එස්තර් 2:1-23

  • අලුත් බිසවක්ව හොයයි (1-14)

  • එස්තර් බිසව වෙයි (15-20)

  • මොර්දෙකයි කුමන්ත්‍රණයක් හෙළි කරයි (21-23)

2  අහෂ්වේරොෂ්+ රජගේ කේන්තිය නිවිලා කාලයක් ගියාට පස්සේ වෂ්ටී බිසව කරපු දේ+ ගැනත් එයාට විරුද්ධව දීපු තීරණය+ ගැනත් රජ කල්පනා කළා.  ඊටපස්සේ රජ ළඟම ඉඳන් සේවය කරපු නිලධාරීන් රජට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබතුමා වෙනුවෙන් ලස්සන, තරුණ කන්‍යාවන්ව හොයන්න අපි පියවර ගමු.  ඒකට රාජධානියේ හැම පළාතකම+ නිලධාරීන්ව පත් කරන්න. එයාලා හොයාගන්න ලස්සන, තරුණ කන්‍යාවන් හැමෝවම ෂූෂන්* මාලිගාවේ* ස්ත්‍රීන්ගේ නිවසට* අරගෙන එන්න කියලා අණ කරන්න. ඒ නිවසේ ස්ත්‍රීන්ව බලාගන්න ඉන්න රජගේ නිලධාරියා* වන හෙගයිට+ එයාලව භාර දෙන්න. රුව වඩවන සත්කාර* එයාලට ලබා දෙන්න කියලත් අණ කරන්න.  රජතුමනි, එයාලා අතරින් ඔබතුමා කැමතිම තරුණියව වෂ්ටී වෙනුවට බිසව විදිහට පත් කරන්න.”+ එයාලා දීපු යෝජනාව හොඳයි කියලා රජට තේරුණා. ඉතින් රජ එහෙම කරන්න පියවර ගත්තා.  ඒ කාලේ මොර්දෙකයි+ කියලා යුදෙව් ජාතිකයෙක් ෂූෂන්+ මාලිගාවේ සේවය කළා. එයාගේ තාත්තා යායිර්. එයාගේ සීයා බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති කිෂ්ගේ පුතා වුණ ෂිමෙයි.  බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් යූදාවල රජ වුණ යෙකොනියාව*+ යෙරුසලමේ ඉඳලා අරන් යද්දී වහලුන් විදිහට ගෙනිච්ච අය අතරේ එයා* හිටියා.  මොර්දෙකයිගේ තාත්තාගේ සහෝදරයාට+ හදස්සා* කියලා දුවෙක් හිටියා. එයාගේ දෙමාපියන් මැරුණාට පස්සේ මොර්දෙකයි තමන්ගෙම දුවෙක් විදිහට එයාව හදාගත්තා. එස්තර් කියන නමිනුත් හඳුන්වපු එයා හරිම ලස්සන තරුණියක්.  රජගේ නියෝගය දැනුම් දුන්නාට පස්සේ තරුණියන් හුඟදෙනෙක්ව ෂූෂන් මාලිගාවට එක්කගෙන ඇවිත් හෙගයිට+ භාර දුන්නා. ඒ අය අතර එස්තරුත් හිටියා. එයාවත් රජගේ මාලිගාවට අරන් ගිහිල්ලා ස්ත්‍රීන්ගේ නිවස බලාගන්න හිටිය හෙගයිට භාර දුන්නා.  හෙගයිට එස්තර් ගැන පැහැදීමක් ඇති වුණ නිසා එයා එස්තර්ට ගොඩක් කරුණාවන්තව* සැලකුවා. ඉතින් එයා ඉක්මනින්ම එස්තර්ට රුව වඩවන සත්කාර+ සහ එයාට නියම වෙලා තිබුණ කෑම බීම ලබා දෙන්න පියවර ගත්තා. රජමාලිගාවේ සේවය කරපු තරුණියන් හත්දෙනෙක්වත් එයාගේ උදව්වට ලබා දුන්නා. එස්තර්ටයි, එයාගේ උදව්වට හිටපු ඒ තරුණියන්ටයි ස්ත්‍රීන්ගේ නිවසේ* තිබුණ හොඳම තැනත් එයා ලබා දුන්නා. 10  එස්තර් එයාගේ ජාතිය ගැනවත්+ එයාගේ නෑදෑයන් ගැනවත් කාටවත් මුකුත් කිව්වේ නැහැ. මොකද ඒ ගැන කිසිම දෙයක් කියන්න එපා කියලා මොර්දෙකයි+ එයාට කියලා තිබුණා.+ 11  එස්තර්ගේ සැපසනීප ගැන සහ එයාට මොනවාද වෙන්නේ කියලා දැනගන්න මොර්දෙකයි හැමදාම ස්ත්‍රීන්ගේ නිවසේ මළුව හරියට ගියා. 12  රජ ඉස්සරහට යන්න සූදානම් වෙන්න තරුණියන්ට මාස 12ක් නියම කරලා තිබුණා. ඒ කාලේදී එයාලාගේ රුව වඩවන්න මාස හයක් සුවඳ ලාටු තෛලයෙනුත්+ තව මාස හයක් බෝල්සම් තෙල්+ සහ වෙනත් ආලේපනවලිනුත් එයාලට සත්කාර කළා. ඒ කාලේ ඉවර වුණාට පස්සේ හැම තරුණියකටම අහෂ්වේරොෂ් රජ ඉස්සරහට යන්න වාරයක් ආවා. 13  රජ ඉස්සරහට යන්න සූදානම් කරපු තරුණියක් ස්ත්‍රීන්ගේ නිවසේ ඉඳලා රජමාලිගාවට යද්දී එයා ඉල්ලන ඕනෙම දෙයක් එයාට දුන්නා. 14  එයා හවස් වරුවේදී තමයි රජ ළඟට ගියේ. ඊළඟ දවසේ උදේ එයා රජගේ උපභාර්යාවන් බලාගත්ත ෂයෂ්ගාස් කියන නිලධාරියාගේ+ භාරයේ තිබුණ ස්ත්‍රීන්ගේ දෙවෙනි නිවසට ගියා. රජ එයාට කැමති වෙලා එයාගේ නම කියලා කතා කළේ නැත්නම් රජ ළඟට ආයෙත් යන්න එයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.+ 15  මොර්දෙකයි තමන්ගෙම දුවෙක් වගේ හදාගත්ත+ එයාගේ තාත්තාගේ සහෝදරයා වුණ අබිහයිල්ගේ දුව වුණ එස්තර්ටත් රජ ළඟට යන්න වාරය ආවා. තරුණියන්ව බලාගන්න පත් කරපු හෙගයි එයාට දුන්න දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් එයා ඉල්ලුවේ නැහැ. (ඒ කාලේ අතරතුර එස්තර් එයාට හම්බ වුණ හැමෝගෙම හිත දිනාගත්තා.) 16  එස්තර්ව අහෂ්වේරොෂ් රජ ළඟට අරන් ගියේ රජ පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ+ දහවෙනි මාසේදී, ඒ කියන්නේ ටීබෙත්* මාසේදී. 17  රජ අනිත් හැම ස්ත්‍රියකටම වඩා එයාට ආදරේ කළා. අනිත් හැම තරුණියකටම වඩා රජගේ හිත ඇදිලා ගියෙත් රජ කැමති වුණෙත්* එස්තර්ටයි. ඒ නිසා රජ එයාට රාජකීය හිස් පලඳනාව දාලා වෂ්ටී වෙනුවට+ එයාව බිසව+ කරගත්තා. 18  රජ එස්තර් වෙනුවෙන් මහා භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා ඒකට අධිපතීන්ටත් රජගේ සේවකයන්ටත් ආරාධනා කළා. රජ තමන් යටතේ තිබුණ හැම පළාතකටම රාජ්‍ය සමාවක්* ප්‍රකාශ කරලා ලෝභ නැතුව ගොඩක් තෑගිබෝග බෙදලා දුන්නා. 19  දෙවෙනි පාරට කන්‍යාවන්ව*+ එක් රැස් කරන අවස්ථාවේදී මොර්දෙකයි රජමාලිගාවේ දොරටුව ළඟ ඉඳගෙන හිටියා.* 20  එස්තර් මොර්දෙකයිගේ රැකවරණය යටතේ ඉද්දී+ එයාට කීකරු වුණ විදිහටම දිගටම එයාට කීකරු වෙලා හිටියා. ඒ නිසා මොර්දෙකයි එයාට කියලා තිබුණ විදිහට එයා එයාගේ ජාතිය ගැනවත් එයාගේ නෑදෑයන් ගැනවත් කිසිම දෙයක් කාටවත් කිව්වේ නැහැ.+ 21  මොර්දෙකයි රජමාලිගාවේ දොරටුව ළඟ සේවය කරපු කාලේ රජගේ නිලධාරීන් විදිහට හිටපු දොරටු පාලකයන් දෙන්නෙක් වුණ බිග්තාන්ටයි, තෙරෙෂ්ටයි අහෂ්වේරොෂ් රජ එක්ක කේන්ති ගිහින් එයාව මරලා දාන්න කුමන්ත්‍රණය කළා. 22  ඒ කුමන්ත්‍රණය ගැන මොර්දෙකයි දැනගත්ත ගමන්ම එයා ඒ ගැන එස්තර් බිසවට දැන්නුවා. එස්තර් ඒ ගැන රජට කිව්වා. ඒක දැනගත්තේ මොර්දෙකයිගෙන් කියලත් එයා කිව්වා. 23  රජ ඒ කාරණය ගැන විභාග කරලා බැලුවාම ඒක ඇත්තක් කියලා එළි වුණා. ඒ නිසා ඒ මිනිස්සු දෙන්නාවම කණුවක එල්ලුවා. ඒ සම්පූර්ණ සිද්ධියම රජ ඉස්සරහම ඉතිහාසය වාර්තා කරන ලියවිල්ලේ+ ලියලා තිබ්බා.

