එසකියෙල් 14:1-23

  • රූපවලට නමස්කාර කරන අයව හෙළා දකියි (1-11)

  • යෙරුසලමට ලැබෙන විනිශ්චයෙන් බේරෙන්න බැහැ (12-23)

    • නෝවා, දානියෙල් සහ යෝබ් ධර්මිෂ්ඨ අය (14, 20)

14  ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ගෙන් සමහරදෙනෙක් මං ළඟට ඇවිත් මං ඉස්සරහා ඉඳගත්තා.+  එතකොට යෙහෝවා දෙවියන් මට කතා කරලා මෙහෙම කිව්වා.  “මනුෂ්‍ය පුත්‍රය, මේ අය පිළිකුල්සහගත රූප* පස්සේ යන එක අතහරින්න කොහොමටවත් කැමති නැහැ. පය පැටලිලා වැටෙන්න හේතු වෙන දෙයක් එයාලා හදාගෙන. ඒ දේ නිසා සෙනඟ වැරදි කරනවා. ඉතින් එයාලා අහන දේවල්වලට මං උත්තර දෙන්නේ මොකටද?+  දැන් එයාලට කතා කරලා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “හිතන්න, ඊශ්‍රායෙල් ජාතිකයෙක් පිළිකුල්සහගත රූප පස්සේ යන එක අතහරින්න කොහොමටවත් කැමති නැහැ කියලා. ඔහු පය පැටලිලා වැටෙන්න හේතු වෙන දෙයක් හදාගෙන වැරදි කරන්න සෙනඟව පොලඹවනවා. එහෙම කරන ගමන් අනාගතවක්තෘවරයෙක් ළඟට ඇවිල්ලා දේවල් ගැන අහනවා. එතකොට යෙහෝවා වන මම ඔහු ළඟ තියෙන පිළිකුල්සහගත රූප ගාණට හරියන්න ඔහුට උත්තර දෙනවා.  ඊශ්‍රායෙල් සෙනඟ මාව අතහැරලා ඔවුන් හදාගත්ත පිළිකුල්සහගත රූප පස්සේ ගිය නිසා මං ඔවුන්ගේ හිත්වල ලොකු බයක් ඇති කරනවා.”’+  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “මං ළඟට ආපහු එන්න. ඔබ හදාගත්ත පිළිකුල්සහගත රූප අතහැරලා දාන්න. ඔබ කරන පිළිකුල් දේවල් නවත්තන්න.+  හිතන්න, ඊශ්‍රායෙල් ජාතිකයෙක් හරි ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වෙන විදේශිකයෙක් හරි මගෙන් ඈත් වෙලා ගිහින් දිගටම පිළිකුල්සහගත රූප පස්සේ යන්න තීරණය කළා කියලා. ඔහු පය පැටලිලා වැටෙන්න හේතු වෙන දෙයක් හදාගෙන වැරදි කරන්න සෙනඟව පොලඹවනවා. එහෙම කරන ගමන් මගේ අනාගතවක්තෘවරයෙක් ළඟට ඇවිල්ලා දේවල් ගැන අහනවා.+ එතකොට යෙහෝවා වන මමම ඔහුට උත්තර දෙනවා.  මම ඔහුගේ සතුරෙක් වෙනවා. මම ඔහුට කරන දේ අනිත් අයට අනතුරු ඇඟවීමක් වෙයි. මිනිස්සු පාඩමක් උගන්නන්න පාවිච්චි කරන දෙයක් විදිහට ඒ දේ පාවිච්චි කරයි. මම ඔහුව මරලා දානවා.+ මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.”’  “‘අනාගතවක්තෘවරයා රැවටිලා උත්තරයක් දුන්නොත් මතක තියාගන්න ඒ අනාගතවක්තෘවරයාව රැවැට්ටුවේ යෙහෝවා වන මම කියලා.+ මම ඔහුට විරුද්ධව මගේ අත දිගඇරලා මගේ සෙනඟ අතරින් ඔහුව අයින් කරනවා. මම ඔහුව මරලා දානවා. 10  ඔවුන් කරපු වරදේ ප්‍රතිඵල ඔවුන්ට විඳින්න වෙනවා. අනාගතවක්තෘවරයා වගේම ඒ දේවල් ගැන අහන කෙනාත් වරදකරුවෙක් වෙනවා. 11  එහෙම කරන්නේ ඊශ්‍රායෙල් සෙනඟ මගෙන් ඈත් වෙලා නොමඟ යන එකත් වැරදි දේවල් කරලා තමන්ව අපවිත්‍ර කරගන්න එකත් නවත්තන්නයි. එතකොට ඔවුන් මගේ සෙනඟ වෙනවා. මම ඔවුන්ගේ දෙවියන් වෙනවා’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.” 12  යෙහෝවා ආපහු සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 13  “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක ඉන්න මිනිස්සු අවිශ්වාසවන්තව වැඩ කරලා මට විරුද්ධව වැරදි කළොත් මම ඒ දේශයට විරුද්ධව මගේ අත දිගඇරලා ආහාර ගබඩා* විනාශ කරනවා.+ මම ඒ දේශයට සාගතයක් ගෙනල්ලා+ මිනිසුන්වයි, සතුන්වයි විනාශ කරලා දානවා.”