එසකියෙල් 18:1-32

  • තමන් කරන වැරදිවලට වග කියන්න ඕනෙ තමන්මයි (1-32)

    • වැරැද්ද කරන කෙනා තමයි මැරෙන්නේ (4)

    • තාත්තා කරපු වරදට පුතාට දඬුවම් දෙන්නේ නැහැ (19, 20)

    • දුෂ්ට කෙනෙක් මැරෙනවා දැකලා සතුටු වෙන්නේ නැහැ (23)

    • වැරදි අතහරිනවා නම් ජීවිතේ රැකගන්න පුළුවන් (27, 28)

18  යෙහෝවා දෙවියන් ආයෙත් මට කතා කරලා මෙහෙම කිව්වා.  “ඊශ්‍රායෙල් දේශයේ කියමනක් තියෙනවා ‘අමු මිදි කෑවේ තාත්තලා. ඒත් හිරි වැටුණේ දරුවන්ගේ දත්’+ කියලා. මොකක්ද ඒකේ තේරුම?  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා කියන්නේ මේ කියමන ඔබ ආයේ ඊශ්‍රායෙල් දේශයේ කියන්නේ නැහැ කියලයි.  හැම ජීවිතයක්ම* අයිති මටයි. තාත්තාගේ ජීවිතේ වගේම පුතාගේ ජීවිතෙත් අයිති මටයි. වැරැද්ද කරන කෙනා* තමයි මැරෙන්නේ.  “‘යුක්තිය, සාධාරණය ඉටු කරන ධර්මිෂ්ඨ මිනිසෙක් ගැන හිතන්න.  ඔහු කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කන්නේ නැහැ.+ ඊශ්‍රායෙල් සෙනඟගේ පිළිකුල්සහගත රූප* ගැන ඔහු විශ්වාසය තියන්නේ නැහැ. ඔහුගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙන්නේ නැහැ.+ ස්ත්‍රියකගේ ඔසප් දවස්වලදී ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ.+  ඔහු කාටවත් හිරිහැර කරන්නේ නැහැ.+ ණයකට ඇපයක් විදිහට ගත්ත දේ ඔහු ආපහු භාර දෙනවා.+ ඔහු කාගෙන්වත් හොරකම් කරන්නේ නැහැ.+ බඩගින්නේ ඉන්න අයට තමන්ගේ කෑම වේල වුණත් දෙනවා.+ ඇඳුම් නැති අයට ඇඳුම් දෙනවා.+  ඔහු පොලී අය කරන්නෙවත් අසාධාරණ විදිහට ලාභ උපයන්නෙවත් නැහැ.+ කිසිම කෙනෙක්ට ඔහු අසාධාරණයක් කරන්නේ නැහැ.+ නඩුවක් විභාග කරද්දී ඔහු දෙන්නේ සාධාරණ විනිශ්චයක්.+  ඔහු මගේ අණපනත්වලට එකඟව වැඩ කරනවා. විශ්වාසවන්තව වැඩ කරන්න තියෙන කැමැත්ත නිසා ඔහු මගේ තීන්දුවලට කීකරු වෙනවා. ඒ වගේ කෙනෙක් ධර්මිෂ්ඨයි. ඔහුට තමන්ගේ ජීවිතේ රැකගන්න පුළුවන්’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 10  “‘ඒත් හිතන්න, ඒ කෙනාගේ පුතා හොරෙක්,+ මිනීමරුවෙක්+ නැත්නම් මේ කියන ඕනෙම දෙයක් කරනවා කියලා. 11  (ඒත් තාත්තා ඒ වගේ දේවල් කරන්නේ නැහැ.) ඒ පුතා කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කනවා. ඔහුගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙනවා. 12  නැති බැරි අසරණ අයට ඔහු හිරිහැර කරනවා.+ අනිත් අයගේ දේවල් හොරකම් කරනවා. ණයකට ඇපයක් විදිහට ගත්ත දේ ඔහු ආපහු දෙන්නේ නැහැ. ඔහු පිළිකුල්සහගත රූප ගැන විශ්වාසය තියලා වැඩ කරනවා.