එසකියෙල් 12:1-28

  • වහල්කමට යන එක රඟ දක්වයි (1-20)

    • වහල්කමට යද්දී ගෙනියන බඩු මලු (1-7)

    • අධිපතියා කළුවරේ පිටත් වෙලා යයි (8-16)

    • බයෙන් කෑම කයි, කනස්සල්ලෙන් වතුර බොයි (17-20)

  • ගොතපු කියමන බොරුවක් කියලා ඔප්පු වෙයි (21-28)

    • “මං කියන කිසිම දෙයක් ඉටු වෙන්න පරක්කු වෙන්නේ නැහැ” (28)

12  යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා.  “මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර සෙනඟක් අතරේ තමයි ඔයා ඉන්නේ. එයාලට ඇස් තිබුණත් පේන්නේ නැහැ. කන් තිබුණත් ඇහෙන්නේ නැහැ.+ මොකද එයාලා කැරලිකාර සෙනඟක්.+  මනුෂ්‍ය පුත්‍රය, වහල්කමට යන කෙනෙක් වගේ ඔයාගේ බඩු මලු ටික ලෑස්ති කරගන්න. ඊටපස්සේ දවල් කාලේදී සෙනඟ බලාගෙන ඉද්දීම වහලෙක් යන විදිහට පිටත් වෙලා යන්න. එයාලට පේන්න ඔයාගේ ගෙදර ඉඳන් තවත් තැනකට පිටත් වෙලා යන්න. එයාලා කැරලිකාර සෙනඟක් වුණත් සමහරවිට ඔයා කරන්නේ මොකක්ද කියලා එයාලා තේරුම්ගනියි.  ඔයා වහලෙක් විදිහට යන්න ලෑස්ති කරපු බඩු මලු ටික එයාලා බලාගෙන ඉද්දී දවල් කාලේදී එළියට අරගෙන එන්න. හවස් වරුවේදී වහලෙක් විදිහට යන කෙනෙක් වගේ පිටත් වෙලා යන්න.+ සෙනඟට පේන්න ඒක කරන්න.  “එයාලා බලාගෙන ඉද්දී ගෙදර බිත්තියේ සිදුරක් හදලා ඔයාගේ බඩු මලු ටික ඒකෙන් එළියට ගන්න.+  එයාලට පේන්න බඩු මලු ටික කරේ තියාගෙන කළුවරේ යන්න. බිම පේන්නේ නැති වෙන්න ඔයාගේ මූණ වහගන්න. මොකද මම ඔයාව ඊශ්‍රායෙල් සෙනඟට ලකුණක් විදිහට දෙනවා.”+  මට අණ කරපු විදිහටම මම කළා. වහලෙක් විදිහට යන්න මං ලෑස්ති කරගත්ත බඩු මලු ටික දවල් කාලේදී මම එළියට ගෙනාවා. හවස් වරුවේදී මං මගේ අතින් බිත්තියේ සිදුරක් හැදුවා. කළුවර වැටුණාට පස්සේ බඩු මලු ටික ඒකෙන් එළියට අරගෙන සෙනඟ ඉස්සරහම මම ඒවා කරේ තියාගෙන ගියා.  පහුවෙනිදා උදේ යෙහෝවා ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා.  “මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟ ඔයාගෙන් ඇහුවා නේද ‘මොනවාද ඔයා ඔය කරන්නේ’ කියලා? 10  එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “යෙරුසලමේ ඉන්න අධිපතියාටයි,+ නගරයේ ඉන්න ඊශ්‍රායෙල් සෙනඟ හැමෝටමයි කියන්න පණිවිඩයක් තියෙනවා.”’ 11  “මෙහෙම කියන්න. ‘මම ඔබට ලකුණක් වෙනවා.+ මං කරපු දේම කරන්න ඔවුන්ටත් සිද්ධ වෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම වහල්කමට යනවා.+ 12  ඔවුන්ගේ අධිපතියා තමන්ගේ බඩු මලු ටික කරේ තියාගෙන කළුවරේ පිටත් වෙලා යනවා. ඔහු පවුරේ සිදුරක් හදලා බඩු මලු ටික ඒකෙන් එළියට ගන්නවා.+ බිම පේන්නේ නැති වෙන්න ඔහු තමන්ගේ මූණ වහගන්නවා.’ 13  මම දඩයම් කරන්න එළන දැල ඔහුට විරුද්ධව දානවා. ඔහු ඒකට අහු වෙනවා.+ ඊටපස්සේ මම ඔහුව බැබිලෝනියට, කල්දිවරුන්ගේ දේශයට ගේනවා. ඒත් ඔහුට ඒ දේශය දකින්න ලැබෙන්නේ නැහැ. ඔහු එහෙදී මැරෙනවා.+ 14  ඔහුගේ වටේ ඉන්න හැමෝවම ඒ කියන්නේ ඔහුගේ උදව්වට ඉන්න අයවයි, ඔහුගේ හමුදාවයි මම හැම පැත්තටම විසුරුවාහරිනවා.