උත්පත්ති 27:1-46

  • යාකොබ්ට ඊසාක්ගේ ආශීර්වාදය ලැබෙයි (1-29)

  • ඒසව් ආශීර්වාදයක් ලබාගන්න හැදුවත් එයාගේ පසුතැවිල්ලක් නැහැ (30-40)

  • ඒසව් යාකොබ් එක්ක වෛර බැඳගනියි (41-46)

27  ඊසාක්ට ගොඩක් වයස හින්දා එයාගේ ඇසුත් පේන්නේ නැති තරමටම දුර්වල වෙලා තිබුණා. දවසක් එයා එයාගේ ලොකු පුතා ඒසව්ට+ “මගේ පුතේ” කියලා අඬගැහුවා. ඒසව් “ඇයි තාත්තේ” කියලා කිව්වා.  ඊසාක් එයාට මෙහෙම කිව්වා. “මං දැන් හොඳටම වයසයි. කවදා මැරෙයිද කියලා දන්නේ නැහැ.  ඉතින් ඔයාගේ දුන්නයි, ඊතලයි අරගෙන කැලේට ගිහින් මට දඩමස් ටිකක් අරන් එන්න.+  ඒ මස් ටික මං ආස විදිහට රහට උයලා මට කන්න ගෙනත් දෙන්න. ඊටපස්සේ මැරෙන්න කලින් ඔයාට ආශීර්වාද කරන්න මට පුළුවන්.”  ඊසාක් එයාගේ පුතා ඒසව්ට කියපු ඒ හැම දෙයක්ම රෙබෙකා අහගෙනයි හිටියේ. ඒසව් එයාගේ තාත්තාට දඩමස් ගේන්න කැලේට ගියා.+  ඊටපස්සේ රෙබෙකා එයාගේ පුතා යාකොබ්ට+ මෙහෙම කිව්වා. “දැන් ටිකකට කලින් තාත්තා අයියාට කතා කරා. තාත්තා ඒසව්ට මෙහෙම කියනවා මට ඇහුණා.  ‘දඩමස් ටිකක් මං ආස විදිහට රහට උයලා මට කන්න ගෙනත් දෙන්න. ඊටපස්සේ මැරෙන්න කලින් යෙහෝවා දෙවියන් ඉස්සරහා මං ඔයාට ආශීර්වාද කරන්නම්.’+  පුතේ, දැන් මං කියන දේ හොඳට අහගෙන ඒ විදිහටම කරන්න.+  ගිහින් රැළේ ඉන්න හොඳම එළු පැටව්* දෙන්නෙක්ව තෝරලා මට ගෙනත් දෙන්න. තාත්තා ආස විදිහටම මං ඒ මස් ටික රහට උයලා දෙන්නම්. 10  ඒක ඔයා තාත්තාට ගිහින් දෙන්න. එතකොට එයාට පුළුවන් මැරෙන්න කලින් ඔයාට ආශීර්වාද කරන්න.” 11  ඒත් යාකොබ් අම්මාට මෙහෙම කිව්වා. “අයියාගේ ඇඟ පුරාම රෝම තියෙනවා.+ ඒත් මට එහෙම නෑනේ. 12  නිකමටවත් තාත්තා මාව අතගාලා බැලුවොත් මොකද වෙන්නේ?+ මං එයාව රවට්ටන්න හදනවා කියලා හිතයි. එතකොට එයා ආශීර්වාද කරනවා වෙනුවට මට ශාප කරයි.” 13  එතකොට අම්මා එයාට මෙහෙම කිව්වා. “මගේ පුතේ, ඔයාට කරන ශාපේ මට වැදුණදෙන්! දැන් මං කියන දේ අහලා අර සත්තු දෙන්නාව මට ගෙනත් දෙන්න.”