය හොඳයි කියලා දැක්කා. ඊටපස්සේ දෙවියන් ආලෝකය තියෙන වෙලාවකුයි, අන්ධකාරය තියෙන වෙලාවකුයි නියම කළා.  දෙවියන් ආලෝකය තියෙන වෙලාව දවාල කියලත් අන්ධකාරය තියෙන වෙලාව රාත්‍රිය කියලත් හැඳින්නුවා.+ හවස් වුණා. උදේ වුණා. ඒ පළවෙනි දවස.*  ඊළඟට දෙවියන් කිව්වා “ජලය දෙපැත්තට බෙදිලා ගිහින්+ ඒ අතරේ අවකාශයක්*+ ඇති වෙන්න” කියලා.  දෙවියන් ජලය දෙපැත්තට බෙදලා අවකාශය හැදුවා. බෙදිලා ගිය ජලය අවකාශයට ඉහළිනුයි, පහළිනුයි තිබුණා.+ දෙවියන් කියපු විදිහටම ඒක වුණා.  දෙවියන් අවකාශය අහස කියලා හැඳින්නුවා. හවස් වුණා. උදේ වුණා. ඒ දෙවෙනි දවස.  ඊළඟට දෙවියන් කිව්වා “අහසට යටින් තියෙන ජලය එක තැනකට රැස් කරලා වියළි බිම මතු වෙන්න සලස්වනවා”+ කියලා. කියපු විදිහටම ඒක වුණා. 10  දෙවියන් වියළි බිම පොළොව+ කියලත් එක තැනකට රැස් කරපු ජලය මුහුද+ කියලත් හැඳින්නුවා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.+ 11  දෙවියන් මෙහෙමත් කිව්වා. “තෘණ,* පැළෑටි සහ ගස් ඒ ඒ වර්ග විදිහට පොළොවේ ඇති වෙන්න සලස්වනවා. පැළෑටිවලින් බීජ හටගනියි. ගස්වලින් බීජ තියෙන පලතුරු හටගනියි.” දෙවියන් කියපු විදිහටම ඒක වුණා. 12  පොළොවෙන් තෘණ, පැළෑටි+ සහ ගස් ඒ ඒ වර්ග විදිහට හටගන්න පටන්ගත්තා. පැළෑටිවලින් බීජත් ගස්වලින් බීජ තියෙන පලතුරුත් හටගත්තා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා. 13  හවස් වුණා. උදේ වුණා. ඒ තුන්වෙනි දවස. 14  ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “දවාල සහ රාත්‍රිය වෙන් කරන්න+ ආලෝක වස්තූන්+ අහස්තලයේ දැන් දකින්න ලැබෙයි. ඍතු, දවස් සහ අවුරුදු වෙන් කරලා හඳුනගන්න ඒවා උදව් වෙයි.*+ 15  ඒ ආකාශ වස්තූන්වලින් පොළොවට ආලෝකය ලැබෙයි.” කියපු විදිහටම ඒ දේවල් වුණා. 16  දෙවියන් ප්‍රධාන ආලෝක වස්තූන් දෙක හැදුවා.* දවාලට එළිය ලබා දෙන්න විශාල ආලෝක වස්තුවත්+ රාත්‍රියට එළිය ලබා දෙන්න කුඩා ආලෝක වස්තුවත් තාරකාත් හැදුවා.+ 17  පොළොවට ආලෝකය ලබා දෙන්න දෙවියන් ඒවා අහසේ පේන විදිහට තිබ්බා. 18  ආලෝකය සහ අන්ධකාරය+ වෙන් කරන්නත් දවාලට සහ රාත්‍රියට එළිය ලබා දෙන්නත් දෙවියන් එහෙම කළා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා ඔහු දැක්කා. 19  හවස් වුණා. උදේ වුණා. ඒ හතරවෙනි දවස. 20  ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “දැන් වතුරේ ජීවත් වෙන ජීවීන්ව හදලා ජලයේ පැතිරිලා යන්න සලස්වනවා. අහසේ පියාසර කරන ජීවීන්වත්* හදනවා.”+ 21  දෙවියන් විශාල මුහුදු සතුන්වයි, වතුරේ ජීවත් වෙන සියලුම ජීවීන්වයි ඒ ඒ වර්ග විදිහට නිර්මාණය කළා. දෙවියන් අහසේ පියාසර කරන සියලු ජීවීන්වත් ඒ ඒ වර්ග විදිහට නිර්මාණය කළා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා. 22  දෙවියන් වතුරේ ඉන්න ජීවීන්ට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “බෝ වී වැඩි වෙන්න. මුහුද පුරාම පැතිරිලා යන්න.”