එස්රා 7:1-28

  • එස්රා යෙරුසලමට එයි (1-10)

  • අර්තක්ෂස්තා එස්රාට දුන්න ලිපිය (11-26)

  • එස්රා යෙහෝවාට ප්‍රශංසා කරයි (27, 28)

7  ඒ දේවල් වෙලා කාලෙකට පස්සේ එස්රා*+ බැබිලෝනියේ ඉඳන් ආවා. ඒ පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා+ පාලනය කරපු කාලේදී. එස්රාගේ පියා සෙරායා.+ සෙරායාගේ පියා අෂරියා. අෂරියාගේ පියා හිල්කියා.+  හිල්කියාගේ පියා ෂල්ලුම්. ෂල්ලුම්ගේ පියා සාදොක්. සාදොක්ගේ පියා අහිතුබ්.  අහිතුබ්ගේ පියා අමරියා. අමරියාගේ පියා අෂරියා.+ අෂරියාගේ පියා මෙරායොත්.  මෙරායොත්ගේ පියා සෙරහියා. සෙරහියාගේ පියා උස්සි. උස්සිගේ පියා බුක්කී.  බුක්කීගේ පියා අබිෂුවා. අබිෂුවාගේ පියා පිනෙහාස්.+ පිනෙහාස්ගේ පියා එලියාසර්.+ එලියාසර්ගේ පියා නායක පූජක ආරොන්.+  බැබිලෝනියේ ඉඳන් ආපු එස්රා ශුද්ධ ලියවිල්ල පිටපත් කරපු කෙනෙක්. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෝසෙස්ට දුන්න නීතිය+ ගැන එයාට හොඳ අවබෝධයක් තිබුණා.* එස්රාට එයාගේ දෙවි වන යෙහෝවාගේ උදව් ලැබුණ නිසා රජ එයාගේ හැම ඉල්ලීමක්ම ඉටු කළා.  අර්තක්ෂස්තා රජ පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ ඊශ්‍රායෙල් සෙනඟගෙන්, පූජකයන්ගෙන්, ලෙවීවරුන්ගෙන්,+ ගායකයන්ගෙන්,+ දොරටු පාලකයන්ගෙන්+ සහ දේවමාලිගාවේ සේවකයන්ගෙන්*+ සමහරදෙනෙක් එස්රා එක්ක යෙරුසලමට ගියා.  එස්රා යෙරුසලමට ආවේ අර්තක්ෂස්තා රජ පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසේදී.  එස්රා බැබිලෝනියේ ඉඳන් යෙරුසලමට එන්න පිටත් වුණේ පළවෙනි මාසේ පළවෙනිදායි. ඒ ගමනට එයාගේ දෙවියන්ගේ උදව් එයාට ලැබුණා.+ ඒ නිසා පස්වෙනි මාසේ පළවෙනිදා වෙද්දී එයා යෙරුසලමට ආවා. 10  යෙහෝවාගේ නීතිය සෝදිසි කරලා බලන්නත් නීතියේ තියෙන දේවල් පිළිපදින්නත්+ නීතියේ තියෙන අණපනත් සහ මඟ පෙන්වීම් ඊශ්‍රායෙල්වල ඉන්න සෙනඟට උගන්වන්නත් එස්රා මුළු හිතින්ම අධිෂ්ඨාන කරගත්තා.*+ 11  යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟට දුන්න ආඥා සහ අණපනත් ගැන ඉතා හොඳ අවබෝධයක් තිබුණ, පූජකයෙක් සහ පිටපත්කරුවෙක් වුණ එස්රාට අර්තක්ෂස්තා රජ දුන්න ලිපියේ මෙහෙම සඳහන් වුණා. 12  * “රජවරුන්ගෙත් රජ වන අර්තක්ෂස්තාගෙන්+ පූජක එස්රා වෙතටයි. ස්වර්ගය පාලනය කරන දෙවියන්ගේ නීතිය පිටපත් කරන ඔබට සමාදානය නොඅඩුව ලැබේවා! 13  මගේ රාජධානියේ ජීවත් වෙන ඊශ්‍රායෙල්වරුන් අතරේ ඉන්න පූජකයන් සහ ලෙවීවරුන් ඇතුළුව කැමති හැමෝටම ඔබත් එක්ක යෙරුසලමට යන්න මම අවසර දෙනවා.+ 14  රජ්ජුරුවන් වන මම සහ මගේ උපදේශකයන් හත්දෙනා ඔබව යෙරුසලමට යවනවා. ඔබ ළඟ තියෙන ඔබේ දෙවියන්ගේ නීතියට අනුව යූදා දේශයේ සහ යෙරුසලමේ ඉන්න අය වැඩ කරනවාද කියලා බලන්නයි ඔබව යවන්නේ. 