+ 14  ඉතින් යාකොබ් උන්ව අරන් ඇවිත් එයාගේ අම්මාට දුන්නා. එයා ඒක ඊසාක් ආස කරන විදිහට රහට ඉව්වා. 15  ඊටපස්සේ රෙබෙකා එයාගේ ලොකු පුතා වුණ ඒසව්ගේ හොඳම ඇඳුම් අරගෙන එයාගේ බාල පුතා වුණ යාකොබ්ට+ ඇන්දුවා. 16  එයාගේ අත් දෙකයි, බෙල්ලයි එළු පැටවුන්ගේ හම්වලින් වැහුවා.+ 17  ඊටපස්සේ එයා රහට හදපු මස් එකයි, රොටියි එයාගේ පුතා වුණ යාකොබ්ට දුන්නා.+ 18  යාකොබ් තාත්තා ළඟට ගිහිල්ලා “තාත්තේ” කියලා එයාට කතා කළා. එතකොට ඊසාක් “ඔයා කවුද පුතේ” කියලා ඇහුවා. 19  යාකොබ් එයාගේ තාත්තාට මෙහෙම කිව්වා. “මම ඔයාගේ ලොකු පුතා ඒසව්.+ මම ඔයා කියපු විදිහටම කළා. දැන් නැඟිටලා මම ගෙනාපු දඩමස් ටික කන්න. ඊටපස්සේ මට ආශීර්වාද කරන්න.”+ 20  එතකොට ඊසාක් පුතාට මෙහෙම කිව්වා. “පුතේ, ඔයා මෙච්චර ඉක්මනට දඩමස් ගෙනාවේ කොහොමද?” එතකොට යාකොබ් කිව්වා “ඔයාගේ දෙවි යෙහෝවා මට උදව් කළා” කියලා. 21  එතකොට ඊසාක් යාකොබ්ට මෙහෙම කිව්වා. “පුතේ මං ළඟට එන්න. ඔයාව අතගාලා බලලා ඔයා ඇත්තටම මගේ පුතා ඒසව්ද කියලා මට බලන්න ඕනේ.”+ 22  ඉතින් යාකොබ් එයාගේ තාත්තා ළඟට ගියා. තාත්තා එයාව අතගාලා බලලා මෙහෙම කිව්වා. “ඔයාගේ කටහඬ නං යාකොබ්ගේ වගේ. ඒත් අත් දෙක නං ඒසව්ගේ වගේ.”+ 23  එයාගේ අයියා වුණ ඒසව්ගේ අත්වල වගේ එයාගේ අත් දෙකෙත් රෝම තිබුණ නිසා ඊසාක් එයාව අඳුරගත්තේ නැහැ. ඉතින් ඊසාක් යාකොබ්ට ආශීර්වාද කළා.+ 24  ඊටපස්සේ එයා මෙහෙම ඇහුවා. “ඔයා ඇත්තටම මගේ පුතා ඒසව්ද?” යාකොබ් “ඔව්, මම ඒසව්” කියලා උත්තර දුන්නා. 25  එතකොට එයා මෙහෙම කිව්වා. “පුතේ, කෑම ටික ගේන්න. ඔයා ගෙනාපු දඩමස් ටික කෑවාට පස්සේ මම ඔයාට ආශීර්වාද කරන්නම්.” ඉතින් උයපු මස් ටිකයි, වයින් ටිකකුයි යාකොබ් තාත්තාට දුන්නා. එයා කෑම කාලා වයින් බිව්වා. 26  ඊටපස්සේ එයාගේ තාත්තා වුණ ඊසාක් එයාට මෙහෙම කිව්වා. “පුතේ, දැන් මං ළඟට ඇවිත් මාව ඉඹින්න.”+ 27  යාකොබ් තාත්තා ළඟට ගිහින් එයාව ඉම්බා. ඊසාක්ට එයාගේ ඇඳුම්වල සුවඳ දැනුණාම+ එයා යාකොබ්ට මෙහෙම ආශීර්වාද කළා. “මගේ පුතාගේ සුවඳ යෙහෝවා ආශීර්වාද කරපු තණබිම්වල සුවඳ වගේ. 