උත්පත්ති 3:1-24

  • මිනිසා පාපයට වැටුණ විදිහ (1-13)

    • මුල්ම බොරුව (4, 5)

  • යෙහෝවා කැරලිකරුවන්ට දුන්න විනිශ්චය (14-24)

    • ස්ත්‍රියගෙන් පැවතෙන කෙනා ගැන කියයි (15)

    • ඒදන් උයනෙන් එළියට දායි (23, 24)

3  යෙහෝවා දෙවියන් හදපු හැම සතෙක්ටම වඩා සර්පයා+ හරිම විමසිල්ලෙන් ඉන්න* සතෙක්. ඉතින් ඌ ස්ත්‍රියට කතා කරලා මෙහෙම ඇහුවා. “ඔයාට උයනේ තියෙන හැම ගහකින්ම කන්න එපා කියලා දෙවියන් කිව්වා කියන්නේ ඇත්තද?”+  එතකොට ස්ත්‍රිය සර්පයාට මෙහෙම කිව්වා. “උයනේ තියෙන ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.+  ඒත් උයන මැද තියෙන ගහේ පලතුරු ගැන දෙවියන් මෙහෙම කියලා තියෙනවා.+ ‘ඒ ගහේ පලතුරු කන්නවත් ඒකට අත තියන්නවත් එපා. එහෙම කළොත් ඔයා මැරෙනවා.’”  එතකොට සර්පයා ස්ත්‍රියට මෙහෙම කිව්වා. “ඒක ඇත්ත නෙමෙයි. ඔයා මැරෙන්නේ නැහැ.+  ඔයා ඒකෙන් කන දවසේම ඔයාගේ ඇස් ඇරිලා දෙවියන් වගේ හොඳ නරක තීරණය කරන්න ඔයාට පුළුවන් වෙනවා කියලා දෙවියන් දන්නවා.”+  ඊටපස්සේ ස්ත්‍රිය ඒ ගහ දිහා බැලුවාම ඒකේ ගෙඩි කන්න හොඳයි, ඒවාට හිත ඇදිලා යනවා කියලා දැක්කා. ඒ ගහ බලන්න හරිම ලස්සනයි කියලත් එයාට හිතුණා. ඒ නිසා එයා ඒ ගහෙන් ගෙඩි කඩාගෙන කෑවා.+ පස්සේ එයාගේ ස්වාමිපුරුෂයාටත් ඒකෙන් කන්න දුන්නා. ඔහුත් ඒකෙන් කෑවා.+  එතකොට එයාලාගේ ඇස් ඇරිලා එයාලා නිර්වස්ත්‍රව ඉන්නවා කියලා තේරුම්ගත්තා. ඉතින් එයාලා අත්තික්කා කොළ එකට අමුණලා එයාලාගේ ඉණ වටේ බැඳගත්තා.+  සිසිල් සුළං හමන වෙලාවේ උයනේ ඇවිදිමින් හිටපු යෙහෝවා දෙවියන්ගේ කටහඬ එයාලට ඇහුණා. එතකොට මිනිසා සහ එයාගේ බිරිඳ උයනේ ගස් අතරට ගිහින් යෙහෝවා දෙවියන්ගෙන් හැංගුණා.  යෙහෝවා දෙවියන් කීප සැරයක්ම මිනිසාට කතා කරලා “ඔයා කොහෙද” කියලා ඇහුවා. 10  ටික වෙලාවකට පස්සේ මිනිසා මෙහෙම කිව්වා. “ඔබේ හඬ මට උයනේදී ඇහුණා. ඒත් මම නිර්වස්ත්‍රව හිටපු නිසා මං බය වෙලා හැංගුණා.” 11  එතකොට දෙවියන් මෙහෙම ඇහුවා. “ඔයා නිර්වස්ත්‍රව ඉන්නවා කියලා කවුද ඔයාට කිව්වේ?+ මං ඔයාට කන්න එපා කියලා අණ කරපු ගහේ ගෙඩි ඔයා කෑවාද?”+ 12  මිනිසා මෙහෙම කිව්වා. “ඔබ මට දුන්න ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩලා මට දුන්නා. ඉතින් මං ඒක කෑවා.” 13  එතකොට යෙහෝවා දෙවියන් “ඇයි ඔයා මේ වගේ දෙයක් කළේ” කියලා ස්ත්‍රියගෙන් ඇහුවා. ස්ත්‍රිය මෙහෙම උත්තර දුන්නා. “සර්පයා මාව රැවැට්ටුවා. ඉතින් මං කෑවා.”