උත්පත්ති 9:1-29

  • මිනිස්සු හැමෝටම ලැබුණ මඟ පෙන්වීම් (1-7)

    • ලේ ගැන දුන්න නීතිය (4-6)

  • දේදුන්න ගිවිසුමට ලකුණක් (8-17)

  • නෝවාගෙන් පැවතෙන අය ගැන කියපු අනාවැකි (18-29)

9  දෙවියන් නෝවාටයි, එයාගේ පුතාලටයි ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙන්න.+  පොළොවේ ජීවත් වෙන හැම සතෙක්වම, පියාසර කරන හැම ජීවියෙක්වම, අනිත් හැම කුඩා සතෙක්වම සහ මුහුදේ ඉන්න හැම මාළු වර්ගයක්ම ඔයාලාගේ අතට භාර දෙනවා.*+ දැන් වගේම ඉස්සරහටත් උන් ඔයාලට හුඟක් බයෙන් ඉඳියි.  පලා වර්ගවලට අමතරව පොළොවේ ජීවත් වෙන හැම සතෙක්වමත්+ කෑමට ගන්න මම ඔයාලට අවසර දෙනවා.+  ඒත් ලේ එක්ක මස් කන්න එපා.+ මොකද ජීවිතේ පවතින්නේ ලේ+ නිසයි.*  ඒ වගේම ඕනෙම කෙනෙක් හරි සතෙක් හරි ඔයාලාගේ ලේ හැලුවොත්* ඒ ගැන මට වන්දි ගෙවන්න ඕනේ. කෙනෙක් තව කෙනෙක්ගේ ලේ හැලුවොත් එයාගේ ජීවිතයෙන් ඒකට වන්දි ගෙවන්න ඕනේ.+ සතෙක් මනුස්සයෙක්ව මරලා දැම්මොත් ඌව මරලා දාන්න ඕනේ.  දෙවියන් මිනිසාව හැදුවේ තමන්ට සමානකම් තියෙන විදිහට.+ ඒ නිසා කවුරු හරි කෙනෙක් මනුස්සයෙක්ව මැරුවොත් ඒ කෙනාවත් මරන්න* ඕනේ.+  ඔයාලා දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. පොළොව පුරාම පදිංචි වෙන්න.”+  දෙවියන් නෝවාට සහ එයාගේ පුතාලට මෙහෙමත් කිව්වා.  “මම ඔයාලා එක්කයි, ඔයාලාගෙන් පැවතෙන අය එක්කයි ගිවිසුමක්+ ඇති කරගන්නවා. 10  ඔයාලා එක්ක ඉන්න ඔක්කොම සත්තු ඒ කියන්නේ කුරුල්ලන්, හීලෑ සතුන්, වනසතුන් සහ අනිත් හැම සතෙක් එක්කමත් මම ගිවිසුමක් ඇති කරගන්නවා. නැවෙන් එළියට ආපු හැම ජීවියෙක් එක්කම+ මම ගිවිසුමක් ඇති කරගන්නවා. 11  මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම මේකයි. මිනිස්සු සහ සත්තු ඔක්කොම විනාශ කරන්න මං ආයේ කවදාවත් ජලගැල්මක් ගේන්නේ නැහැ. පොළොව ආයේ කවදාවත් ජලගැල්මකින් විනාශ කරන්නේ නැහැ.”+ 12  දෙවියන් මෙහෙමත් කිව්වා. “මම ඔයාලා එක්කත් ඔයාලා එක්ක ඉන්න හැම සතෙක් එක්කත් ඇති කරගන්න ගිවිසුම ඉදිරියට එන හැම පරම්පරාවක් දක්වාම තියෙනවා. ඒ ගිවිසුම ස්ථිර කරන්න මම දෙන ලකුණ මේකයි. 13  මම වලාකුළු අතරේ දේදුන්නක් ඇති කරනවා. ඒක තමයි පොළොව එක්ක මං ඇති කරගන්න ගිවිසුමට දෙන ලකුණ. 14  මං පොළොවට ඉහළින් වැහි වලාකුළු ගේද්දී දේදුන්න ඒ අතරේ පෙනෙයි. 