එසකියෙල් 21:1-32

  • දෙවියන්ගේ කඩුව කොපුවෙන් එළියට ගනියි (1-17)

  • බැබිලෝනියේ රජ යෙරුසලමට විරුද්ධව එයි (18-24)

  • ඊශ්‍රායෙල්වල දුෂ්ට අධිපතියාව අයින් කරයි (25-27)

    • “ඔටුන්න අයින් කරලා දාන්න” (26)

    • “නීත්‍යනුකූල අයිතිය තියෙන කෙනා එන කල්” (27)

  • අම්මොන්වරුන්ට විරුද්ධව එන කඩුව (28-32)

21  යෙහෝවා දෙවියන් මට ආයෙත් සැරයක් කතා කරලා මෙහෙම කිව්වා.  “මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලම දිහාවට හැරිලා ශුද්ධස්ථානවලට ලැබෙන්න යන විනිශ්චය ගැන කියන්න. ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව අනාවැකි කියන්න.  ඊශ්‍රායෙල් දේශයට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම ඔබේ සතුරෙක් වෙනවා. මම මගේ කඩුව කොපුවෙන් ඇදලා+ ඔබ අතරේ ඉන්න ධර්මිෂ්ඨ අය වගේම දුෂ්ටයන්වත් මරලා දානවා.  මම කොපුවෙන් එළියට ගත්ත කඩුවෙන් දකුණේ ඉඳන් උතුර වෙන කල් ඉන්න හැමෝවම විනාශ කරලා දානවා. මොකද ඔබ අතරේ ඉන්න ධර්මිෂ්ඨයන්වයි, දුෂ්ටයන්වයි මම මරලා දානවා.  යෙහෝවා වන මම මගේ කඩුව කොපුවෙන් එළියට ගත්තා කියලා හැම කෙනෙක්ටම පිළිගන්න වෙනවා. ඒ කඩුව ආයේ කොපුවට දාගන්නේ නැහැ.”’+  “මනුෂ්‍ය පුත්‍රය, බයෙන් වෙවුලන ගමන් දුකෙන් කෙඳිරිගාන්න. සෙනඟට පේන්න හරිම දුකෙන් කෙඳිරිගාන්න.+  ‘ඇයි මේ කෙඳිරිගාන්නේ’ කියලා සෙනඟ ඔයාගෙන් ඇහුවොත් ‘ලැබුණ ආරංචියක් නිසයි’ කියලා එයාලට කියන්න. ආරංචි වුණ ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා. එදාට හැම කෙනෙක්ගෙම හිත් බයෙන් ගැහෙයි. අත් පණ නැතුව යයි. එයාලාගේ දණිස් තෙත් වෙයි.*+ ‘ආරංචි වුණ ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”  යෙහෝවා ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා.  “මනුෂ්‍ය පුත්‍රය, මේ අනාවැකිය කියන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “කඩුවක්! කඩුවක්+ මුවහත් කළා. ඒක හොඳින් දිලිසෙනවා. 10  ඒක මුවහත් කළේ මහා විනාශයක් කරන්නයි. ඒක ඔප දාලා තියෙන්නේ අකුණක් වගේ එළිය විහිදුවන්නයි.”’” “අපිට සතුටු වෙන්න බැරිද?” “‘හැම ගහක්ම අයින් කරලා දානවා වගේ ඒක* මගේ පුතාගේ රාජ යෂ්ටියත් අයින් කරලා දායිද?+ 11  “‘මම ඒක දුන්නේ හොඳින් ඔප දාලා සටනට පාවිච්චි කරන්නයි. මේ කඩුව මුවහත් කළෙත් හොඳින් ඔප දැම්මෙත් දඬුවම් කරන කෙනාගේ අතට දෙන්නයි.