28  සැබෑ දෙවියන්ගෙන් ඔයාට අහසෙන් පිනිත්+ පොළොවෙන් සරු පසත්+ ගොඩක් ධාන්‍යත් අලුත් වයිනුත් ලැබේවා!+ 29  ජනයා ඔයාට සේවය කරයි. ජාතීන් ඔයාට හිස නමයි. ඔයා ඔයාගේ සහෝදරයන්ව පාලනය කරයි. ඔයාගේ සහෝදරයෝ ඔයාට හිස නමයි!+ ඔයාට ශාප කරන හැමෝටම ශාප වේවා! ඔයාට ආශීර්වාද කරන හැමෝටම ආශීර්වාද ලැබේවා!”+ 30  ඊසාක් යාකොබ්ට ආශීර්වාද කරලා ඉවර වුණාම එයා එතනින් ගියා. එයා යනවාත් එක්කම එයාගේ අයියා වුණ ඒසව් දඩයමේ ගිහිල්ලා ආවා.+ 31  එයාත් කෑමක් රහට උයාගෙන එයාගේ තාත්තා ළඟට ඒක අරගෙන ගිහින් මෙහෙම කිව්වා. “තාත්තේ, නැඟිටලා ඔයාගේ පුතා ගෙනාපු දඩමස් ටික කන්න. ඊටපස්සේ ඔයාට පුළුවන් මට ආශීර්වාද කරන්න.” 32  එතකොට එයාගේ තාත්තා වුණ ඊසාක් “ඔයා කවුද” කියලා ඇහුවා. එයා කිව්වා “මම ඔයාගේ ලොකු පුතා, ඒසව්”+ කියලා. 33  හොඳටම කලබල වුණ ඊසාක් වෙවුලන්න පටන්ගත්තා. එයා මෙහෙම ඇහුවා. “එතකොට දැන් ටිකකට කලින් දඩයමේ ගිහින් මට දඩමස් ගෙනත් දුන්නේ කවුද? ඔයා එන්න කලින් මම ඒක කාලා එයාට ආශීර්වාද කළා. ඒ ආශීර්වාද එයාට අනිවාර්යයෙන්ම ලැබෙයි.” 34  එයාගේ තාත්තා කියපු දේ ඇහුව ගමන්ම ඒසව් හරිම දුකෙන් කෑගහලා තාත්තාගෙන් මෙහෙම ඉල්ලුවා. “අනේ තාත්තේ, මටත් ආශීර්වාද කරන්න.”+ 35  ඒත් ඊසාක් මෙහෙම කිව්වා. “ඔයාගේ මල්ලි මාව රවට්ටලා ඔයාට ලැබෙන්න ඕනෙ ආශීර්වාදය ලබාගත්තා.” 36  එතකොට ඒසව් මෙහෙම කිව්වා. “එයාට යාකොබ්* කියන නම දුන්නේ නිකන්ද? එයා දෙපාරක්ම මට අයිති දේ උදුරගත්තා.+ එයා මුලින්ම කුලුඳුලා හැටියට මගේ අයිතිය ගත්තා.+ දැන් මට ලැබෙන්න තිබුණු ආශීර්වාදයත් උදුරගත්තා.”+ ඊටපස්සේ ඒසව් ඊසාක්ගෙන් මෙහෙමත් ඇහුවා. “අනේ තාත්තේ, ඔයා මට ආශීර්වාදයක් ඉතුරු කළේ නැද්ද?” 37  ඒත් ඊසාක් ඒසව්ට මෙහෙම උත්තර දුන්නා. “මම එයාව ඔයාගේ පාලකයා හැටියට පත් කළා.+ එයාගේ සහෝදරයන් හැමෝම එයාගේ සේවකයන් හැටියට දෙනවා කියලා කිව්වා. ධාන්‍ය සහ අලුත් වයින් අඩුවක් නැතුව ලැබෙන්න කියලත් මම එයාට ආශීර්වාද කළා.