+ පියාසර කරන ජීවීන්ටත් “බෝ වී වැඩි වෙලා පොළොව පුරාම පැතිරිලා යන්න” කියලා ආශීර්වාද කළා. 23  හවස් වුණා. උදේ වුණා. ඒ පස්වෙනි දවස. 24  ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “පොළොවේ ජීවත් වෙන්න ඒ ඒ වර්ග විදිහට ජීවීන් ඇති වෙන්න සලස්වනවා. ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හීලෑ සතුන්වයි, කුඩා සතුන්වයි,* වනසතුන්වයි හදනවා.”+ ඒක ඒ විදිහටම වුණා. 25  දෙවියන් ඒ ඒ වර්ග විදිහට පොළොවේ වනසතුන්වයි, හීලෑ සතුන්වයි සියලුම කුඩා සතුන්වයි හැදුවා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා. 26  ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “අපි+ දැන් අපිට සමානකම් තියෙන විදිහට+ මිනිස්සුන්ව හදමු. මුහුදේ ඉන්න මාළුන්ව, අහසේ පියාසර කරන ජීවීන්ව, හීලෑ සතුන්ව සහ පොළොවේ ඉන්න හැම කුඩා සතෙක්වම එයාලා යටතේ තියමු.+ මුළු පොළොවම බලාගන්න එයාලට භාර දෙමු.” 27  දෙවියන් මිනිසාව නිර්මාණය කළා. දෙවියන් මිනිසාව නිර්මාණය කළේ ඔහුට සමානකම් තියෙන විදිහට. ඔහු පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහට එයාලව නිර්මාණය කළා.+ 28  ඊටපස්සේ දෙවියන් එයාලට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙලා+ ඒක ඔයාලා යටතේ තියාගන්න.+ පොළොවේ ඉන්න සියලුම සතුන්වයි, මුහුදේ ඉන්න මාළුවන්වයි, අහසේ පියාසර කරන ජීවීන්වයි ඔයාලා යටතේ තියාගන්න.”+ 29  ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “පොළොව පුරාම තියෙන බීජ හැදෙන හැම පැළෑටියක්ම, පලතුරු හැදෙන හැම ගහක්ම මම ඔයාලට දෙනවා. ඒවා ඔයාලට දෙන්නේ කෑම විදිහට.+ 30  පොළොවේ ඉන්න සියලුම වනසතුන්ට, අහසේ පියාසර කරන සියලුම ජීවීන්ට වගේම පොළොවේ ඉන්න අනිත් සියලුම ජීවීන්ට කෑම විදිහට මම නිල් පලා වර්ග දුන්නා.”+ දෙවියන් කියපු විදිහටම වුණා. 31  ඊටපස්සේ දෙවියන් තමන් හදපු හැම දෙයක්ම දිහා බැලුවා. ඒ හැම දේම ඉතා හොඳයි කියලා ඔහු දැක්කා.+ හවස් වුණා. උදේ වුණා. ඒ හයවෙනි දවස.

පාදසටහන්

ඒ කියන්නේ ඉර, හඳ, තරු සහ මන්දාකිනි වගේ විශ්වයේ තියෙන දේවල්.
මෙතන කතා කරන්නේ විශ්වයේ ආරම්භය ගැනයි.
බයිබලයේ “දවස” කියන වචනයෙන් විවිධ කාල පරිච්ඡේදයන් අදහස් කරන්න පුළුවන්. ඒකෙන් හැම වෙලේම පැය 24ක් අදහස් කරන්නේ නැහැ.
ඒ කියන්නේ වායුගෝලය.
මේකට තණකොළ, ධාන්‍ය වර්ග, කෙත්වතුවල වැවෙන දේවල්, උක් සහ උණ ගස් ඇතුළත්.
මූ.අ., “ඒවා ලකුණු වෙයි.”
ඒ කියන්නේ දකින්න සැලැස්සුවා. මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනය 1:1, 21, 27 සහ 2:3 තියෙන “නිර්මාණය කළා” කියලා සඳහන් වෙන වචනයට වඩා වෙනස්.
මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් කුරුල්ලන් සහ පියාපත් තියෙන කෘමීන් අදහස් වෙන්න පුළුවන්.
මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මීයන්, උරගයන්, කෘමීන් ඇතුළු බඩ ගාගෙන යන අනිත් සත්තු අදහස් වෙනවා.