උත්පත්ති 6:1-22

  • දෙවියන්ගේ පුත්‍රයන් පොළොවේ ඉන්න කාන්තාවන්ව විවාහ කරගනියි (1-3)

  • යෝධයන් ඉපදෙයි (4)

  • මිනිස්සුන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දුක් වෙයි (5-8)

  • නැවක් හදන්න කියලා නෝවාට කියයි (9-16)

  • ජලගැල්මක් ගේනවා කියලා දෙවියන් කියයි (17-22)

6  පොළොවේ ජනගහනය වැඩි වෙන්න පටන්ගත්තා. ගොඩක් දූවරුනුත් ඉපදුණා.  ඒ කාන්තාවන්* හරිම ලස්සනයි කියලා සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ දැක්කා. ඒ ලස්සනට එයාලාගේ හිත් ඇදිලා ගියා. ඉතින් එයාලා කැමති කැමති කාන්තාවන්ව තෝරගෙන එයාලව විවාහ කරගත්තා.  ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිස්සු කරන මේ දේවල් මම හැමදාටම ඉවසන්නේ නැහැ.+ එයාලා යන්නෙම එයාලාගේ ආසාවන් පස්සේ. ඒ නිසා තව අවුරුදු 120ක් එයාලට ජීවත් වෙන්න ඉඩහරිනවා.”*+  ඒ දවස්වලත් ඊටපස්සෙත් පොළොවේ යෝධයෝ* හිටියා. ඒ කාලේදී සැබෑ දෙවියන්ගේ පුත්‍රයෝ පොළොවේ හිටපු කාන්තාවන් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ කාන්තාවන්ට බිහි වුණ පුතාලා අතීතයේ හිටපු මිනිස්සු අතරේ බලවත්, ප්‍රසිද්ධ අය වුණා.  මිනිස්සුන්ගේ දුෂ්ටකම් හැම තැනම පැතිරිලා තිබුණා කියලත් එයාලාගේ හිත්වල තියෙන්නෙම නපුරු දේවල්+ කියලත් යෙහෝවා දැක්කා.  යෙහෝවාගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. ඔහු හදපු මිනිස්සු නිසා ඔහු කනගාටු වුණා.+  ඒ හින්දා යෙහෝවා මෙහෙම කිව්වා. “මම හදපු මිනිස්සුන්ව පොළොවෙන් නැති කරලා දානවා. මිනිස්සුන්වත් හීලෑ සතුන්වත් කුඩා සතුන්වත් අහසේ පියාසර කරන ජීවීන්වත් මම විනාශ කරනවා. මං හදපු මිනිස්සු නිසා මම කනගාටු වෙනවා.”  ඒත් නෝවා ගැන යෙහෝවා සතුටු වුණා.  මේ තමයි නෝවාගේ ජීවිත කතාව. නෝවා ධර්මිෂ්ඨ මනුස්සයෙක්.+ එයා ජීවත් වුණ කාලේ හිටපු මිනිස්සුන්ට වඩා නෝවා හුඟක් වෙනස් කෙනෙක්. මොකද එයා නිදොස් ජීවිතයක් ගත කළා. නෝවා සැබෑ දෙවියන් එක්ක ගමන් කළා.+ 10  කාලයක් ගියාට පස්සේ නෝවාට පුතාලා තුන්දෙනෙක් ඉපදුණා. එයාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ 11  ඒත් පොළොව ගොඩක් පිරිහිලා කියලා සැබෑ දෙවියන් දැක්කා. මුළු පොළොවම දරුණු භයානක දේවල්වලින් පිරිලා තිබුණා. 12  දෙවියන් පොළොව දිහා බැලුවාම පොළොව හොඳටම පිරිහිලා කියලා ඔහු දැක්කා.+ මිනිස්සු හැමෝම ගත කළේ හරිම නරක ජීවිත.+ 13  ඊටපස්සේ දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. “පොළොවේ ජීවත් වෙන හැමෝවම විනාශ කරන්න මම තීරණය කරලා තියෙනවා. මිනිස්සු කරන දරුණු දේවලින් මුළු පොළොවම පිරිලා. ඒ හින්දා මම මිනිස්සුන්වයි, පොළොවේ තියෙන හැම දෙයක්මයි විනාශ කරනවා.+ 14  ඔයා හොඳ ලීවලින්* නැවක්* හදන්න.+ නැව ඇතුළේ කාමරත් හදන්න. ඊටපස්සේ ඒකේ ඇතුල් පැත්තටයි, පිට පැත්තටයි සම්පූර්ණයෙන්ම තාර ගාන්න.+ 15  ඔයා නැව හදන්න ඕනෙ මෙහෙමයි. නැවේ දිග රියන්* 300යි. පළල රියන් 50යි. උස රියන් 30යි. 16  නැවට එළිය වැටෙන්න වහලේ ඉඳලා රියනක් පහළට කවුළුවක්* හදන්න. නැවේ පැත්තකින් නැවට ඇතුල් වෙන්න තැනකුත් හදන්න.+ නැවට තට්ටු තුනක් තියෙන්න ඕනේ. 17  “මම පොළොවට මහ ජලගැල්මක් ගේනවා.+ මම එහෙම කරන්නේ අහස යට ජීවත් වෙන හැමෝවම* විනාශ කරලා දාන්නයි. පොළොවේ ඉන්න හැම ජීවියෙක්ම නැති වෙනවා.+ 18  හැබැයි මම ඔයාත් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා. ඔයායි, ඔයාගේ බිරිඳයි, ඔයාගේ පුතාලයි, එයාලාගේ භාර්යාවනුයි නැවට ඇතුල් වෙන්න ඕනේ.+ 19  හැම සතෙක්ගෙන්ම දෙන්නා ගාණේ+ ඒ කියන්නේ පිරිමි සතෙක්වයි, ගැහැනු සතෙක්වයි නැවට ඇතුල් කරගන්න.+ ඔයාලාගේ ජීවිත වගේම උන්ගේ ජීවිතත් ආරක්ෂා වෙන්න එහෙම කරන්න. 20  ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හීලෑ සතුන්ගෙන්, පියාසර කරන ජීවීන්ගෙන් සහ අනිත් කුඩා සතුන්ගෙන් දෙන්නා ගාණේ නැවට එයි. උන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න උන්ව ඔයාත් එක්ක නැවට ඇතුල් කරගන්න.+ 21  ඔයා හැම කෑම වර්ගයක්ම රැස් කරගන්න ඕනේ.+ ඒවා ඔයාලටයි, සත්තුන්ටයි කෑමට ගන්න පුළුවන්.” 22  නෝවා දෙවියන් අණ කරපු හැම දෙයක්ම කළා. එයා දෙවියන් කියපු විදිහටම කළා.+