15  එතකොට ඔයාලා එක්කත් හැම සතෙක් එක්කත් මං ඇති කරගත්ත ගිවිසුම මට අනිවාර්යයෙන්ම මතක් වෙයි. හැම ජීවියෙක්වම විනාශ කරන්න පුළුවන් තරමේ ජලගැල්මක් ආයේ කවදාවත් ඇති වෙන්නේ නැහැ.+ 16  දේදුන්න වලාකුළු අතරේ පායලා තියෙනවා දකිද්දී පොළොවේ ඉන්න හැම ජීවියෙක් එක්කම මං සදහටම ඇති කරගත්ත ගිවිසුම මට අනිවාර්යයෙන්ම මතක් වෙයි.” 17  “පොළොවේ ඉන්න හැම ජීවියෙක් එක්කම මං ඇති කරගත්ත ගිවිසුම ස්ථිර කරන ලකුණ ඒකයි”+ කියලා දෙවියන් ආයෙත් නෝවාට කිව්වා. 18  නැවෙන් එළියට ආපු නෝවාගේ පුතාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ පස්සේ හාම්ට කානාන් කියලා පුතෙක් ඉපදුණා.+ 19  පොළොව පුරාම පැතිරිලා ගිය හැමෝම එන්නේ නෝවාගේ පුතාලා තුන්දෙනාගෙනුයි.+ 20  වගා කරන්න පටන්ගත්ත නෝවා මිදිවත්තක් වැව්වා. 21  දවසක් එයා වයින් බීලා මත් වෙලා එයාගේ කූඩාරම ඇතුළේ නිර්වස්ත්‍රව හිටියා. 22  කානාන්ගේ තාත්තා වුණ හාම් එයාගේ තාත්තා නිර්වස්ත්‍රව ඉන්නවා දැකලා* එළියට ගිහිල්ලා එයාගේ සහෝදරයන් දෙන්නාට ඒ ගැන කිව්වා. 23  ඉතින් ෂෙම් සහ යාෆෙත් එයාලාගේ උරහිසට ඉහළින් රෙද්දක් අල්ලගෙන පස්සෙන් පස්සට ගිහින් එයාලාගේ තාත්තාගේ ඇඟට ඒක දැම්මා. එයාලා හැරිලා තාත්තා දිහා බැලුවේ නැති නිසා තාත්තා නිර්වස්ත්‍රව ඉන්නවා එයාලා දැක්කේ නැහැ. 24  මත් ගතිය හිඳුණාට පස්සේ නෝවා නැඟිට්ටා. එයාගේ බාලම පුතා* කරපු දේ ගැන එතකොට එයා දැනගත්තා. 25  ඊටපස්සේ නෝවා මෙහෙම කිව්වා. “කානාන්ට ශාප වේවා!+ එයා එයාගේ අයියලාගේ දාසයෙක්* වෙයි.”+ 26  නෝවා මෙහෙමත් කිව්වා. “ෂෙම්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!කානාන් ෂෙම්ගේ දාසයෙක් වෙයි.+ 27  දෙවියන්ගෙන් යාෆෙත්ට විශාල ප්‍රදේශයක් ලැබේවා! යාෆෙත්ට ෂෙම්ගේ කූඩාරම්වල ඉන්න ලැබේවා! කානාන් එයාටත් දාසයෙක් වෙයි.” 28  ජලගැල්මෙන් පස්සේ නෝවා තව අවුරුදු 350ක් ජීවත් වුණා.+ 29  නෝවා ජීවත් වුණ මුළු අවුරුදු ගාණ 950යි. ඊටපස්සේ එයා මැරුණා.

පාදසටහන්

හෝ, “ඔයාගේ පාලනය යටතේ ඉඳියි.”
හෝ, “ජීවය තියෙන්නේ ලේවලයි.”
හෝ, “ජීවිතය නැති කළොත්.”
මූ.අ., “එයාගේ ලේත් හලන්න.”
නෝවාට ලිංගික අපයෝජනයක් කළා කියලා මේකෙන් අදහස් වෙන්න පුළුවන්.
බයිබලයේ පුතා කියලා කියද්දී ඒකෙන් මුනුපුරාත් අදහස් වෙන්න පුළුවන්.
මූ.අ., “දාසයන්ගේ දාසයෙක්.”