+ 14  ඊටපස්සේ යෙහෝවා දෙවියන් සර්පයාට මෙහෙම කිව්වා.+ “ඔබ කරපු මේ දේ නිසා සියලු හීලෑ සතුන් සහ වනසතුන් අතරේ ඔබ ශාප ලත් කෙනෙක් වෙනවා. බඩ ගාගෙන යන ඔබට ජීවිත කාලේ පුරාම දූවිලි කන්න වෙනවා. 15  ඔබ+ සහ ස්ත්‍රිය+ අතරෙත් ඔබෙන් පැවතෙන අය+ සහ ඇගෙන් පැවතෙන කෙනා*+ අතරෙත් මම සතුරුකමක්+ ඇති කරනවා. ඔහු ඔබේ හිස පොඩි කරනවා.+ ඔබ ඔහුගේ විලුඹ තුවාල* කරනවා.”+ 16  දෙවියන් ස්ත්‍රියට මෙහෙම කිව්වා. “ගැබිනි කාලයේ ඔයා අද්දකින වේදනාව ගොඩක් වැඩි වෙයි. ඔයාට වේදනා විඳලා දරුවන් බිහි කරන්න වෙයි. ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතාව ඔයාට ගොඩක් දැනෙයි.* එයා ඔයාව පාලනය කරයි.” 17  ඔහු ආදම්ට* මෙහෙම කිව්වා. “ඔයා බිරිඳ කියපු දේ අහලා මම දුන්න ආඥාව කැඩුවා.+ ‘කන්න ඔයාට අවසර නැහැ’ කියලා මම කියපු ගහේ ගෙඩි ඔයා කාපු නිසා භූමිය ශාප ලබනවා.+ ජීවිත කාලේ පුරාම ඔයාට දුක් ගැහැට විඳිමින් වගා කරන්න වෙනවා.+ 18  භූමියේ වැඩිපුර වැවෙන්නේ කටු පඳුරු සහ වල් පැළෑටි. ඔයාට කෑමට ගන්න වෙන්නේ කැලේ වැවෙන දේවල්. 19  භූමියෙන් ගත්ත ඔයාට භූමියට හැරිලා යන කල්ම දාඩිය මහන්සියෙන් කෑම හොයාගන්න වෙයි.+ ඔයා දූවිලි. ඔයා ආයෙත් දූවිල්ලටම හැරිලා යනවා.”+ 20  ආදම් තමන්ගේ බිරිඳට ඒව* කියන නම දුන්නා. ඒ නම දුන්නේ ඇය මිනිස් වර්ගයාගේ* මව වෙන නිසයි.+ 21  යෙහෝවා දෙවියන් ආදම්ටයි, එයාගේ බිරිඳටයි සත්ව හම්වලින් දිග ඇඳුම් හදලා දුන්නා.+ 22  ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා දැන් අපි වගේ හොඳ නරක තීරණය කරගෙන තියෙනවා.*+ මිනිසාට ජීවන වෘක්ෂයේ පලතුරු+ කාලා සදහටම ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ.” 23  එහෙම කියලා යෙහෝවා දෙවියන් භූමියේ දූවිල්ලෙන් හදපු මිනිසාව ඒදන් උයනෙන් එළියට දැම්මා.+ එහෙදී එයාට වගා කරන්න සිද්ධ වුණා.+ 24  ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා.

පාදසටහන්

හෝ, “සුපරීක්ෂාකාරී; කපටි.”
හෝ, “පොඩි.”
මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන අය” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.
ඒකට ස්වාමිපුරුෂයාගේ අවධානය, සැලකිල්ල, ආදරේ ලබන්න තියෙන ආසාව ඇතුළත් වෙන්න පුළුවන්.
තේරුම, “මනුස්සයා; මිනිස් වර්ගයා.”
තේරුම, “ජීවමාන කෙනා.”
මූ.අ., “ජීවත් වෙන සියලුදෙනාගේ.”
මූ.අ., “අපි වගේ හොඳ නරක දන්නවා.”