+ ඔවුන් පස්සේ එළවගෙන යන්න මම කඩුවක් එවනවා.+ 15  මම ඔවුන්ව ජාතීන් අතරේ විසුරුවාහරිනවා. දේශයන් පුරා සීසීකඩ විසුරුවාහරිනවා. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා. 16  ඒත් මම ඔවුන්ගෙන් ටිකදෙනෙක්ව කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් බේරගන්නවා. එහෙම කරන්නේ ඔවුන් කරපු පිළිකුල්සහගත දේවල් ගැන ඔවුන්ව විසුරුවාහරින ජාතීන් අතරේ ඉද්දී කියන්න පුළුවන් වෙන්නයි. මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.” 17  යෙහෝවා මට ආපහු කතා කරලා මෙහෙම කිව්වා. 18  “මනුෂ්‍ය පුත්‍රය, ඔයා කෑම කන්න ඕනෙ බයේ වෙවුල වෙවුල. වතුර බොන්න ඕනෙ බයෙන්, කනස්සල්ලෙන්.+ 19  දේශයේ ඉන්න ජනයාට මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල් දේශයේ ඉන්න යෙරුසලමේ සෙනඟට ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “ඔවුන් ලොකු කනස්සල්ලකින් කෑම කයි. බයෙන් වෙවුල වෙවුල වතුර බොයි. මොකද දේශයේ ඉන්න අය කරපු මැරවරකම් නිසා+ දේශය සම්පූර්ණයෙන්ම පාළුවට යනවා.+ 20  මිනිස්සුන්ගෙන් පිරිලා තිබුණ නගර පාළු වෙලා යනවා. දේශයත් කිසි කෙනෙක් නැති පාළු තැනක් වෙනවා.+ මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.”’”+ 21  යෙහෝවා ආපහු සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 22  “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල්වරු අතරේ කියමනක් තියෙනවා නේද ‘දවස් ගෙවිලා යනවා. ඒත් කිසිම දර්ශනයක් නම් ඉටු වෙලා නැහැ’ කියලා?+ 23  ඒ නිසා ඔවුන්ට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “මම ඒ කියමන ඔවුන් අතරින් නැති වෙලා යන්න සලස්වනවා. ඔවුන් ඒ කියමන ඊශ්‍රායෙල් දේශයේදී ආයේ කියන්නේ නැහැ.”’ ඒ වෙනුවට ඔවුන්ට කියන්න ‘හැම දර්ශනයක්ම ඉටු වෙන දවස අත ළඟයි’+ කියලා. 24  ඊශ්‍රායෙල් සෙනඟ අතරේ බොරු දර්ශන දකින අය සහ රැවටිලිකාර විදිහට පේන කියන අය තවත් ඉන්න යන්නේ නැහැ.+ 25  ‘“මොකද යෙහෝවා වන මම කතා කරනවා. මම මොනවා හරි දෙයක් ගැන කිව්වොත් පරක්කු කරන්නේ නැතුව ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා.+ කැරලිකාර සෙනඟෙනි, ඔබ ජීවත් වෙලා ඉන්න කාලේදීම+ මං දෙයක් කියලා ඒක ඉටු කරනවා” කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.’” 26  යෙහෝවා ආපහු සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 27  “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟ කියන්නේ මේකයි. ‘එයා දකින දර්ශන ඉටු වෙන්න තව ගොඩක් කල් තියෙනවා. එයා ඔය අනාවැකි කියන්නේ තව ගොඩක් ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන.’+ 28  ඒ නිසා ඔවුන්ට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “‘මං කියන කිසිම දෙයක් ඉටු වෙන්න පරක්කු වෙන්නේ නැහැ. මම මොනවා හරි දෙයක් ගැන කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”’”

පාදසටහන්