පාදසටහන්

මූ.අ., “මනුෂ්‍යයන්ගේ දූවරුන්.”
හෝ, “දේවදූතයන්.”
මූ.අ., “ඒ නිසා එයාලාගේ දවස් අවුරුදු 120ක් වෙනවා.”
මූ.අ., “නෙෆිලිම්වරු.” තේරුම, “බිමට ඇදගෙන වැටෙන්න අනිත් අයට පහර දෙන අය” වෙන්න පුළුවන්. “පැහැදිලි කිරීමක්” බලන්න.
ඒක දිග පෙට්ටියක් වගේ.
මෙතන කතා කරන්නේ මැලියම් සහිත ගස් වර්ගයක ලී ගැනයි. ඒක සයිප්‍රස් වර්ගයට අයිති ගහක් වෙන්න පුළුවන්.
රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). එතකොට නැවේ දිග මීටර් 134යි. පළල මීටර් 22යි. උස මීටර් 13යි. උප. B14 බලන්න.
හෙබ්‍රෙව් භාෂාවෙන් ට්සෝහා. සමහරවිට මේක නැව වටේටම යන කවුළුවක් වෙන්න පුළුවන්. මේ ගැන තියෙන තවත් අදහසක් තමයි වහල රියනක බෑවුමක් තියෙන විදිහට හදන්න ඕනෙ කියන එක.
මූ.අ., “ජීවන හුස්ම ඇති සියල්ලන්.”