එස්තර් 7:1-10

  • එස්තර් හාමාන්ගේ කුමන්ත්‍රණය හෙළි කරයි (1-6අ)

  • හාමාන් හදපු කණුවේම එයාව එල්ලයි (6ආ-10)

7  එස්තර් බිසව සූදානම් කරපු භෝජන සංග්‍රහයට රජයි, හාමානුයි+ ආවා.  දෙවෙනි දවසේ තිබ්බ භෝජන සංග්‍රහයේ වයින් බොන වෙලාවේ රජ එස්තර්ගෙන් මෙහෙම ඇහුවා. “මගේ බිසව එස්තර්, ඔයාට මොනවාද ඕනේ? මට කියන්න. මම ඒක ඔයාට දෙන්නම්. ඔයා මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත් මං ඒක ඔයාට දෙනවා.”+  එස්තර් බිසව රජට මෙහෙම කිව්වා. “රජතුමනි, මං ඔබේ කරුණාව දිනාගෙන තියෙනවා නම් අනේ මගේ ඉල්ලීම ඉටු කරන්න ඔබතුමා සතුටුයි නම් මගේ ජීවිතෙයි, මගේ සෙනඟගේ ජීවිතයි+ බේරලා දෙන්න කියලා මං ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා.  මාවයි, මගේ සෙනඟවයි විකුණලා තියෙනවා.+ අපිව විකුණලා තියෙන්නේ දාසකමට නම් මට සද්ද නැතුව ඉන්න තිබුණා. ඒත් අපිව විකුණලා තියෙන්නේ අපිව මරලා නැත්තටම නැති කරලා දාන්නයි.+ අනික මේ විපත වුණොත් ඒකෙන් රජතුමාට ලොකු පාඩුවක් වෙනවා. ඒකට නම් ඉඩ දෙන්න බැහැ.”  ඒක අහපු අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවගෙන් මෙහෙම ඇහුවා. “එච්චර දෙයක් කරන්න තරම් හයියක් තියෙන මිනිහා කවුද? කොහෙද ඒ මිනිහා ඉන්නේ?”  එතකොට එස්තර් කිව්වා “ඒ හතුරා වෙන කවුරුත් නෙමෙයි මේ දුෂ්ට හාමාන්” කියලා. රජ සහ බිසව ඉස්සරහා හිටපු හාමාන් හොඳටම බය වුණා.  රජ හරිම කේන්තියෙන් භෝජන සංග්‍රහය තිබුණ තැනින් නැඟිටලා මාලිගාවේ උයනට ගියා. රජ තමන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා කියලා හාමාන්ට තේරුණා. ඉතින් එයා එස්තර් බිසව ළඟට ගිහිල්ලා එයාගේ ජීවිතේ බේරලා දෙන්න කියලා කන්නලව් කරන්න පටන්ගත්තා.  උයනේ ඉඳන් භෝජන සංග්‍රහය පවත්වපු තැනට රජ ආපහු ආවාම එස්තර් බිසව හිටපු යහන මත හාමාන් වැටිලා ඉන්නවා දැක්කා. එතකොට රජ “මොකක්! මගේ මාලිගාව ඇතුළෙම මේකා මගේ බිසවව දූෂණය කරන්නද හදන්නේ” කියලා කෑගැහුවා. ඒ වචන ටික රජගේ කටින් පිට වෙනවාත් එක්කම රජගේ සේවකයන් ඇවිල්ලා හාමාන්ගේ මුහුණ වැහුවා.  රජගේ නිලධාරියෙක් වුණ හර්බොනා+ මෙහෙම කිව්වා. “රජගේ ජීවිතේ බේරලා දීපු+ මොර්දෙකයිව එල්ලන්න හාමාන් රියන් 50ක්* උස කණුවක් හදලා තියෙනවා.+ ඒක එයාගේ ගෙදර තියෙනවා.” එතකොට රජ මෙහෙම අණ කළා. “ඒ කණුවේ හාමාන්ව එල්ලන්න.” 10  ඉතින් මොර්දෙකයිව එල්ලන්න හාමාන් හදපු කණුවේ එයාලා හාමාන්ව එල්ලුවා. ඊටපස්සේ රජගේ කේන්තිය නිවිලා ගියා.

පාදසටහන්

මීටර් 22.3ක් (අඩි 73ක්) විතර. උප. B14 බලන්න.