උත්පත්ති 16:1-16
-
හාගර් සහ ඉෂ්මායෙල් (1-16)
16 ආබ්රම්ගේ බිරිඳ වුණ සාරයිට ඒ වෙද්දීත් දරුවෙක් හිටියේ නැහැ.+ සාරයිට හාගර්+ කියලා ඊජිප්තු ජාතික සේවිකාවක් හිටියා.
2 සාරයි ආබ්රම්ට මෙහෙම කිව්වා. “අනේ, මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. දරුවන් බිහි කරන ආශීර්වාදය යෙහෝවා දෙවියන් මට දීලා නැහැ. ඉතින් මගේ සේවිකාව එක්ක එකට ඉන්න.* එතකොට එයාගෙන්වත් මට දරුවෙක් ලැබෙයි.”+ ආබ්රම් සාරයිගේ ඉල්ලීමට එකඟ වුණා.
3 ඊටපස්සේ ආබ්රම්ගේ බිරිඳ වුණ සාරයි එයාගේ ඊජිප්තු ජාතික සේවිකාව වුණ හාගර්ව එයාගේ ස්වාමිපුරුෂයාට බිරිඳක් විදිහට දුන්නා. ඒ වෙද්දී ආබ්රම් කානාන් දේශයේ අවුරුදු දහයක් ජීවත් වෙලා තිබුණා.
4 ආබ්රම් හාගර් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. පස්සේ එයා ගැබ්ගත්තා. එයාට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තාම හාගර් එයාගේ ස්වාමිදුවව පහත් කරලා සලකන්න පටන්ගත්තා.
5 සාරයි ආබ්රම්ට මෙහෙම කිව්වා. “මගේ සේවිකාව වන හාගර්ව ඔයාට දුන්නේ මමයි. ඒත් දරුවෙක් හම්බ වෙන්න යනවා කියලා දැනගත්තාට පස්සේ එයා මාව පහත් කරලා සලකනවා. මට වෙච්ච මේ අසාධාරණයට වග කියන්න ඕනෙ ඔයායි. ඔයාද හරි මමද හරි කියලා යෙහෝවාම විනිශ්චය කරයි!”
6 ඉතින් ආබ්රම් සාරයිට මෙහෙම කිව්වා. “ඔයාගේ සේවිකාව ඔයාට භාරයි. ඉතින් ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න.” ඊටපස්සේ සාරයි හාගර්ට පහත් විදිහට සලකන්න පටන්ගත්තා. ඒ නිසා හාගර් සාරයිගෙන් පලා ගියා.
7 ඊටපස්සේ කාන්තාරයේ ෂුර්වලට+ යද්දී තියෙන දිය උල්පත ළඟදී යෙහෝවා දෙවියන්ගේ දූතයාට හාගර්ව හම්බ වුණා.
8 දේවදූතයා එයාගෙන් මෙහෙම ඇහුවා. “සාරයිගේ සේවිකාව වන හාගර්, ඔයා ආවේ කොහේ ඉඳන්ද? ඔයා යන්නේ කොහෙටද?” එතකොට හාගර් මෙහෙම උත්තර දුන්නා. “මම මගේ ස්වාමිදුවගෙන් පලා යනවා.”
9 යෙහෝවාගේ දූතයා “ඔයාගේ ස්වාමිදුව ළඟට ආපහු යන්න. නිහතමානී වෙලා එයා කියන විදිහට වැඩ කරන්න” කියලා එයාට කිව්වා.
10 “මම ඔයාගෙන් පැවතෙන අයව ගණන් කරන්න බැරි තරමට වැඩි කරනවා”+ කියලත් යෙහෝවාගේ දූතයා කිව්වා.
11 යෙහෝවා දෙවියන්ගේ දූතයා මෙහෙමත් කිව්වා. “දැන් ඔයාට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඔයාට ඉපදෙන්නේ පුතෙක්. එයාට ඉෂ්මායෙල්* කියන නම තියන්න. මොකද දුකේදී ඔයා කරපු කන්නලව්වලට යෙහෝවා ඇහුම්කන් දුන්නා.
12 ඉෂ්මායෙල් හීලෑ නැති බූරුවෙක්* වගේ වෙනවා. එයා හැමෝටම විරුද්ධව වැඩ කරනවා. හැමෝම එයාටත් විරුද්ධ වෙනවා. එයා එයාගේ සහෝදරයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙනවා.”*
13 ඊටපස්සේ හාගර් යෙහෝවා කියන දෙවියන්ගේ නමට ප්රශංසා කළා. “මං දිහා බලාගෙන ඉන්න තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා නේද” කියලා හිතපු හාගර් එයා එක්ක කතා කරපු දෙවියන්ට මෙහෙම කිව්වා. “ඔබ හැම දෙයක්ම දකින දෙවි කෙනෙක්.”+
14 එතන තියෙන ළිඳට බෙයර්ලහයිරොයි* කියන නම දාලා තියෙන්නේ ඒ නිසයි. ඒ ළිඳ තියෙන්නේ කාදෙෂ් සහ බෙරෙද් අතරයි.
15 පස්සේ හාගර් පුතෙක් බිහි කළා. ආබ්රම් එයාගේ පුතාට ඉෂ්මායෙල්+ කියන නම තිබ්බා.
16 ඉෂ්මායෙල් ඉපදෙද්දී ආබ්රම්ට වයස අවුරුදු 86යි.
පාදසටහන්
^ හෝ, “ලිංගික සම්බන්ධකම් පවත්වන්න.”
^ තේරුම, “දෙවියන් සවන් දෙනවා.”
^ සමහරු හිතනවා මෙතන කතා කරන්නේ සීබ්රා ගැන කියලා. ඒ විදිහට එයා ගැන කතා කරලා තියෙන්නේ එයා ස්වාධීනව වැඩ කරනවා කියලා පෙන්නන්න වෙන්න පුළුවන්.
^ හෝ සමහරවිට, “සහෝදරයන්ට හතුරුකම් කරමින් ජීවත් වෙනවා.”
^ තේරුම, “මං දිහා බලාගෙන ඉන්න ජීවමාන තැනැත්තාට අයිති ළිඳ.”