එස්තර් 6:1-14
-
රජ මොර්දෙකයිට ගෞරව කරයි (1-14)
6 එදා රෑ රජට නින්ද ගියේ නැති නිසා ඉතිහාසය වාර්තා කරන ලියවිල්ල+ ගේන්න කියලා රජ සේවකයන්ට කිව්වා. ඉතින් රජගේ සේවකයෝ ඒක ගෙනල්ලා රජට ඇහෙන්න කියෙව්වා.
2 එයාලා කියවපු කොටසේ රජගේ නිලධාරීන් විදිහට හිටපු දොරටු පාලකයන් දෙන්නෙක් වුණ බිග්තාන් සහ තෙරෙෂ් අහෂ්වේරොෂ් රජව මරලා දාන්න කරපු කුමන්ත්රණය මොර්දෙකයි හෙළි කරපු විදිහ ගැන වාර්තා කරලා තිබුණා.+
3 එතකොට රජ මෙහෙම ඇහුවා. “මොර්දෙකයි කරපු දේ අගය කරන්න අපි මොනවාද කළේ? එයාට ගෞරවය පෙන්නුවේ කොහොමද?” රජ ළඟම ඉඳන් සේවය කරපු නිලධාරීන් රජට මෙහෙම උත්තර දුන්නා. “එයා වෙනුවෙන් මුකුත්ම කළේ නැහැ.”
4 පස්සේ රජ මෙහෙම කිව්වා. “මළුවට ඇවිත් ඉන්නේ කවුද කියලා බලන්න.” ඒ වෙලාවේ රජමාලිගාවේ පිටත මළුවට+ ඇවිල්ලා හිටියේ හාමාන්. එයා හදපු කණුවේ මොර්දෙකයිව එල්ලන්න රජගෙන් අවසර ලබාගන්න+ තමයි එයා රජමාලිගාවට ඇවිත් හිටියේ.
5 රජ ඉස්සරහා සේවය කරපු නිලධාරීන් රජට කිව්වා “රජතුමනි, පිටත මළුවේ හිටගෙන ඉන්නේ හාමාන්”+ කියලා. එතකොට රජ කිව්වා “එයාට එන්න කියන්න” කියලා.
6 හාමාන් රජ ඉස්සරහට ආවාම රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “රජ්ජුරුවන් කාට හරි ගෞරවය ලබා දෙන්න කැමති නම් ඒ කෙනා වෙනුවෙන් මොනවාද කරන්න ඕනේ?” එතකොට හාමාන් මෙහෙම හිතුවා. “රජතුමා ඉතින් මට මිසක් ගෞරවයෙන් සලකන්න කැමති වෙන කාටද!”+
7 ඉතින් හාමාන්, රජට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබතුමා ගෞරවය ලබා දෙන්න කැමති කෙනාට මේ දේවල් කරන්න.
8 රජ්ජුරුවන් අඳින ඇඳුමකුයි,+ රජ්ජුරුවන් නැඟලා යන රාජකීය හිස පලඳනාවකින් සරසපු අශ්වයෙක්වයි ගේන්න කියලා කියන්න.
9 ඒ රාජකීය ඇඳුමයි, අශ්වයාවයි රජගේ අධිපතීන්ගෙන් උසස්ම කෙනෙක්ට භාර දෙන්න. ඊටපස්සේ එයාට කියන්න රජ්ජුරුවන් ගෞරවය ලබා දෙන්න කැමති ඒ කෙනාට රාජකීය ඇඳුම අන්දවලා, එයාව අශ්වයා පිටේ නුවරේ ප්රධාන හන්දිය වටේ එක්කගෙන යන්න කියලා. එයාව එහෙම ගෙනියද්දී එයාට ඉස්සරහින් කෑගහලා ‘බලන්න! ගෞරවය ලබා දෙන්න රජ්ජුරුවන් කැමති කෙනාට සලකන විදිහ! මෙහෙම තමයි සලකන්නේ’ කියලා කියන්නත් අණ කරන්න.”+
10 ඒක අහපු ගමන්ම රජ හාමාන්ට මෙහෙම කිව්වා. “ඉක්මන් කරන්න! රාජකීය ඇඳුමකුයි, අශ්වයෙක්වයි අරගෙන රජමාලිගාවේ දොරටුව ළඟ ඉන්න යුදෙව් ජාතික මොර්දෙකයි ළඟට යන්න. ඔයා කියපු හැම දෙයක්ම එයා වෙනුවෙන් කරන්න. කිසිම අඩුපාඩුවක් වෙන්න බැහැ.”
11 ඉතින් හාමාන් රාජකීය ඇඳුමයි, අශ්වයාවයි අරගෙන මොර්දෙකයි+ ළඟට ගියා. එයා මොර්දෙකයිට ඒ ඇඳුම අන්දවලා එයාව අශ්වයා පිටේ නග්ගලා නුවරේ ප්රධාන හන්දිය වටේ අරගෙන ගියා. මොර්දෙකයිව එහෙම අරගෙන යද්දී “බලන්න! ගෞරවය ලබා දෙන්න රජ්ජුරුවන් කැමති කෙනාට සලකන විදිහ” කියලා එයා කෑගහලා කිව්වා.
12 ඊටපස්සේ මොර්දෙකයි ආපහු රජමාලිගාවේ දොරටුව ළඟට ගියා. ඒත් හාමාන් එයාගේ ඔළුවත් වහගෙන හරිම දුකෙන් ඉක්මනින්ම එයාගේ ගෙදරට ගියා.
13 හාමාන් එයාට වෙච්ච හැම දෙයක් ගැනම එයාගේ බිරිඳ වුණ ෂෙරෙෂ්ටයි,+ එයාගේ යාළුවන්ටයි කිව්වා. එතකොට එයාගේ උපදේශකයනුයි, එයාගේ බිරිඳයි මෙහෙම කිව්වා. “දැන් ඔයාට වඩා ඉහළ තැනක් ලැබිලා තියෙන මොර්දෙකයි යුදෙව්වෙක්* කියන කතාව ඇත්ත නම් එයාට විරුද්ධව කිසිම දෙයක් කරන්න ඔයාට පුළුවන් වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම පරදිනවා.”
14 එයාලා හාමාන් එක්ක ඒ දේවල් කතා කරකර ඉද්දීම රජගේ නිලධාරීන් ඇවිත් එස්තර් බිසව සූදානම් කරපු භෝජන සංග්රහයට හාමාන්ව ඉක්මනින්ම එක්කගෙන ගියා.+
පාදසටහන්
^ මූ.අ., “යුදෙව් පෙළපතෙන් එන කෙනෙක්.”