+ 14  “‘නෝවා,+ දානියෙල්+ සහ යෝබ්+ කියන තුන්දෙනා එහේ ඉන්නවා කියලා හිතන්න. ඔවුන් ධර්මිෂ්ඨ අය නිසා ඔවුන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙයි.+ ඒත් වෙන කාගෙවත් ජීවිත බේරගන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ නැහැ’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.” 15  “‘මම දේශයට දරුණු වනසතුන්ව එවනවා කියලා හිතන්න. උන් නිසා දේශයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ගාණ අඩු වෙලා දේශය පාළු තැනක් වෙයි. වනසතුන් නිසා කිසිම කෙනෙක් දේශය මැදින්වත් යන්නේ නැති තරමට ඒක පාළුවට යයි.+ 16  ඒ දේවල් වෙද්දී ඒ පුරුෂයන් තුන්දෙනා එහේ හිටියොත් ඔවුන්ට තමන්ගේ දූපුතුන්වවත් බේරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔවුන්ට බේරගන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ ජීවිත විතරයි. දේශය අනිවාර්යයෙන්ම පාළුවට යනවා. ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා ඒක කියනවා.’ එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.” 17  “‘එහෙම නැත්නම් මම දේශයට පහර දෙන්න කඩුවක් එවනවා කියලා හිතන්න.+ “කඩුවක් දේශය පුරාම යවනවා” කියලා මම කියනවා. දේශයේ ඉන්න මිනිස්සු වගේම සතුනුත් ඒ කඩුවෙන් පහර කයි.+ 18  එහෙම වෙද්දී ඒ පුරුෂයන් තුන්දෙනා එහේ හිටියොත් ඔවුන්ට තමන්ගේ දූපුතුන්වවත් බේරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔවුන්ට බේරගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිත විතරයි. ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා ඒක කියනවා.’ එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.” 19  “‘එහෙම නැත්නම් මම දේශයට වසංගතයකින් පහර දෙනවා කියලා හිතන්න.+ මම මගේ කේන්තිය පිට කළාම දේශයේ ඉන්න මිනිස්සු වගේම සතුන් විශාල ප්‍රමාණයක් මැරිලා යයි. 20  එහෙම වෙද්දී නෝවා,+ දානියෙල්+ සහ යෝබ්+ එහේ හිටියොත් ඔවුන්ට තමන්ගේ දූපුතුන්වවත් බේරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔවුන් ධර්මිෂ්ඨ අය නිසා තමන්ගේ ජීවිත විතරක් බේරගන්න ඔවුන්ට පුළුවන් වෙයි.+ ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා ඒක කියනවා.’ එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.” 21  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මිනිසුන්වයි, සතුන්වයි යෙරුසලමෙන් අතුගාලා දාන්න+ ඒ දඬුවම් හතර+ ඒ කියන්නේ කඩුව, සාගතය, දරුණු වනසතුන් සහ වසංගත+ මම එහෙට විරුද්ධව ගෙනාවාම ඇත්තටම කොච්චර ලොකු විනාශයක් සිද්ධ වෙයිද! 22  ඒත් නගරයේ ඉන්න සමහරදෙනෙක් බේරෙනවා.+ දූපුතුන් ඇතුළුව බේරෙන ඒ අයව පිටතට ගේනවා. ඒ අය ඔබ ළඟට එනවා. ඔවුන්ගේ ගතිපැවතුම්, ඔවුන් කරන දේවල් දැක්කාම මම යෙරුසලම පිටට ඒ හැම විපතක්ම ගෙනාවේ ඇයි කියලා ඔබ තේරුම්ගනියි.’” 23  “‘ඔවුන්ගේ ගතිපැවතුම්, ඔවුන් කරන දේවල් දැක්කාම ඔබේ හිතට සැනසීමක් දැනෙයි. මොකද මම ඒ නගරයට කරපු හැම දෙයක්ම කළේ හොඳ හේතුවක් ඇතුව කියලා ඔබ තේරුම්ගනියි.’+ එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.”

පාදසටහන්

හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.
මූ.අ., “රොටි එල්ලලා තියන ලී.”