උත්පත්ති 7:1-24

  • නැවට ඇතුල් වෙයි (1-10)

  • ජලගැල්ම පොළොවටම බලපායි (11-24)

7  ඊටපස්සේ යෙහෝවා දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. “මේ පරම්පරාවේ ඉන්න මිනිස්සු අතරින් ඔයාව තමයි මං ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට දකින්නේ.+ ඉතින් ඔයා, ඔයාගේ පවුලේ හැමෝම එක්ක දැන් නැවට ඇතුල් වෙන්න.  ඔයා හැම පවිත්‍ර සතෙක්ගෙන්ම* හත්දෙනා* ගාණේ ගෙනියන්න ඕනේ.+ ඒකට ගැහැනු සතුන් සහ පිරිමි සතුන් ඇතුළත් වෙන්න ඕනේ. හැම අපවිත්‍ර සතෙක්ගෙන්ම දෙන්නා ගාණේ, ඒ කියන්නේ පිරිමි සතෙක්වයි, ගැහැනු සතෙක්වයි ගෙනියන්න ඕනේ.  අහසේ පියාසර කරන ජීවීන්ගෙනුත් හත්දෙනා* ගාණේ ගෙනියන්න. ඒකට ගැහැනු සහ පිරිමි සතුන් ඇතුළත් වෙන්න ඕනේ. එතකොට උන් විනාශ නොවී වර්ගයා බෝ කරලා පොළොව පුරාම පැතිරිලා යයි.+  තව දවස් හතකින් මම වැස්සක් ඇති කරනවා.+ ඒ වැස්ස දවල් 40ක් සහ රෑ 40ක් පුරා+ දිගටම පොළොවට ඇද හැලෙයි. මම හදපු මිනිස්සු, සත්තු හැමෝවම මම පොළොවෙන් නැති කරලා දානවා.”+  යෙහෝවා අණ කරපු හැම දෙයක්ම නෝවා කළා.  මහ ජලගැල්ම පොළොවේ ඇති වෙද්දී නෝවාගේ වයස අවුරුදු 600යි.+  ජලගැල්ම පටන්ගන්න කලින් නෝවායි, එයාගේ බිරිඳයි, එයාගේ පුතාලයි, පුතාලාගේ භාර්යාවනුයි නැවට ඇතුල් වුණා.+  හැම පවිත්‍ර සතෙක්මයි, අපවිත්‍ර සතෙක්මයි, පියාසර කරන හැම ජීවියෙක්මයි, අනිත් හැම කුඩා සතෙක්මයි+  නෝවා හිටපු නැවට ඇතුල් වුණා. දෙවියන් නෝවාට කියපු විදිහටම උන් නැවට ඇතුල් වුණේ ජෝඩු විදිහට. 10  දවස් හතකට පස්සේ ඇද හැලුණ වැස්ස නිසා පොළොව ජලයෙන් යට වෙන්න පටන්ගත්තා. 11  නෝවාගේ ජීවිතේ 600වෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ 17වෙනි දවසේ මහා ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳිලා ගියා. අහසේ කවුළුත් ඇරුණා.+ 12  දවල් 40ක් සහ රෑ 40ක් පුරා දිගටම වැසි ඇද හැලුණා. 13  ඒ දවසේදී නෝවා, එයාගේ පුතාලා වුණ ෂෙම්, හාම්, යාෆෙත්+ වගේම නෝවාගේ බිරිඳ සහ එයාගේ පුතාලාගේ භාර්යාවන් තුන්දෙනාත් නැවට ඇතුල් වුණා.+ 14  ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හැම වනසතෙක්ම, හීලෑ සතෙක්ම, කුඩා සතෙක්ම, පියාසර කරන හැම ජීවියෙක්ම, ඒ කියන්නේ හැම කුරුල්ලෙක්ම සහ තටු තියෙන හැම සතෙක්ම එයාලා එක්ක නැවට ඇතුල් වෙලා හිටියා. 15  ඒ හැම සතෙක්ම* දෙන්නා ගාණේ නෝවා හිටපු නැවට ඇතුල් වුණා. 16  දෙවියන් නෝවාට කියපු විදිහටම ඒ හැම සතෙක්ම ජෝඩු විදිහට නැවට ඇතුල් වුණා. ඊටපස්සේ යෙහෝවා නැවේ දොර වැහුවා. 17  දවස් 40ක් එක දිගටම වැසි පොළොවට ඇද හැලුණ නිසා ජල මට්ටම එන්න එන්නම වැඩි වුණා. කොච්චරද කියනවා නම් නැව පාවෙන්න පටන්ගත්තා. 18  ජල මට්ටම හරිම වේගයෙන් වැඩි වුණා. නැව දිගටම ජලයේ පා වෙලා ගියා. 19  පොළොව සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. පොළොවේ තිබුණ හැම උස කන්දක්ම වතුරට යට වුණා.+ 20  කඳු මුදුන්වලට වඩා රියන් 15ක්* උසට ජල මට්ටම තිබුණා. 21  පොළොවේ හිටපු හැම ජීවියෙක්ම මැරුණා.+ පියාසර කරන ජීවීන්, හීලෑ සතුන්, වනසතුන්, අනිත් හැම පොඩි සතෙක්ම* සහ ඔක්කොම මිනිස්සු මැරුණා.+ 22  ගොඩබිමේ හිටපු හැම ජීවියෙක්ම* මැරුණා.+ 23  ඒ විදිහට දෙවියන් මිනිස්සුන්, සතුන්, කුඩා සතුන්, අහසේ පියාසර කරන ජීවීන් ඇතුළුව පොළොවේ හිටපු හැම ජීවියෙක්ම නැති කරලා දැම්මා.+ බේරුණේ නෝවායි, එයාගේ පවුලේ අයයි, එයාත් එක්ක නැවේ හිටපු සත්තුයි විතරයි.+ 24  දවස් 150ක් පුරා පොළොව සම්පූර්ණයෙන්ම වතුරට යට වෙලා තිබුණා.+

පාදසටහන්

මෙතන කතා කරන්නේ පූජා කරන්න සුදුසු සත්තු ගැන වෙන්න පුළුවන්.
හෝ සමහරවිට, “ජෝඩු හත.”
හෝ සමහරවිට, “ජෝඩු හත.”
පේන විදිහට මෙතන කතා කරන්නේ අවකාශයට ඉහළින් තිබුණු ජලය ගැනයි.
මූ.අ., “ජීවන හුස්ම ඇති හැම සතෙක්ම.”
රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). ඒ කියන්නේ ජල මට්ටම මීටර් 6.5ක් විතර තිබුණා. උප. B14 බලන්න.
පේන විදිහට මෙතන කතා කරන්නේ රංචු පිටින් ඉන්න පොඩි සත්තු ගැන.
මූ.අ., “ජීවන හුස්ම ඇති හැම ජීවියෙක්ම.”