එස්රා 4:1-24

  • දේවමාලිගාව හදන එකට විරුද්ධවාදිකම් එයි (1-6)

  • අර්තක්ෂස්තා රජට සතුරන් පැමිණිලි කරයි (7-16)

  • අර්තක්ෂස්තාගේ උත්තරය (17-22)

  • දේවමාලිගාවේ වැඩ නතර කරයි (23, 24)

4  නිදහස් වෙලා ආව අය+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් මාලිගාවක් හදනවා කියලා යූදා සහ බෙන්ජමින්වරුන්ගේ සතුරන්ට+ ආරංචි වුණා.  ඒක දැනගත්ත ගමන්ම එයාලා සෙරුබාබෙල් සහ පෙළපත්වල ප්‍රධානීන් ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඇසිරියාවේ රජ වුණ ඒසර්හද්දොන්+ අපිව මේ දේශයට ගෙනාපු කාලේ+ ඉඳලා මේ වෙන කල් අපි නමස්කාර කරන්නේ ඔයාලාගේ දෙවියන්ට.+ පූජා ඔප්පු කරන්නෙත් ඔහුටයි. ඉතින් මේ මාලිගාව ගොඩනඟන වැඩේට ඔයාලා එක්ක එකතු වෙන්න අපිටත් ඉඩ දෙන්න.”  ඒත් සෙරුබාබෙල්, යේෂුවා ඇතුළු ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන් එයාලට මෙහෙම කිව්වා. “අපිත් එක්ක එකතු වෙලා අපේ දෙවියන්ට මාලිගාවක් ගොඩනඟන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ.+ පර්සියාවේ රජ වන සයිරස් අපිට නියෝග කරපු විදිහට අපි තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ මාලිගාව ගොඩනඟන්නේ.”+  එදා ඉඳන් අවට හිටපු ජාතීන් යූදා සෙනඟව අධෛර්යය කරන්නත් බය කරන්නත් නිතරම උත්සාහ කළා. ගොඩනැඟීමේ වැඩේ නවත්තන්නයි එයාලට ඕනෙ වුණේ.+  එයාලා යූදා සෙනඟට විරුද්ධව වැඩ කරන්නත් සැලසුම් කඩාකප්පල් කරන්නත්+ නිලධාරීන්ව පවා කුලියට ගත්තා. පර්සියාවේ රජ වුණ සයිරස් පාලනය කරපු කාලේ ඉඳලා දාරියුස්ගේ*+ පාලනය පටන්ගන්න කල්ම මේ තත්වය තිබුණා.  අහෂ්වේරොෂ්* රජ පාලනය කරපු මුල් කාලේදී එයාලා යූදා සහ යෙරුසලමේ වැසියන්ට විරුද්ධව චෝදනා කරලා ලිපියක් ලියලා යැව්වා.  පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තාගේ* පාලන කාලේදී බිෂ්ලාම්, මිත්රෙදාත්, ටාබෙයෙල් සහ එයාගේ සගයෝ එකතු වෙලා අර්තක්ෂස්තා රජට ලිපියක් ලිව්වා. ඒක ඇරමයික භාෂාවට+ පරිවර්තනය කරලා ඇරමයික අකුරුවලින්* රජට ලියලා යැව්වා.  * ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම් සහ ලේකම් වුණ ෂිම්ෂයි යෙරුසලමේ වැසියන්ට විරුද්ධව අර්තක්ෂස්තා රජට යවපු ලිපියේ මෙහෙම සඳහන් වුණා.  (මේ ලිපිය ලියලා එවන්නේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම්, ලේකම් වුණ ෂිම්ෂයි සහ සෙසු නිලධාරීන් වුණ විනිශ්චයකරුවන්, නියෝජ්‍ය ආණ්ඩුකාරයන්, ලේකම්වරුන් සහ බැබිලෝනියට අයිති ඒරෙක්වල+ වැසියන්, සූසාවල+ වැසියන් වුණ ඒලාම්වරු,+ 10  ගරු අසනපර් රජතුමා වහලුන් විදිහට අරන් ගිහින් සමාරියේ නගරවල පදිංචි කරපු ජාතීන් වගේම මහ ගඟෙන් එගොඩ* ප්‍රදේශවල ඉන්න+ අනිත් ජාතීන් විසිනුයි.) 11  පහත සඳහන් වෙන්නේ එයාලා යවපු ලිපියේ තිබුණ දේවල්. “අර්තක්ෂස්තා රජ්ජුරුවන් වෙතටයි. මේ ලිපිය ලියන අපි මහ ගඟෙන් එගොඩ ජීවත් වෙන ඔබේ සේවකයන්. 12  රජතුමනි, ඔබ ඉන්න පළාතේ ඉඳන් ආව යුදෙව්වන් දැන් යෙරුසලමට ඇවිල්ලා ඒ කැරලිකාර, දුෂ්ට නුවර ආපහු ගොඩනඟනවා. ඒ ගැන ඔබට දන්වන එක සුදුසුයි කියලා අපිට හිතුණා. එයාලා මේ වෙද්දී අත්තිවාරම් අලුත්වැඩියා කරලා පවුරු නැවත ගොඩනඟමින් ඉන්නවා.