එස්රා 5:1-17

  • යුදෙව්වෝ දේවමාලිගාව ගොඩනඟන වැඩ ආයේ පටන්ගනියි (1-5)

  • තත්තෙනයි දාරියුස් රජට යවපු ලිපිය (6-17)

5  ඒ කාලේ අනාගතවක්තෘවරුන් වුණ හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වුණ සෙකරියා+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ නාමයෙන් අනාවැකි කිව්වා. දෙවියන්ගේ රැකවරණය යටතේ හිටපු යෙරුසලමේ සහ යූදාවල ජීවත් වුණ යුදෙව්වන්ටයි එයාලා අනාවැකි කිව්වේ.  ප්‍රතිඵලයක් විදිහට ෂෙයල්ටියල්ගේ පුතා වුණ සෙරුබාබෙල්+ සහ යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවා+ යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව ආයෙත් ගොඩනඟන්න පටන්ගත්තා.+ දෙවියන්ගේ අනාගතවක්තෘවරුනුත් එයාලා එක්ක ඉඳලා එයාලට ලොකු හයියක් වුණා.+  මේ ගැන ආරංචි වුණාම මහ ගඟෙන් එගොඩ* ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වුණ තත්තෙනයි, ෂේතාර්බෝසෙනයි සහ එයාලාගේ සගයෝ යුදෙව්වන් ළඟට ඇවිල්ලා මෙහෙම ඇහුවා. “ආයෙත් මේ මාලිගාව හදන්නයි, ඒකේ වැඩ ඉවර කරන්නයි* ඔයාලට අවසර දුන්නේ කවුද?  මේ මාලිගාව හදන අයගේ නම් අපිට කියන්න.”  ඒත් යුදෙව්වන් අතරේ හිටපු වැඩිමහල්ලන්ට දෙවියන්ගේ උදව් තිබුණ නිසා+ ගොඩනැඟීමේ වැඩේ නතර කරන්න එයාලට බැරි වුණා. ඒ හින්දා එයාලා ඒ ගැන ලිපියකින් දාරියුස් රජට දන්වලා ඒකට පිළිතුරක් ලැබෙන කල් බලාගෙන හිටියා.  මහ ගඟෙන් එගොඩ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වුණ තත්තෙනයි, ෂේතාර්බෝසෙනයි සහ එයාලාගේ සගයන් වුණ මහ ගඟෙන් එගොඩ ප්‍රදේශයේ නියෝජ්‍ය ආණ්ඩුකාරයන් එකතු වෙලා දාරියුස් රජට යවපු ලිපිය තමයි මේ.  ඒකේ මෙහෙම සඳහන් වුණා. “දාරියුස් රජතුමනි, “ඔබතුමාට සමාදානය ලැබේවා!  යූදා පළාතේ තියෙන ශ්‍රේෂ්ඨ දෙවියන්ගේ මාලිගාවට ගියාම අපි දැක්කා සෙනඟ විශාල ගල්වලින් ඒ මාලිගාව ආයෙත් ගොඩනඟමින් ඉන්නවා. මේ වෙද්දී ලී දාලා බිත්ති බඳින්නත් පටන් අරන් තියෙනවා කියලා රජ්ජුරුවන්ට දන්වන්න අපි කැමතියි. සෙනඟ හරිම උනන්දුවෙන් වැඩ කරන නිසා ගොඩනැඟීමේ වැඩේ වේගයෙන් කෙරීගෙන යනවා.  එහේ හිටපු වැඩිමහල්ලන්ගෙන් අපි ඇහුවා ‘ආයෙත් මේ මාලිගාව හදන්නයි, ඒකේ වැඩ ඉවර කරන්නයි ඔයාලට අවසර දුන්නේ කවුද’+ කියලා. 10  මේකට මුල් වෙලා වැඩ කරන අයගේ නම් මොනවාද කියලත් අපි ඇහුවා. අපි එහෙම කළේ ඒ තොරතුරු ඔබතුමාට ලියලා එවන අදහසින්. 11  “එයාලා දුන්න උත්තරේ මේකයි. ‘අපි දෙවියන්ගේ සේවකයන්. ඔහු තමයි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්. ගොඩක් කාලෙකට කලින් ඊශ්‍රායෙල් දේශයේ රජකම් කරපු ශ්‍රේෂ්ඨ රජෙක් ගොඩනඟපු දේවමාලිගාව තමයි අපි මේ ආයෙත් හදන්නේ.+ 12  ඒත් අපේ මුතුන්මිත්තන් ස්වර්ගය පාලනය කරන දෙවියන්ව උදහස් කරන දේවල් කරපු නිසා+ දෙවියන් එයාලව බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්ගේ+ අතට භාර දුන්නා. කල්දිය ජාතික නෙබුකද්නෙෂර් රජ මේ මාලිගාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා+ සෙනඟව වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා.+ 13  ඒත් බැබිලෝනියේ රජකම් කරපු සයිරස්ගේ පාලනයේ පළවෙනි අවුරුද්දේදී සයිරස් රජ්ජුරුවෝ දේවමාලිගාව ආයෙත් ගොඩනඟන්න කියලා නියෝගයක් දුන්නා.+ 14  ඒ විතරක් නෙමෙයි නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ දෙවියන්ගේ මාලිගාවෙන් අරන් ගිහින් තිබුණ රන් රිදී භාණ්ඩත් සයිරස් රජ ආපහු දුන්නා. නෙබුකද්නෙෂර් රජ ඒවා තියලා තිබුණේ බැබිලෝනියේ දේවාලයක.+ ඒවා යෙරුසලමට අරන් යන්න සයිරස් රජ ආණ්ඩුකාරයා විදිහට+ පත් කරපු ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නා. 15  “මේ භාණ්ඩ යෙරුසලමට අරන් යන්න. ඒවා දෙවියන්ගේ මාලිගාවේ තියන්න. දෙවියන්ගේ මාලිගාව කලින් තිබුණ තැනම ආයෙත් ගොඩනඟන්න”+ කියලා සයිරස් රජ්ජුරුවෝ ඒ වෙලාවේ එයාට කිව්වා. 16  ඊටපස්සේ රජ කියපු විදිහටම ෂෙෂ්බෂර් කියන කෙනා යෙරුසලමට ඇවිල්ලා එහේ තිබුණ දෙවියන්ගේ මාලිගාවේ අත්තිවාරම් දැම්මා.+ එදා පටන්ගත්ත මේ ගොඩනැඟීමේ වැඩේ තාමත් ඉවර නැහැ.’+ 17  “රජතුමනි, ඔබට සුදුසුයි කියලා හිතෙනවා නම් බැබිලෝනියේ රාජකීය භාණ්ඩාගාරයේ තියෙන වාර්තා පරීක්ෂා කරලා බලන්න නියෝගයක් දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. එතකොට යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව ආයෙත් හදන්න සයිරස් රජ ඇත්තටම අවසර දුන්නාද කියලා+ ඔබතුමාට දැනගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් රජතුමාගේ තීරණය අපිට දන්වලා එවන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.”

පාදසටහන්

ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.
හෝ, “ලී නියමිත තැන්වලට දාන්නයි.”
සමහරවිට එස්රා 2:2 සහ 3:8 සඳහන් සෙරුබාබෙල් වෙන්න පුළුවන්.