එස්රා 6:1-22

  • දාරියුස් වාර්තා පරීක්ෂා කරලා නියෝගයක් දෙයි (1-12)

  • දේවමාලිගාවේ වැඩ අවසන් කරලා කැප කරයි (13-18)

  • පාස්කුව පවත්වයි (19-22)

6  ඊටපස්සේ දාරියුස් රජගේ නියෝගයට අනුව එයාලා බැබිලෝනියේ රාජකීය භාණ්ඩාගාරයේ තිබුණ වාර්තා* පරීක්ෂා කරලා බලන්න පටන්ගත්තා.  එතකොට මේදිය පළාතේ එක්බටානාවල තියෙන බලකොටුවේ තිබිලා ලියවිල්ලක් හම්බ වුණා. ඒකේ මේ නියෝගය ගැන සඳහන් වුණා.  “සයිරස් රජ පාලනය කරපු පළවෙනි අවුරුද්දේදී යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව සම්බන්ධයෙන් සයිරස් රජ මේ නියෝගය නිකුත් කළා.+ ‘දෙවියන්ගේ මාලිගාව ආයෙත් ගොඩනඟන්න අවසර ලැබෙනවා. එතකොට යුදෙව්වන්ට පුළුවන් එතන පූජා ඔප්පු කරන්න. ඒකේ අත්තිවාරම් ශක්තිමත්ව දැමිය යුතුයි. මාලිගාවේ උස රියන් 60ක්* සහ පළල රියන් 60ක්+ විය යුතුයි.  විශාල ගල් තට්ටු තුනක් අතරට ලී දාලා බිත්ති බඳින්න.+ මාලිගාව හදන්න යන වියදම රාජකීය භාණ්ඩාගාරයෙන් පියවන්න කියලා රජ්ජුරුවන් වන මම නියෝග කරනවා.+  නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ දෙවියන්ගේ මාලිගාවෙන් බැබිලෝනියට අරන් ආව+ රන් සහ රිදී භාණ්ඩ ආයෙත් එයාලට භාර දෙන්න. එතකොට එයාලට පුළුවන් දෙවියන්ගේ මාලිගාවේ නියමිත තැන්වල ඒවා තියන්න.’+  “ඒ අනුව මහ ගඟෙන් එගොඩ*+ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වන තත්තෙනයිටත් ෂේතාර්බෝසෙනයිටත් සෙසු නිලධාරීන් වන නියෝජ්‍ය ආණ්ඩුකාරයන්ටත් එතනට යන්න එපා කියලා මම නියෝග කරනවා.  ඒ මාලිගාව ගොඩනඟන වැඩවලට කිසිම විදිහකින් බාධා කරන්න එපා. යුදෙව්වන්ගේ ආණ්ඩුකාරයා සහ එයාලාගේ වැඩිමහල්ලන් දෙවියන්ගේ මාලිගාව තිබුණ තැනම ආයෙත් ගොඩනඟයි.  දෙවියන්ගේ මාලිගාව ගොඩනඟන වැඩේ වෙනුවෙන් කරන්න ඕන දේ ගැන මම ඔයාලට මේ නියෝගය දෙනවා. මහ ගඟෙන් එගොඩ ප්‍රදේශවලින් රාජකීය භාණ්ඩාගාරයට+ ලැබෙන බදු වහාම යුදෙව්වන්ගේ වැඩිමහල්ලන් අතට භාර දෙන්න. එතකොට කිසිම බාධාවක් නැතුව එයාලට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්.+  ඒ වගේම යෙරුසලමේ ඉන්න පූජකයන් ඉල්ලන ඕනෙම දෙයක් එයාලට ලබා දෙන්න. තිරිඟු,+ ලුණු,+ වයින්,+ තෙල්+ වගේම ස්වර්ගය පාලනය කරන දෙවියන්ට දවන පූජා ඔප්පු කරන්න අවශ්‍ය වස්සන්,+ බැටළුවන්+ සහ බැටළු පැටව්+ හැමදාම වරද්දන්නේ නැතුව ලබා දෙන්න. 10  එතකොට ස්වර්ගය පාලනය කරන දෙවියන් සතුටු වෙන විදිහේ පූජා දිගටම ඔප්පු කරන්නත් රජ්ජුරුවන්ගේ සහ රජ්ජුරුවන්ගේ පුතුන් වෙනුවෙන් යාච්ඤා කරන්නත් එයාලට පුළුවන් වෙයි.+ 11  කෙනෙක් මේ රාජ නියෝගය කඩ කළොත් ඒ කෙනාගේ නිවසෙන් ලී කණුවක් ගලවලා ඒකේ එයාව උල තියන්න කියලත් එයාගේ නිවස වැසිකිළියක්* කරන්න කියලත් මම නියෝග කරනවා. 12  රජ කෙනෙක් හරි සෙනඟක් හරි මේ නියෝගය කඩ කරලා යෙරුසලමේ තියෙන ඒ මාලිගාව විනාශ කරන්න හැදුවොත් තමන්ගේ නම දරන්න ඒ ස්ථානය තෝරගත්ත දෙවියන්+ අතින්ම ඒ අය විනාශ වේවා! මේ නියෝගය පනවන්නේ දාරියුස් රජ වන මමයි. ඒක වහාම ක්‍රියාත්මක කළ යුතුයි.” 