උත්පත්ති 13:1-18

  • ආබ්‍රම් ආපහු කානාන් දේශයට එයි (1-4)

  • ආබ්‍රම් සහ ලොත් වෙන් වෙයි (5-13)

  • දෙවියන් ආබ්‍රම්ට දුන්න පොරොන්දුව ආයෙත් කියයි (14-18)

13  ආබ්‍රම් එයාට තිබුණු හැම දෙයක්ම අරගෙන එයාගේ බිරිඳ සහ ලොත් එක්ක ඊජිප්තුවෙන් පිටත් වෙලා ගියා. එයාලා ගියේ නෙගෙබ්+ දිහාවටයි.  ආබ්‍රම්ට සත්තු ගොඩක් හිටියා. රන් රිදීවලිනුත් එයාට කිසිම අඩුවක් තිබුණේ නැහැ.+  ඊටපස්සේ එයා නෙගෙබ්වලින් පිටත් වෙලා බෙතෙල් වෙන කල් ගියා. එහෙම යද්දී එයා තැනින් තැන කූඩාරම් ගහගෙන ජීවත් වුණා. ආබ්‍රම් කලින් බෙතෙල් සහ ආයි+ අතර කූඩාරම් ගහගත්ත තැනටම ආයෙත් ආවා.  ආබ්‍රම් කලින් පූජාසනයක් හදලා තිබුණු ඒ තැනට ඇවිත් යෙහෝවා කියන නම පාවිච්චි කරලා දෙවියන්ට නමස්කාර කළා.  ආබ්‍රම් එක්ක තැනින් තැනට ගිය ලොත්ටත් බැටළුවන් සහ ගවයන් හිටියා. එයාට කූඩාරමුත් තිබුණා.  එයාලා දෙන්නාටම ගොඩක් සත්තු හිටපු නිසා එකට ජීවත් වෙන්න ඒ ප්‍රදේශයේ ඉඩ මදි වුණා.  ඒ හින්දා ආබ්‍රම්ගේ සත්තු බලාගත්ත අය සහ ලොත්ගේ සත්තු බලාගත්ත අය අතරේ ආරවුලක් ඇති වුණා. ඔය කාලේදී කානානිවරු සහ පෙරිස්සිවරු දේශයේ ජීවත් වුණා.+  ආබ්‍රම් ලොත්ට මෙහෙම කිව්වා.+ “අපි දෙන්නා සහෝදරයෝ. අනේ ඉතින්, අපි දෙන්නා අතරෙයි, අපේ සේවකයෝ අතරෙයි මෙහෙම ආරවුල් ඇති වෙන එක හොඳ දෙයක් නෙමෙයි.  අපි වෙන වෙනම ජීවත් වෙමු. ඔයාට මේ දේශයේ ඕනම පැත්තක් තෝරගන්න පුළුවන්. ඔයා වමට යනවා නං මම දකුණට යන්නං. ඔයා දකුණට යනවා නං මම වමට යන්නං.” 10  ලොත් ඒ ප්‍රදේශය දිහා හොඳට බැලුවා. එතකොට එයා දැක්කා යොර්දාන් දේශයේ+ ෂොවර්+ දක්වාම තියෙන ප්‍රදේශයේ හොඳට වතුර තියෙනවා කියලා. ඒක හරියට යෙහෝවා දෙවියන් හදපු උයන* වගෙයි.+ හරියට ඊජිප්තුව වගෙයි. ඒ ප්‍රදේශය එහෙම තිබුණේ යෙහෝවා සොදොම් සහ ගොමෝරා විනාශ කරන්න කලිනුයි. 11  ලොත් මුළු යොර්දාන් දේශයම තෝරගත්තා. එයා එයාට තිබුණු හැම දෙයක්ම අරගෙන නැඟෙනහිර පැත්තට ගියා. ඒ විදිහට එයාලා දෙන්නා වෙන් වෙලා ගියා. 12  ආබ්‍රම් කානාන් දේශයේ ජීවත් වුණා. ඒත් ලොත් ජීවත් වුණේ යොර්දාන් දේශයේ තිබුණු නගරවලට කිට්ටුව.+ පස්සේ එයා සොදොම් නගරය ළඟ කූඩාරම් ගහගත්තා. 13  සොදොම් නගරයේ හිටපු අය හරිම දුෂ්ට මිනිස්සු. එයාලා යෙහෝවා දෙවියන්ට විරුද්ධව ගොඩක් බරපතළ වැරදි කළා.+ 14  ලොත් ආබ්‍රම්ගෙන් වෙන් වෙලා ගියාට පස්සේ යෙහෝවා ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ආබ්‍රම් ඔයාට පුළුවන්ද උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර කියන හැම පැත්තක් දිහාම බලන්න? 15  ඔයාට පේන ඒ මුළු දේශයම මම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි සදහටම උරුමයක් හැටියට දෙනවා.+ 16  මම ඔයාගෙන් පැවතෙන අයව පොළොවේ දූවිලි වගේ වැඩි කරනවා. කාටවත් පොළොවේ තියෙන දූවිලි අංශු ගණන් කරන්න බැහැ. ඒ වගේ ඔයාගෙන් පැවතෙන අයවත් ගණන් කරන්න බැරි වෙයි.+ 17  දැන් ඔයා දේශයේ හතර දිශාවටම ගිහින් බලන්න. මොකද මම ඒක ඔයාට දෙනවා.” 18  ආබ්‍රම් දිගටම කූඩාරම්වල ජීවත් වුණා. පස්සේ එයා හෙබ්‍රොන්වලට+ ගිහින් මම්රේවල+ විශාල ගස් ළඟ නතර වුණා. එතන එයා යෙහෝවා වෙනුවෙන් පූජාසනයක් ගොඩනැඟුවා.+

පාදසටහන්

ඒ කියන්නේ ඒදන් උයන.