එස්තර් 8:1-17

  • මොර්දෙකයිට උසස් තනතුරක් ලැබෙයි (1, 2)

  • එස්තර් රජට කන්නලව් කරයි (3-6)

  • රජ තව නියෝගයක් දෙයි (7-14)

  • ලැබුණ නිදහස ගැන යුදෙව්වන් සතුටු වෙයි (15-17)

8  ඒ දවසේදී අහෂ්වේරොෂ් රජ යුදෙව්වන්ට සතුරුකම් කරපු+ හාමාන්ට අයිති හැම දෙයක්ම+ එස්තර් බිසවට භාර දුන්නා. මොර්දෙකයි සහ තමන් අතර තියෙන නෑකම ගැන+ එස්තර් රජට කිව්වාට පස්සේ මොර්දෙකයි රජ ඉස්සරහට ආවා.  ඊටපස්සේ රජ එයාගේ මුද්ද*+ ගලවලා මොර්දෙකයිට දුන්නා. රජ ඒ මුද්ද කලින් හාමාන්ට දීලා තිබුණත් ඒක ආපහු එයාගෙන් අරගෙන තිබුණා. එස්තර් හාමාන්ට අයිති හැම දෙයක්ම බලාගන්න මොර්දෙකයිට භාර දුන්නා.+  ඊටපස්සේ එස්තර් ආපහු රජට කතා කළා. එයා රජගේ කකුල් දෙක ළඟ වැටිලා අඬඅඬ රජට කන්නලව් කළා. ආගග්ගෙන් පැවත ආපු හාමාන් නිසා ඇති වුණ හානිය කණපිට හරවන්න කියලත් යුදෙව්වන්ට විරුද්ධව හාමාන් කරපු කුමන්ත්‍රණය අසාර්ථක කරන්න කියලත් එයා රජගෙන් ඉල්ලුවා.+  රජ එයාගේ රන් යෂ්ටිය එස්තර් බිසවට දික් කළා.+ එතකොට එස්තර් බිසව නැඟිටලා රජ ඉස්සරහා හිටගත්තා.  එයා රජට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබේ කරුණාව මං දිනාගෙන තියෙනවා නම් මං ඔබෙන් ඉල්ලන දේ සාධාරණයි කියලා ඔබට හිතෙනවා නම් ඒක ඉටු කරන්න ඔබ සතුටුයි නම් මගේ මේ ඉල්ලීම ඉටු කරන්න. අර කුමන්ත්‍රණකාරයා, ආගග්ගෙන් පැවතෙන+ හම්මෙදාතාගේ පුතා වුණ හාමාන්, රාජධානියේ හැම පළාතකම ඉන්න යුදෙව්වන්ව විනාශ කරන්න කියලා ලිඛිතව දන්වලා තියෙනවා.+ ඒක අවලංගු කරන්න නියෝගයක් පනවලා ඒක ලිඛිතව දන්වන්න කියලා මං ඔබතුමාගෙන් බැගෑපත්ව ඉල්ලනවා.  මගේ සෙනඟ විනාශ වෙන එක මං කොහොමද බලාගෙන ඉන්නේ? මගේ නෑදෑයන් විනාශ වෙද්දී මං කොහොමද ඇස් කන් පියාගෙන බලන් ඉන්නේ?”  ඉතින් අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවටයි, යුදෙව් ජාතික මොර්දෙකයිටයි මෙහෙම කිව්වා. “හාමාන් යුදෙව්වන්ව විනාශ කරන්න කුමන්ත්‍රණය කරපු නිසා එයාව කණුවක එල්ලන්න මං නියම කළා.+ එයාට අයිති හැම දෙයක්මත් මම එස්තර් බිසවට භාර දුන්නා.+  ඉතින් දැන් යුදෙව්වන්ගේ යහපත වෙනුවෙන් ඔයාලට හොඳයි කියලා හිතෙන දෙයක් රජගේ නමින් ලියලා රජගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මොකද රජගේ නමින් නියෝගයක් ලියලා ඒක රජගේ මුද්දෙන් මුද්‍රා කළාට පස්සේ ඒ නියෝගය කාටවත් අවලංගු කරන්න බැහැ.”