13  ඊටපස්සේ මහ ගඟෙන් එගොඩ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වුණ තත්තෙනයි, ෂේතාර්බෝසෙනයි+ සහ එයාලාගේ සගයෝ දාරියුස් රජ නියෝග කරපු හැම දෙයක්ම ඒ විදිහටම කරන්න ඉක්මනින්ම පියවර ගත්තා. 14  අනාගතවක්තෘ හග්ගයි+ සහ ඉද්දෝගේ මුනුපුරා වුණ සෙකරියා+ කියපු අනාවැකිවලින් දිරිගැන්වුණු යුදෙව් වැඩිමහල්ලන් ගොඩනඟන වැඩ සාර්ථකව කරගෙන ගියා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් දුන්න ආඥාවට අනුව+ එයාලා දේවමාලිගාව ගොඩනඟලා අවසන් කළා. සයිරස් රජ,+ දාරියුස් රජ+ සහ පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා*+ දුන්න නියෝගවලට අනුව එයාලා ඒ වැඩේ කරලා ඉවර කළා. 15  එයාලා දාරියුස් රජ පාලනය කරපු හයවෙනි අවුරුද්දේ ආදාර්* මාසේ තුන්වෙනිදා වෙද්දී දේවමාලිගාව ගොඩනඟලා අවසන් කළා. 16  ඊටපස්සේ පූජකයන්, ලෙවීවරුන්+ සහ නිදහස් වෙලා ආපු ඊශ්‍රායෙල්වරුන් හැමෝම දේවමාලිගාව කැප කරන උත්සවය හරිම සතුටින් පැවැත්තුවා. 17  එයාලා ගවයන් 100ක්, බැටළුවන් 200ක් සහ බැටළු පැටව් 400ක් පූජා කරලා දේවමාලිගාව කැප කළා. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර ගාණට අනුව+ ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් පාප පූජාවක් විදිහට එළුවන් 12දෙනෙකුත් ඔප්පු කළා. 18  මෝසෙස්ගේ නීතියේ සඳහන් වෙලා තිබුණ විදිහට+ පූජකයන්ව සහ ලෙවීවරුන්ව එයාලා අයිති කණ්ඩායම් අනුව බෙදලා යෙරුසලමේ ඉඳලා දෙවියන්ට සේවය කරන්න එයාලව පත් කළා.+ 19  නිදහස් වෙලා ආව සියලුදෙනාම පළවෙනි මාසේ 14වෙනිදා පාස්කු උත්සවය පැවැත්තුවා.+ 20  පූජකයන් සහ ලෙවීවරුන් හැමෝම පවිත්‍ර වෙලයි හිටියේ.+ එයාලා පාස්කු උත්සවයට ඔප්පු කරන්න ගෙනාපු සතුන්ව මැරුවා. තමන් වෙනුවෙනුත් අනිත් පූජකයන් වෙනුවෙනුත් නිදහස් වෙලා ආව සියලුදෙනා වෙනුවෙනුත් එයාලා ඒ දේ කළා. 21  ඊටපස්සේ නිදහස් වෙලා ආව ඊශ්‍රායෙල්වරුන් එයාලට එකතු වුණ සියලුදෙනාවත් හවුල් කරගෙන පාස්කු පූජාවෙන් කෑවා. එහෙම එකතු වුණ අය ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න තියෙන කැමැත්ත නිසා අවට ජාතීන්ගේ අපවිත්‍ර දේවලින් ඈත් වෙලයි හිටියේ.+ 22  එයාලා දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි උත්සවයත්+ හරිම සතුටින් පැවැත්තුවා. එයාලා ඒ වගේ සතුටක් අද්දැක්කේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා නිසයි. සැබෑ දෙවියන්ගේ මාලිගාව ගොඩනඟන වැඩේට සහය දෙන්න* දෙවියන් ඇසිරියාවේ රජගේ හිත පොලඹවපු නිසාත්+ එයාලා සතුටු වුණා.

පාදසටහන්

හෝ, “ලේඛනාගාරය.”
මීටර් 26.7ක් (අඩි 87.6ක්) විතර. උප. B14 බලන්න.
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.
හෝ සමහරවිට, “කුණු ගොඩක්; ගොම කන්දක්.”
ඒ කියන්නේ පළවෙනි අර්තක්ෂස්තා. එස්රා 4:7 සඳහන් අර්තක්ෂස්තා ගෝමාටා නෙමෙයි.
උප. B15 බලන්න.
මූ.අ., “එයාලාගේ දෑත් සවිමත් කරන්න.”