උත්පත්ති 44:1-34

  • යෝසෙප්ගේ රිදී කුසලානය බෙන්ජමින්ගේ මල්ලේ තිබිලා හම්බ වෙයි (1-17)

  • යූදා බෙන්ජමින්ව බේරගන්න උත්සාහ කරයි (18-34)

44  පස්සේ යෝසෙප් එයාගේ ගෙදර භාරව හිටපු සේවකයාට මෙහෙම අණ කළා. “මේ මිනිස්සුන්ට ගෙනියන්න පුළුවන් තරමක් ධාන්‍ය එයාලාගේ මලුවලට පුරවන්න. එයාලා එක් එක් කෙනා දීපු සල්ලිත් එයාලාගේ මලුවලට දාන්න.+  හැබැයි බාලයාගේ මල්ලට එයා ධාන්‍යවලට ගෙවපු සල්ලිත් එක්ක මගේ රිදී කුසලානෙත් දාන්න.” සේවකයා යෝසෙප් කියපු විදිහටම කළා.  පහුවෙනිදා උදෙන්ම එයාලව පිටත් කරලා යැව්වා. එයාලා එයාලාගේ බූරුවනුත් අරගෙන එහෙන් ගියා.  එයාලා නගරෙන් පිට වෙලා වැඩි දුරක් යන්න කලින් යෝසෙප් එයාගේ සේවකයාට මෙහෙම කිව්වා. “ඉක්මන් කරලා අර මිනිස්සු පිටිපස්සේ යන්න. ගිහින් එයාලව නවත්තලා එයාලාගෙන් මෙහෙම අහන්න. ‘ඔයාලට හොඳින් සැලකුවාට මගේ ස්වාමියාට මෙහෙමද ස්තුති කරන්නේ?  ඔයාලා මගේ ස්වාමියා බොන කුසලානේ හොරකම් කළේ ඇයි? එයා අකුරටම නිමිති බලන්නේ ඒ කුසලානේ පාවිච්චි කරලයි. ඔයාලා කෙරුවේ මහා දුෂ්ට වැඩක්!’”  ඉතින් යෝසෙප්ගේ සේවකයා එයාලා ළඟට ඇවිල්ලා එයාට අණ කරපු විදිහටම එයාලට කිව්වා.  ඒත් එයාලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, අපිව මෙහෙම සැක කරන්නේ ඇයි? ඔබේ සේවකයන් වන අපි ඒ වගේ දෙයක් කරන්න හීනෙකින්වත් හිතුවේ නෑ.  කලින් සැරේ අපේ මලුවලට දාලා තිබුණ සල්ලිත් අපි කානාන් දේශයේ ඉඳන් ආපහු ගෙනල්ලා ඔබට දුන්නා.+ එහෙනං ඔබේ ස්වාමියාට අයිති රන් රිදී අපි හොරකම් කරයි කියලා හිතන්න පුළුවන්ද?  ඔබේ සේවකයන් වන අපි කවුරු හරි ළඟ තිබිලා ඒ කුසලානේ හම්බ වුණොත් එයාව මරලා දාන්න. අපි හැමෝමත් ඔබේ ස්වාමියාගේ දාසයන් වෙනවා.” 10  එතකොට එයා මෙහෙම කිව්වා. “ඒක හොඳයි. කුසලානේ කාගේ හරි ළඟ තිබිලා හම්බ වුණොත් එයා මගේ දාසයෙක් වෙනවා. අනිත් අයව මම නිදහස් කරනවා.” 11  ඉතින් එයාලා එක් එක් කෙනා ඉක්මනින්ම එයාලාගේ මලු බිමට බාලා ඒවා අරින්න පටන්ගත්තා. 12  සේවකයා වැඩිමලාගෙන් පටන් අරන් බාලයා වෙන කල් එයාලාගේ මලු හොඳට අවුස්සලා බැලුවා. අන්තිමේදී බෙන්ජමින්ගේ මල්ලේ තිබිලා කුසලානය හම්බ වුණා.+ 13  එයාලා එයාලාගේ ඇඳුම් ඉරාගෙන, මලු ටික ආපහු බූරුවන්ගේ පිටේ පටවගෙන නගරෙට හැරිලා ආවා. 14  යූදා+ එයාගේ අයියලයි, මල්ලිලයි එක්ක යෝසෙප්ගේ ගෙදරට ගියා. එයාලා එන කල් යෝසෙප් බලාගෙන හිටියා. එයාලා යෝසෙප් ළඟට ගිහිල්ලා එයා ඉස්සරහා වැඳ වැටුණා.+ 15  එතකොට යෝසෙප් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “උඹලා මොනවාද මේ කළේ? මං වගේ කෙනෙක්ට අකුරටම නිමිති බලන්න පුළුවන් කියලා උඹලා දැනං හිටියේ නැද්ද?”+ 16  යූදා එයාට මෙහෙම උත්තර දුන්නා. “මගේ ස්වාමීනි, අපි ඔබට මොනවා කියන්නද? අපි මේක කළේ නෑ කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඔබේ දාසයන් වන අපි කරපු වැරදිවලට දැන් අපිට සැබෑ දෙවියන්ට වන්දි ගෙවන්න වෙලා තියෙනවා.