පාදසටහන්

හෝ, “සූසා.”
හෝ, “බලකොටුවේ.”
හෝ, “අන්තඃපුරය ඉන්න ස්ථානයට.”
මූ.අ., “නපුංසකයා.” ඒ කියන්නේ ලිංගේන්ද්‍රිය කපලා ඉවත් කරපු කෙනෙක්.
හෝ, “සම්බාහනය.”
2රාජා 24:8 යෙහෝයාකින් කියන නමින් හඳුන්වලා තියෙනවා.
මෙතන කතා කරන්නේ එක්කෝ කිෂ් ගැන නැත්තම් මොර්දෙකයි ගැන වෙන්න පුළුවන්.
තේරුම, “මරඳ ගහ.”
හෝ, “අන්තඃපුරය ඉන්න ස්ථානයේ.”
හෝ, “නොසැලෙන ආදරේකින්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. B15 බලන්න.
හෝ, “නොසැලෙන ආදරයක් පෙන්නුවෙත්.”
මේකෙන් බදුවලින් නිදහස් කරන එක, හමුදා සේවයෙන් නිදහස් කරන එක, හිරෙන් නිදහස් කරන එක නැත්නම් ඒ ඔක්කොම අදහස් වෙන්න පුළුවන්.
හෝ, “තරුණියන්ව.”
පේන විදිහට රජගේ නිලධාරියෙක් විදිහට.