උත්පත්ති 15:1-21

  • දෙවියන් ආබ්‍රම් එක්ක කළ ගිවිසුම (1-21)

    • අවුරුදු 400ක් හිරිහැර විඳිනවා කියලා කියයි (13)

    • දෙවියන් ආබ්‍රම්ට දුන්න පොරොන්දුව ආයෙත් කියයි (18-21)

15  ඒ දේවල් වුණාට පස්සේ යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට දර්ශනයකින් මෙහෙම කිව්වා. “ආබ්‍රම්, බය වෙන්න එපා.+ මම ඔයාට පලිහක් වෙනවා.+ ඔයාට ගොඩක් ආශීර්වාද ලැබෙනවා.”+  එතකොට ආබ්‍රම් මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මට තාම දරුවෙක් නැහැ. ඉතින් ඔයා දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද? මගෙන් පස්සේ උරුමක්කාරයා වෙන්නේ දමස්කයේ එලියේසර්.”+  ආබ්‍රම් මෙහෙමත් කිව්වා. “ඔයා තාමත් මට දරුවෙක් දුන්නේ නැහැ.+ ඒ නිසා මගේ උරුමක්කාරයා වෙන්නේ මගේ ගෙදර ඉන්න සේවකයෙක්!”  ඒත් යෙහෝවා ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ ඔයාගේ සේවකයා නෙමෙයි. ඔයාගෙම පුතෙක් තමයි ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ.”+  ඊටපස්සේ දෙවියන් ආබ්‍රම්ට කූඩාරමෙන් එළියට එන්න කියලා මෙහෙම කිව්වා. “අහස දිහා බලලා තාරකා ගණන් කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඔයාට ඒවා ගණන් කරන්න පුළුවන් නම් එහෙම කරන්න. ඔයාගෙන් පැවතෙන අයත් තරු වගේ වැඩි වෙනවා.”+  ආබ්‍රම් යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා.+ ඒ නිසා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා.+  ඊටපස්සේ දෙවියන් ආබ්‍රම්ට මෙහෙමත් කිව්වා. “මම යෙහෝවා. ඔයාට මේ දේශය උරුමයක් විදිහට දෙන්න කල්දිවරුන්ට අයිති ඌර් නගරෙන් ඔයාව පිටතට ගෙනාවේ මමයි.”+  එතකොට ආබ්‍රම් මෙහෙම ඇහුවා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මම මේ දේශය උරුම කරගන්න යනවා කියලා මම දැනගන්නේ කොහොමද?”  දෙවියන් එයාට මෙහෙම කිව්වා. “අවුරුදු තුනක් වයස වැස්සියෙක්වයි, අවුරුදු තුනක් වයස එළුදෙනක්වයි, අවුරුදු තුනක් වයස බැටළුවෙක්වයි, කොබෙයියෙක්වයි, පරෙවියෙක්වයි* මං ළඟට ගේන්න.” 10  ආබ්‍රම් ඒ ඔක්කොම සත්තු ගෙනල්ලා දෙකට කැපුවා. එයා ඒ එක එක සතාගේ කොටස් එකිනෙකට ගැළපෙන විදිහට පේළියට තිබ්බා. ඒත් එයා කුරුල්ලන්ව කොටස්වලට කැපුවේ නැහැ. 11  මළ කුණුවල වහන කුරුල්ලෝ ඇවිත් මරපු ඒ සත්තු කන්න ඒවා වටේ කැරකෙන්න පටන්ගත්තා. ඒත් ආබ්‍රම් උන්ව එළවලා දැම්මා. 12  ඉර බහින්න ළං වෙලා තියෙද්දී ආබ්‍රම් තද නින්දකට වැටුණා. හරිම භයානක අන්ධකාරයක් එයාව වට කරගන්නවා එයා හීනෙන් දැක්කා. 13  එතකොට දෙවියන් ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගෙන් පැවතෙන අය එයාලට අයිති නැති දේශයක විදේශිකයන් විදිහට ජීවත් වෙනවා කියලා මම ස්ථිරවම කියනවා. එයාලා ඒ දේශයේ වැසියන්ගේ වහලුන් වෙනවා. ඒ දේශයේ වැසියෝ අවුරුදු 400ක් පුරා එයාලට හිරිහැර කරනවා.+ 14  ඒත් එයාලව වහලුන් කරගන්න ඒ ජාතියට මම දඬුවම් කරනවා.+ ඊටපස්සේ ඔයාගෙන් පැවතෙන අය ගොඩක් වස්තු එකතු කරගෙන ඒ දේශයෙන් පිටත් වෙලා යනවා.+ 15  ඒත් ඔයා සෑහෙන කාලයක් ජීවත් වෙනවා. මහලු වයසට ආවාම හිතේ කිසි බරක් නැතුව ඔයා මිය යනවා. ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාවත් තැන්පත් කරනවා.+ 16  ඒත් ඔයාගෙන් පැවතෙන අයගේ හතරවෙනි පරම්පරාව ආයෙත් මේ දේශයට එනවා.+ ඒ කාලේ වෙද්දී තමයි අමෝරිවරුන්ගේ දුෂ්ටකම් පහත්ම අඩියට බහින්නේ.”+ 17  ඉර බැහැලා ගියාට පස්සේ ඝන අන්ධකාරයක් ඇති වුණා. එතකොට ආබ්‍රම් දුම් නඟින උදුනක් සහ ගිනි පන්දමක් දැක්කා. ඒ ගිනි පන්දම සත්තුන්ගේ කොටස් මැදින් ගියා. 18  ඒ දවසේදී යෙහෝවා ආබ්‍රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්‍රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ 19  කේනිවරුන්,+ කෙනිෂ්ෂිවරුන්, කද්මොනිවරුන්, 20  හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ රෙෆායිවරුන්,+ 21  අමෝරිවරුන්, කානානිවරුන්, ගිර්ගාෂිවරුන් සහ යෙබූසිවරුන්+ ඉන්න ඒ මුළු දේශයම මම එයාලට දෙනවා.”

පාදසටහන්

ඒ කියන්නේ තරුණ පරෙවියෙක්වයි.