+ ඔහු කරන්නේ හරිම පහත් දේවල්.+ 13  ඔහු පොලී අය කරනවා. අසාධාරණ විදිහට ලාභ උපයනවා.+ ඒ වගේ පුතෙක්ට තමන්ගේ ජීවිතේ රැකගන්න ලැබෙන්නේ නැහැ. ඔහු කරපු ඒ හැම පිළිකුල්සහගත දේකටම ඔහුව අනිවාර්යයෙන්ම මරලා දානවා. ඔහුගේ ලේවලට වග කියන්න ඕනෙ ඔහුමයි. 14  “‘ඒත් තාත්තා කරපු හැම වරදක්ම දැකලා ඒ වැරදිවලින් ඈත් වෙලා ඉන්න පුතෙක් ගැන හිතන්න. 15  ඔහු කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කන්නේ නැහැ. ඊශ්‍රායෙල් සෙනඟගේ පිළිකුල්සහගත රූප ගැන ඔහු විශ්වාසය තියන්නේ නැහැ. ඔහුගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙන්නේ නැහැ. 16  ඔහු කාටවත් හිරිහැර කරන්නේ නැහැ. ණයකට ඇපයක් විදිහට ගත්ත දේ ඔහු ආපහු භාර දෙනවා. ඔහු කාගෙන්වත් හොරකම් කරන්නේ නැහැ. බඩගින්නේ ඉන්න අයට තමන්ගේ කෑම වේල වුණත් දෙනවා. ඇඳුම් නැති අයට ඇඳුම් දෙනවා. 17  ඔහු දුප්පත් අයට හිරිහැර කරන්නේ නැහැ. ඔහු පොලී අය කරන්නෙවත් අසාධාරණ විදිහට ලාභ උපයන්නෙවත් නැහැ. ඔහු මගේ තීන්දුවලට කීකරු වෙනවා. මගේ අණපනත්වලට එකඟව වැඩ කරනවා. ඒ වගේ කෙනෙක් ඔහුගේ තාත්තා කරපු වැරදි නිසා මැරෙන්නේ නැහැ. ඔහුට තමන්ගේ ජීවිතේ රැකගන්න පුළුවන් වෙනවා. 18  ඒත් ඔහුගේ තාත්තා තමන්ගේ සහෝදරයාගෙන් හොරකම් කළා. අනිත් අයට වංචා කළා. ඔහුගෙම ජාතියේ අය ඉස්සරහා වැරදි වැඩ කළා. ඔහු කරපු වැරදිවලට ඔහුට ඔහුගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. 19  “‘ඒත් ඔබ අහයි “තාත්තා කරපු වරදට පුතාට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි” කියලා. පුතා යුක්තිය, සාධාරණය ඉටු කරලා මගේ අණපනත් හැම එකකටම කීකරු වුණා. ඒවාට එකඟව වැඩ කළා. ඒ නිසා ඔහුට තමන්ගේ ජිවිතේ රැකගන්න පුළුවන් වෙනවා.+ 20  වැරදි කරන කෙනා තමයි මැරෙන්නේ.+ තාත්තා කරපු වැරදිවලට ප්‍රතිඵල විඳින්න පුතාටවත් පුතා කරපු වැරදිවලට ප්‍රතිඵල විඳින්න තාත්තාටවත් වෙන්නේ නැහැ. කෙනෙක් කරන ධර්මිෂ්ඨ දේවල්වලට යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මිෂ්ඨව වැඩ කරන ඒ කෙනාටමයි. කෙනෙක් කරන දුෂ්ට දේවල්වලට ප්‍රතිඵල ලැබෙන්නේ දුෂ්ට විදිහට වැඩ කරන ඒ කෙනාටමයි.+ 21  “‘දුෂ්ට කෙනෙක් තමන් කරපු හැම වරදක්ම අතහැරලා මගේ අණපනත්වලට එකඟව වැඩ කරනවා නම් යුක්තිය, සාධාරණය ඉටු කරනවා නම් තමන්ගේ ජීවිතේ රැකගන්න ඔහුට පුළුවන් වෙනවා. ඔහු මැරෙන්නේ නැහැ.+ 22  ඔහු අතින් වුණ එක වරදකටවත් ඔහුට දඬුවම් කරන්නේ නැහැ.*+ ඔහු ධර්මිෂ්ඨ දේවල් කරන නිසා ඔහුගේ ජීවිතේ රැකෙයි.’