+  තුන්වෙනි මාසේ ඒ කියන්නේ සීවාන්* මාසේ 23වෙනිදා රජගේ ලේකම්වරුන්ට එන්න කියලා කිව්වා. යුදෙව්වන්ටයි, දිසාපතීන්ටයි,+ ආණ්ඩුකාරයන්ටයි, විවිධ ජන කොටස්වල අධිපතීන්ටයි+ යවන්න මොර්දෙකයි අණ කරපු හැම දෙයක්ම ලේකම්වරු ලියවිල්ලක ලිව්වා. ඉන්දියාවේ ඉඳන් ඉතියෝපියාව වෙන කල් තිබුණ පළාත් 127ක ඉන්න අයට යවන්න ලියපු ඒ ලියුම් ඒ එක එක පළාත්වල ඉන්න මිනිස්සු කතා කරන භාෂාවෙන් සහ එයාලට කියවන්න පුළුවන් අකුරුවලින් ලියලා තිබුණා. යුදෙව්වන්ට යවපු ලියුමත් එයාලාගේ භාෂාවෙන් සහ එයාලට කියවන්න පුළුවන් අකුරුවලින් ලියලා තිබුණා. 10  මොර්දෙකයි ඒ නියෝගය ඇතුළත් ලියුම් අහෂ්වේරොෂ් රජගේ නමින් ලියලා රජගේ මුද්දෙන්+ මුද්‍රා කළා. ඊටපස්සේ රාජකීය සේවාවන්වලටම පාවිච්චි කරන වේගවත්ම අශ්වයන් පිටේ නැඟලා යන පණිවිඩකරුවන් අතේ ඒවා යැව්වා. 11  හැම නුවරකම ජීවත් වෙන යුදෙව්වන්ට එයාලාගේ ජීවිත ආරක්ෂා කරගන්න සංවිධානය වෙන්න රජ අවසර දෙනවා කියලා ඒ ලියවිල්ලේ සඳහන් වුණා. යුදෙව්වන්ට පහර දෙන්න එන ඕනෙම පළාතක ඉන්න මිනිස්සුන්ව සහ ජන කොටසක්ව එයාලාගේ ස්ත්‍රීන් සහ දරුවන් එක්ක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්නත් යුදෙව්වන්ට ඒ ලියවිල්ලෙන් අවසර ලැබුණා. එයාලාගේ දේපළ පැහැරගන්නත්+ රජ යුදෙව්වන්ට අවසර දීලා තිබුණා. 12  අහෂ්වේරොෂ් රජ යටතේ තිබුණ හැම පළාතකම එකම දවසේ ඒ කියන්නේ 12වෙනි මාසේ වන ආදාර්*+ මාසේ 13වෙනිදා එහෙම කරන්න ඕනෙ කියලා ඒ ලියවිල්ලේ සඳහන් වුණා. 13  ලියුමේ තියෙන හැම දෙයක්ම හැම පළාතකම ජීවත් වුණ මිනිස්සු නීතියක් හැටියට පිළිපදින්න ඕනෙ වුණා. ඒ ගැන හැමෝටම දැනුම් දෙන්න කියලත් අණ කළා. එහෙම කළේ ඒ දවසේදී යුදෙව්වන්ට එයාලාගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න+ සූදානම් වෙලා ඉන්න පුළුවන් වෙන්නයි. 14  රජ අණ කරපු විදිහටම පණිවිඩකරුවන් ඒ ලියුම් අරගෙන රාජකීය සේවාවන්වලටම පාවිච්චි කරන හරිම වේගවත් අශ්වයන් පිටේ නැඟලා ඉක්මනින්ම පිටත් වෙලා ගියා. ෂූෂන්*+ මාලිගාවෙත්* ඒ නීතිය ගැන දැනුම් දුන්නා. 15  මොර්දෙකයි නිල් පාට සහ සුදු පාට රෙදිවලින් හදපු රාජකීය ඇඳුමක් ඇඳලා අනර්ඝ ලොම්වලින් හදපු දම් පාට ඇඳුමක්+ ඒකට උඩින් දාලා රන් ඔටුන්නක් දාගෙන රජ ඉස්සරහින් පිටත් වෙලා ගියා. ෂූෂන්* නුවරේ හිටපු හැමෝම ගොඩක් සතුටින් කෑගහන්න පටන්ගත්තා. 16  මොකද යුදෙව්වන්ට ලොකු සහනයක්, පිළිගැනීමක් සහ ගෞරවයක් ලැබුණා. එයාලා ගොඩක් සතුටු වුණා. 17  රජ දීපු නියෝගය සහ පනවපු නීතිය ගැන දැනුම් දීපු හැම පළාතකම, හැම නුවරකම හිටපු යුදෙව්වන් ගොඩක් සතුටින් උත්සව පැවැත්තුවා. යුදෙව්වන්ට බය වුණ වෙනත් ජාතීන්ට අයිති මිනිස්සුත් එයාලා යුදෙව්වන් කියලා කියන්න පටන්ගත්තා.+

පාදසටහන්

මූ.අ., “මුද්‍රා තියන මුද්ද.”
උප. B15 බලන්න.
උප. B15 බලන්න.
හෝ, “සූසා.”
හෝ, “බලකොටුවෙත්.”
හෝ, “සූසා.”