+ 12  “‘මනුෂ්‍ය පුත්‍රය, මහ හයියෙන් කෑගහලා අඬා වැලපෙන්න.+ මොකද ඒ කඩුව මගේ සෙනඟට විරුද්ධව ඇවිත්. ඊශ්‍රායෙල්වල ඉන්න අධිපතීන් හැමෝටම විරුද්ධව ඒක ඇවිත්.+ ඔවුනුත් මගේ සෙනඟ එක්ක ඒ කඩුවෙන් මැරුම් කනවා. ඒ නිසා ඔයා ඉන්නේ දුකෙන් කියලා පෙන්නන්න.* 13  මොකද සෙනඟව සෝදිසි කරලා බැලුවා.+ දැන් කඩුව ඇවිත් රාජ යෂ්ටිය අයින් කළොත් මොනවා වෙයිද? ඒක* නැති වෙලා යයි’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 14  “මනුෂ්‍ය පුත්‍රය, අනාවැකි කියන ගමන් අත්පුඩි ගහන්න. ‘කඩුවක්’ කියලා තුන් පාරක්ම කියන්න. ඒක ලේ හලන කඩුවක්. මහා විනාශයක් කරන කඩුවක්. ඒ කඩුව හැම පැත්තකින්ම එයාලව වට කරලා.+ 15  එයාලාගේ හිත් බයෙන් ගැහෙයි.+ නගරයේ දොරටු ළඟ හුඟදෙනෙක් මැරිලා වැටෙයි. මම කඩුවෙන් විනාශයක් කරනවා. ඒ කඩුව අකුණක් වගේ එළිය විහිදුවනවා. ඒක ඔප දැම්මේ විනාශයක් කරන්නයි. 16  කඩුව, දකුණට තියුණු පහරක් දෙන්න! වමටත් පහර දෙන්න. හැරෙන හැරෙන පැත්තට පහර දෙන්න! 17  මමත් අත්පුඩි ගහලා මගේ විනිශ්චය ක්‍රියාත්මක කරනවා. එතකොට මගේ කේන්තිය නිවිලා යයි.+ ඒ දේ කිව්වේ යෙහෝවා වන මමයි.” 18  යෙහෝවා ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 19  “මනුෂ්‍ය පුත්‍රය, බැබිලෝනියේ රජගේ කඩුවට එන්න පාරවල් දෙකක් ලකුණු කරන්න. එකම දේශයෙන් පටන්ගන්න ඒ පාරවල් නගර දෙකකට යන්න බෙදෙන තැන මාර්ග සලකුණක් හිටවන්න. 20  කඩුවට අම්මොන්වරුන්ගේ රබ්බා නගරයට විරුද්ධව යන්න ඒ පාරවල් දෙකෙන් එකක් ලකුණු කරන්න.+ අනිත් එක යූදාවල පවුරුවලින් වට වුණ යෙරුසලමට විරුද්ධව යන්න ලකුණු කරන්න.+ 21  පාර දෙකට බෙදෙන තැනදී බැබිලෝනියේ රජ නතර වෙලා පේන බලනවා. එයා ඊතල හොල්ලනවා. තමන් කරන්න ඕනෙ දේ ගැන එයාගේ රූපවලින්* අහනවා. සතෙක්ගේ අක්මාව පාවිච්චි කරලා පේන බලනවා. 22  පේන බලද්දී එයාගේ දකුණු අතේ තියෙන දේ පෙන්නන්නේ යෙරුසලම පැත්තයි. ඒකෙන් එයාට කියන්නේ පවුරු බිඳලා දාන යුධෝපකරණ ලෑස්ති කරගෙන හැමෝවම මරලා දාන්න අණ දෙන්න කියලයි. යුධ ඝෝෂා නඟන්න කියලත් යුධෝපකරණ ලෑස්ති කරගෙන නගරයේ දොරටුවලට පහර දෙන්න කියලත් නගරය වටලන්න බැම්මක් සහ පවුරක් හදන්න කියලත් ඒකෙන් එයාට කියනවා.+ 23  ඒත් එයාලා* එක්ක දිවුරලා ගිවිසුම් ගහගත්ත අය* හිතන්නේ පේන බලලා හෙළි වුණ දේ බොරුවක් කියලයි.