+ මගේ ස්වාමීනි, කුසලානේ ළඟ තිබුණු කෙනා විතරක් නෙමෙයි අපිත් ඔබේ දාසයන්!” 17  ඒත් යෝසෙප් මෙහෙම කිව්වා. “නැහැ, මං ඒ වගේ දෙයක් කොහොමටවත් කරන්නේ නැහැ. කුසලානේ ළඟ තිබුණු කෙනා විතරයි මගේ දාසයා වෙන්නේ.+ අනිත් අයට පුළුවන් ඔයාලාගේ තාත්තා ළඟට යන්න.” 18  එතකොට යූදා එයා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබත් පාරාවෝ වගේ බලවත් කියලා මං දන්නවා.+ අනේ, ඔබේ දාසයාට ටිකක් කතා කරන්න අවසර දෙන්න. ඔබේ දාසයා එක්ක කේන්ති ගන්න එපා. 19  මගේ ස්වාමීන්ට මතක ඇති ඔබ ඔබේ දාසයන්ගෙන් ඇහුවා ‘ඔයාලාගේ තාත්තා තවමත් ඉන්නවාද? ඔයාලට තව සහෝදරයෙක් ඉන්නවාද’ කියලා. 20  එතකොට අපි ඔබට මෙහෙම කිව්වා. ‘ඔව්, තාත්තා තාමත් ඉන්නවා. එයා ගොඩක් වයසයි. අපිට මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයා තමයි බාලයා.+ එයා ඉපදෙද්දී තාත්තා ගොඩක් වයසයි. එයාගේ අම්මාට තවත් පුතෙක් හිටියා. ඒත් එයා මැරුණා.+ දැන් ඉතුරු වෙලා ඉන්නේ ඒ මල්ලි විතරයි.+ තාත්තා එයාට ගොඩක් ආදරෙයි.’ 21  ඒක අහලා ඔබ ඔබේ දාසයන්ට කිව්වා ‘මට බලන්න එයාව මෙහෙට ගේන්න’ කියලා.+ 22  ඒත් අපි ඔබට කිව්වා ‘තාත්තාව දාලා දරුවා ආවොත් තාත්තා මැරෙයි.+ ඉතින් එයාට එන්න විදිහක් නැහැ’ කියලා. 23  එතකොට ඔබ අපිට කිව්වා ‘ඔයාලාගේ මල්ලිව එක්කගෙන ආවේ නැත්තං ආයේ මං ඉස්සරහට එන්න එපා’ කියලා.+ 24  “ඊටපස්සේ අපි ගිහිල්ලා අපේ තාත්තාට ඔබ කියපු දේවල් ගැන කිව්වා. 25  ටික දවසකට පස්සේ තාත්තා අපිට කිව්වා ‘ආයෙත් ගිහිල්ලා කෑම ටිකක් අරන් එන්න’ කියලා.+ 26  ඒත් අපි තාත්තාට මෙහෙම කිව්වා. ‘මල්ලි නැතුව නං අපිට යන්න බැහැ. මොකද එයා අපිත් එක්ක නැත්තං ඒ රටේ පාලකයා ඉස්සරහට යන්න අපිට අවසර නැහැ. මල්ලිව අපිත් එක්ක එවනවා නං අපි යන්නං.’+ 27  තාත්තා අපිට මෙහෙම කිව්වා. ‘ඔයාලා හොඳටම දන්නවා මගේ බිරිඳගෙන් මට ලැබුණේ පුතාලා දෙන්නෙක් විතරයි කියලා.+ 28  ඒ එක පුතෙක් මට නැති වුණා. “අනේ, සතෙක් එයාව කාලා දාන්න ඇති”+ කියලා ඒ වෙලාවේ මං හිතුවා. අද වෙන කල් මං එයාව දැක්කේ නෑ. 29  ඔයාලා මේ පුතාවත් මගෙන් අරන් ගිහින් එයාට මොනවා හරි වුණොත් ඒ දුක දරාගන්න+ මට බැරි වෙයි. වයසක මං මැරිලා යයි.’+ 30  “අපේ තාත්තා මල්ලිට පණ වගේ ආදරෙයි. මං මල්ලි නැතුව ආපහු ගියොත් 31  ඒ දුකට අපේ වයසක තාත්තා අනිවාර්යයෙන්ම මැරෙයි. ඔබේ දාසයන් වන අපිට තමයි අපේ තාත්තාගේ මරණෙට වග කියන්න වෙන්නේ. 32  දරුවාට කිසිම දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මං තාත්තාට පොරොන්දු වුණා. ‘එයාව ආයෙත් තාත්තා ළඟට එක්කං ආවේ නැත්තං ඒ වරදට මං මැරෙන කල්ම දඬුවම් විඳින්නං’ කියලා මං ඒ වෙලාවේ තාත්තාට කිව්වා.+ 33  ඉතින් මං ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා මල්ලිටයි, අනිත් අයටයි යන්න දෙන්න කියලා. මල්ලි වෙනුවට මම ඔබේ දාසයා වෙන්නම්. 34  අනේ, මල්ලි නැතුව නං තාත්තා ළඟට යන්න කියන්න එපා. මං කොහොමද මගේ තාත්තා මැරෙන එක මගේ ඇස් දෙකෙන් බලාගෙන ඉන්නේ?”

පාදසටහන්