+ 13  ඒ නුවර ගොඩනඟලා, පවුරු සම්පූර්ණයෙන් හදලා ඉවර කළොත් එයාලා ඇඟ බද්ද, භාණ්ඩ බද්ද+ සහ මාර්ග බද්ද ගෙවන එක නවත්තයි. ඒකෙන් රාජකීය භාණ්ඩාගාරයට ලොකු අලාභයක් වෙන්න පුළුවන් කියලා අපි රජ්ජුරුවන්ට දන්වන්න කැමතියි. 14  රජ්ජුරුවන්ට ඒ වගේ පාඩුවක් වෙන එක අපිට බලාගෙන ඉන්න බැහැ. ඒ නිසයි ඔබෙන් යැපෙන* අපි මේ ලිපිය මාර්ගයෙන් රජ්ජුරුවන්ට ඒ ගැන දන්වන්න හිතුවේ. 15  ඔබතුමාගේ මුතුන්මිත්තන් ගැන සඳහන් වෙලා තියෙන ලියවිලි+ පරීක්ෂා කරලා බලන්න කියලත් අපි රජ්ජුරුවන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. එතකොට ඒ නුවර කොච්චර කැරලිකාර නුවරක්ද කියලත් රජවරුන්ට සහ ඔවුන් යටතේ තිබුණ පළාත්වලට ඒ නුවරේ වැසියන් කොච්චර ප්‍රශ්න ඇති කළාද කියලත් අතීතයේ ඉඳලාම එහේ වුණ කුමන්ත්‍රණ ගැනත් ඒ ලියවිලිවලින් ඔබතුමන්ට දැනගන්න පුළුවන්. ඒ නුවර විනාශ කළෙත් ඒ හේතු නිසාමයි.+ 16  ඒ නුවර ආපහු ගොඩනඟලා පවුරු සම්පූර්ණයෙන්ම හදලා ඉවර කළොත් මහ ගඟෙන් එගොඩ තියෙන මුළු ප්‍රදේශයම+ රජ්ජුරුවන්ට අහිමි වෙනවා කියලා දන්වන්න අපි කැමතියි.” 17  ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම්ටත් ලේකම් වුණ ෂිම්ෂයිටත් සමාරියේ ජීවත් වුණ එයාලාගේ සගයන්ටත් මහ ගඟෙන් එගොඩ ප්‍රදේශවල ජීවත් වුණ අනිත් සියලුදෙනාටත් රජ මෙහෙම දන්වලා යැව්වා. “ඔබ සැමට සුබ පැතුම්! 18  ඔබ එව්ව ලිපිය පැහැදිලිව මා ඉදිරියේ කියෙව්වා.* 19  ඔබ සඳහන් කරපු කාරණය ගැන හොයලා බලන්න මම මගේ සේවකයන්ට නියෝග කළා. ඒ නුවරේ මිනිස්සු අතීතයේ ඉඳලා රජවරුන්ට විරුද්ධව වැඩ කරලා තියෙනවා කියලත් එයාලා හරිම කැරලිකාර ජාතියක් කියලත් මට දැනගන්න ලැබුණා.+ 20  මහ ගඟෙන් එගොඩ ඇති සියලු ප්‍රදේශ පාලනය කරපු බලවත් රජවරුන් යෙරුසලම පාලනය කළා කියලත් මිනිස්සු ඒ රජවරුන්ට ඇඟ බද්ද, භාණ්ඩ බද්ද සහ මාර්ග බද්ද ගෙව්වා කියලත් දැනගන්න ලැබුණා. 21  මම ආයෙත් නියෝගයක් නිකුත් කරන කල් ඒ නුවර ගොඩනැඟීමේ වැඩ සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි කියලා එයාලට අණ කරන්න. 22  රජ්ජුරුවන්ට වෙන පාඩුව තව වැඩි වෙන්න කලින් මේ කාරණය ඉක්මනින්ම ඉටු කරන්න.”+ 23  අර්තක්ෂස්තා රජ එව්ව රාජකීය ලියවිල්ලේ පිටපතක් ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම්ටත් ලේකම් වුණ ෂිම්ෂයිටත් එයාලාගේ සගයන්ටත් ඇහෙන්න කියෙව්වා. ඒ වෙලාවෙම එයාලා යෙරුසලමේ හිටපු යුදෙව්වන් ගාවට ගිහිල්ලා එයාලා කරකර හිටපු ගොඩනැඟීමේ වැඩේ බලෙන්ම නවත්තලා දැම්මා. 24  යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව ගොඩනැඟීමේ වැඩ නතර වුණේ ඒ විදිහටයි. පර්සියාවේ රජ වුණ දාරියුස් පාලනය කරපු දෙවෙනි අවුරුද්ද වෙන කල්ම ගොඩනැඟීමේ වැඩ නතර වෙලා තිබුණා.+

පාදසටහන්

පළවෙනි දාරියුස් හෝ මහ දාරියුස්.
දෙවෙනි කැම්බිසස් වෙන්න පුළුවන්.
එස්රා 6 සිට 8 දක්වා පරිච්ඡේදවල සඳහන් වෙන අර්තක්ෂස්තා රජ නෙමෙයි.
හෝ සමහරවිට, “ඇරමයික භාෂාවෙන් ලියලා පරිවර්තනය කළා.”
එස්රා 4:8 සිට 6:18 දක්වා මුලින් ලියලා තිබුණේ ඇරමයික භාෂාවෙන්.
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.
මූ.අ., “රජමාලිගාවේ ලුණු කන.”
හෝ සමහරවිට, “පරිවර්තනය කරලා කියෙව්වා.”