+ ඒත් ඒ අය කරපු වැරදි එයාට මතක් වෙනවා. ඒ නිසා ඒ අයව අල්ලගන්නවා.+ 24  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ වැරදි කළේ කාටවත් ඒවා අමතක වෙන්නේ නැති වෙන විදිහටයි. මොකද ඔබ කරපු හැම වරදක්ම හෙළි වුණා. ඔබ කරපු හැම දේකින්ම ඔබ වැරදිකරුවන් කියලා ඔප්පු වුණා. ඔබ කරපු දේවල් අමතක වෙලා යන්නේ නැති නිසා ඔබව බලෙන්ම අල්ලන් යනවා.’ 25  “ඊශ්‍රායෙල්වල දුෂ්ට අධිපතියෙක් වන ඔබ මාරාන්තික පහරක් ලබලයි ඉන්නේ!+ ඔබේ දවස ඇවිල්ලා. ඔබට අවසාන දඬුවම දෙන පැය දැන් ඇවිල්ලා. 26  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘හිස්වැස්ම* ගලවන්න. ඔටුන්න අයින් කරලා දාන්න.+ දැන් වෙනසක් වෙනවා.+ පහතින් ඉන්න කෙනාව උසස් කරන්න.+ ඉහළින් ඉන්න කෙනාව පහත් කරන්න.+ 27  විනාශයක්! විනාශයක්! මම ඒක* විනාශ කරනවා. නීත්‍යනුකූල අයිතිය තියෙන කෙනා එන කල් ඒක කාටවත් අයිති වෙන්නේ නැහැ.+ ඔහු ආවාම මම ඒක ඔහුට දෙනවා.’+ 28  “මනුෂ්‍ය පුත්‍රය, දැන් මේ අනාවැකිය කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා අම්මොන්වරුන් ගැනයි, ඔවුන් කරපු නින්දා අපහාස ගැනයි කියන්නේ මේකයි.’ මෙහෙම කියන්න. ‘ලේ හලන්න කඩුවක් කොපුවෙන් එළියට ගත්තා. ඒක ඔප දාලා තියෙන්නේ සම්පූර්ණ විනාශයක් කරන්නයි. අකුණක් වගේ එළිය විහිදුවන්නයි. 29  ඔබ අතරේ ඉන්න පේන බලන අය කියන්නේ බොරු දේවල්, දකින්නේ බොරු දර්ශන. මොකද ඔබව මරලා දානවා. මැරුම් කාලා ඉන්න දුෂ්ට අය එක්ක ඔබවත් ගොඩගහනවා. දුෂ්ටයන්ට අන්තිම දඬුවම ලැබෙන දවස ඇවිත්. 30  කඩුව ආපහු කොපුවට දාන්න. ඔබ ආපු දේශයේදීම, ඉපදුණ තැනදීම මම ඔබව විනිශ්චය කරනවා. 31  මං තරහෙන් ඉන්න නිසා ඔබට දඬුවම් කරනවා. ගින්නක් වගේ ඇවිළිලා තියෙන මගේ කේන්තියෙන් ඔබ පිච්චිලා යයි. මිනිස්සුන්ව විනාශ කරන්න අතිදක්ෂ, දරුණු අයගේ අතට මම ඔබව අල්ලලා දෙනවා.+ 32  ඔබ ගින්නට ඉන්ධන වගේ වෙනවා.+ ඔබේ දේශයේදීම ඔබේ ලේ හලනවා. කාටවත් ආයේ ඔබව මතක් වෙන්නේ නැහැ. මොකද මේ දේවල් කිව්වේ යෙහෝවා වන මමයි.’”

පාදසටහන්

ඒ කියන්නේ බයට මුත්‍රා පිට වෙනවා කියන එක.
ඒ කියන්නේ යෙහෝවාගේ කඩුව.
හෝ, “දුකෙන් ඔයාගේ කළවයට ගහගන්න.”
හෝ, “රාජ යෂ්ටිය.”
මූ.අ., “ටෙරෆිම් රූපවලින්.”
පේන විදිහට බැබිලෝනිවරු.
ඒ කියන්නේ යෙරුසලමේ ඉන්න අය.
මූ.අ., “ජටාව.”
ඒ කියන්නේ ඔටුන්න. පේන විදිහට මෙතන කතා කරන්නේ රජකම ගැනයි.