+ 23  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම අහනවා. ‘දුෂ්ට කෙනෙක් මැරෙනවා දැකලා මම සතුටු වෙනවා කියලා ඔබ හිතනවාද?+ ඔහු තමන්ගේ වැරදි අතහැරලා දිගටම ජීවත් වෙනවා දකින්න මම කැමති නැද්ද?’+ 24  “‘ඒත් ධර්මිෂ්ඨ කෙනෙක් හරි දේ කරන එක අතහැරලා දාලා වැරදි දේ කරනවා නම් දුෂ්ට මිනිස්සු කරන හැම පහත් දෙයක්ම කරනවා නම් ඔහුට තමන්ගේ ජීවිතේ රැකගන්න පුළුවන් වෙයිද? ඔහු කරපු කිසිම ධර්මිෂ්ඨ දෙයක් මතක් කරන්නේ නැහැ.+ ඔහු අවිශ්වාසවන්තව වැඩ කරලා වැරදි දේ කරපු නිසා ඔහු මැරෙනවා.+ 25  “‘ඒත් ඔබ කියයි “යෙහෝවා වැඩ කරන විදිහ සාධාරණ නැහැ”+ කියලා. අනේ ඊශ්‍රායෙල් සෙනඟෙනි, මම කියන දේ අහන්න. මම වැඩ කරන විදිහද අසාධාරණ?+ අසාධාරණ විදිහට වැඩ කරන්නේ ඔබ නෙමෙයිද?+ 26  “‘ධර්මිෂ්ඨ කෙනෙක් හරි දේ කරන එක අතහැරලා වැරදි දේ කළොත් ඔහු කරන වැරදි නිසා ඔහුට මැරෙන්න වෙනවා. ඔහු මැරෙන්නේ ඔහුගෙම වැරදි නිසයි. 27  “‘දුෂ්ට කෙනෙක් ඔහු කරපු දුෂ්ට වැඩ අතහැරලා යුක්තිය, සාධාරණය ඉටු කරන්න පටන්ගන්නවා නම් ඔහුට තමන්ගේ ජීවිතේ* රැකගන්න පුළුවන් වෙනවා.+ 28  ඔහු කරපු වැරදි තේරුම් අරගෙන ඒ හැම එකක්ම අතහරිනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම ජීවිතේ රැකගන්න පුළුවන් වෙනවා. ඔහු මැරෙන්නේ නැහැ. 29  “‘ඒත් ඊශ්‍රායෙල් සෙනඟ මෙහෙම කියයි. “යෙහෝවා වැඩ කරන විදිහ සාධාරණ නැහැ.” ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඇත්තටම මම වැඩ කරන විදිහද අසාධාරණ?+ අසාධාරණ විදිහට වැඩ කරන්නේ ඔබ නෙමෙයිද?’ 30  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. ‘ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබව විනිශ්චය කරන්නේ ඔබ එක් එක් කෙනා වැඩ කරපු විදිහට අනුවයි.+ ඉතින් ඔබේ වැරදිවලින් අයින් වෙන්න. ඔබ කරපු හැම වරදකින්ම සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. එතකොට ඔබේ පය පැටලිලා ඔබ වැටෙන්නේ නැහැ. මං ඉස්සරහා ඔබ වරදකරුවන් වෙන්නෙත් නැහැ. 31  ඔබ කරපු හැම වරදකින්ම අයින් වෙන්න.+ හදවත අලුත් කරගන්න. අලුත් විදිහකට හිතන්න.+ ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ නිකම්ම මැරිලා යන්න හදන්නේ ඇයි?’+ 32  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘කිසිම කෙනෙක් මැරෙනවා දකින්න මම කැමති නැහැ.+ ඒ නිසා වැරදි අතහැරලා ජීවත් වෙන්න.’”+

පාදසටහන්

හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.
මූ.අ., “කිසිම වරදක් ආයේ මතක් කරන්නේ නැහැ.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.