+ ඉතින් මගේ පුතේ, ඔයාට දෙන්න දැන් ආශීර්වාදයක් ඉතුරු වෙලා නැහැනේ.” 38  ඒසව් තාත්තාට මෙහෙම කිව්වා. “අනේ තාත්තේ, මට දෙන්න එක ආශීර්වාදයක්වත් ඉතුරු වෙලා නැද්ද? අනේ තාත්තේ, මටත් ආශීර්වාද කරන්නකෝ.” එහෙම කියලා ඒසව් කෑගහලා අඬන්න පටන්ගත්තා.+ 39  එතකොට එයාගේ තාත්තා වුණ ඊසාක් එයාට මෙහෙම කිව්වා. “ඔයාට සරු පසක් නැති, අහසෙන් පිනි වැටෙන්නේ නැති තැන්වල ජීවත් වෙන්න වෙයි.+ 40  ජීවිත කාලේ පුරාම ඔයාගේ කඩුව ඔයාට ළඟ තියාගන්න වෙයි.+ ඔයා මල්ලිගේ සේවකයා වෙනවා.+ ඒත් ඔයාගේ ඉවසීම නැති වුණ දවසට එයා ඔයා පිට පටවලා තියෙන වියගහ ඔයා කඩලා දානවා.”*+ 41  තාත්තා යාකොබ්ට ආශීර්වාද කරපු නිසා ඒසව් යාකොබ් එක්ක වෛර බැඳගත්තා.+ ඒසව් මෙහෙම හිතාගත්තා. “තාත්තා තව වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ.*+ ඊටපස්සේ මම මල්ලිව මරනවා.” 42  ඒසව් කරන්න හිතාගෙන හිටපු දේ ගැන රෙබෙකා දැනගත්ත ගමන්ම එයාගේ බාල පුතා වුණ යාකොබ්ට එන්න කියලා එයා මෙහෙම කිව්වා. “ඔයාගේ අයියා ඒසව් බලන් ඉන්නේ ඔයාගෙන් පළිගන්න. එයා ඔයාව මරන්නයි හදන්නේ.* 43  ඒ නිසා පුතේ, මං කියන දේ අහන්න. ඉක්මන් කරලා හාරාන්වල ඉන්න මගේ අයියා, ලාබන් ළඟට යන්න.+ 44  ඔයාගේ අයියාගේ කේන්තිය අඩු වෙන කල් ඔයා එහෙට වෙලා ටික කාලයක් ඉන්න. 45  ඔයාගේ අයියාගේ කේන්තිය අඩු වෙලා ඔයා කරපු දේ එයාට අමතක වෙන කල් ඔයා එහෙට වෙලා ඉන්න. ඔයා ආපහු එන්න ඕනෙ කවදාද කියලා මං ඔයාට දන්වලා එවන්නම්. එකම දවසේ ඔයාලා දෙන්නාවම නැති කරගන්න මට බැහැ.” 46  රෙබෙකා ඊසාක්ට කීප සැරයක්ම මෙහෙම කිව්වා. “හෙත්ගේ දුවලා+ දෙන්නා නිසා මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. යාකොබ් කවදා හරි ඒසව් වගේ මේ අවට ඉන්න හෙත්ගේ දුවෙක්ව බැන්දොත් මට ජීවත් වෙලා වැඩක් නැහැ.”+

පාදසටහන්

ඒ කියන්නේ තරුණ එළුවන්.
තේරුම, “විලුඹ අල්ලගන්න කෙනා; උදුරගන්න කෙනා.”
හෝ, “එයාගෙන් නිදහස් වෙනවා.”
හෝ, “තාත්තා ගැන වැලපෙන කාලේ ළඟයි.”
හෝ, “ඔයාව මරනවා කියලා හිතාගෙන එයාගේ හිත හදාගෙන ඉන්නවා.”