15  ඒ වගේම යෙරුසලමේ ඉන්න ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් වෙනුවෙන් රජ්ජුරුවන් වන මම සහ මගේ උපදේශකයන් කැමැත්තෙන්ම දුන්න රන් සහ රිදී අරගෙන යන්නයි. 16  බැබිලෝනිය පළාතට අයිති සියලු ප්‍රදේශවලින් ඔබට ලැබෙන රන් රිදී වගේම සෙනඟ සහ පූජකයන් යෙරුසලමේ තියෙන එයාලාගේ දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන දේවලුත් අරගෙන යන්න.+ 17  පූජා ඔප්පු කරන්න අවශ්‍ය ගවයන්,+ බැටළුවන්+ සහ බැටළු පැටව්+ වගේම ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය+ සහ පාන පූජාවලට+ අවශ්‍ය හැම දෙයක්ම මේ මුදල්වලින් වහාම මිල දීලා ගන්න. යෙරුසලමේ තියෙන ඔබේ දෙවියන්ගේ මාලිගාවේ පූජාසනය මත ඒවා ඔප්පු කරන්න. 18  “ඔබේ දෙවියන්ගේ කැමැත්තට අනුව තවත් දේවල් කරන්න අවශ්‍යයි කියලා ඔබටත් ඔබේ සහෝදරයන්ටත් හිතෙනවා නම් ඉතුරු වෙලා තියෙන රන් සහ රිදී ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. 19  ඔබේ දෙවියන්ගේ මාලිගාවේ නමස්කාර වැඩවලට පාවිච්චි කරන්න දීපු හැම භාජනයක්ම යෙරුසලමට අරගෙන ගිහිල්ලා ඔබේ දෙවියන් ඉදිරියේ භාර දෙන්න.+ 20  ඔබේ දෙවියන්ගේ මාලිගාවට ඕන කරන වෙන ඕනෙම දෙයක් ලබාගන්න අවශ්‍ය මිලමුදල් රාජකීය භාණ්ඩාගාරයෙන් ගන්න ඔබට අවසර තියෙනවා.+ 21  “අර්තක්ෂස්තා රජ වන මම මහ ගඟෙන් එගොඩ* ප්‍රදේශවල ඉන්න භාණ්ඩාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කළා. ඒ නියෝගයට අනුව ස්වර්ගය පාලනය කරන දෙවියන්ගේ නීතියේ පිටපත්කරුවෙක් සහ පූජකයෙක් වන ඔබ*+ ඉල්ලන හැම දෙයක්ම වහාම ඔබට ලබා දිය යුතුයි. 22  රිදී තලෙන්ත* 100ක් දක්වාත් තිරිඟු කෝර් මිනුම්* 100ක් දක්වාත් වයින්+ බාත් මිනුම්* 100ක් දක්වාත් තෙල්+ බාත් මිනුම් 100ක් දක්වාත් ලුණු+ ඕනෙම ප්‍රමාණයකුත් ඔබට ලබාගන්න පුළුවන්. 23  ස්වර්ගය පාලනය කරන දෙවියන් ඔහුගේ මාලිගාව+ වෙනුවෙන් කරන්න අණ කරලා තියෙන හැම දෙයක්ම උද්‍යෝගයෙන් ඉටු කරන්න වහාම පියවර ගන්න. එතකොට රජගේ පුතුන් සහ රාජධානියේ ඉන්න සෙනඟ එක්ක ස්වර්ගය පාලනය කරන දෙවියන් උදහස් වෙන එකක් නැහැ.+ 24  මේ දේවලට අමතරව පූජකයන්ගෙන්, ලෙවීවරුන්ගෙන්, ගායකයන්+ සහ වාදකයන්ගෙන්, දොරටු පාලකයන්ගෙන්, දේවමාලිගාවේ සේවකයන්ගෙන්+ සහ දේවමාලිගාවේ සේවය කරන අනිත් අයගෙන් ඇඟ බද්ද, භාණ්ඩ බද්ද+ හෝ මාර්ග බද්ද අය කරන්න එපා කියලා මම දැනුම් දුන්නා. 25  “ඔබේ දෙවියන් ඔබට දීලා තියෙන නුවණ පාවිච්චි කරලා මහ ගඟෙන් එගොඩ ජීවත් වෙන සියලුදෙනා අතරේ නීතිය ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ව සහ විනිසුරුවරුන්ව පත් කරන්න. එයාලට ඔබේ දෙවියන්ගේ නීති ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නීතිය ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔබ ඒ අයව දැනුවත් කළ යුතුයි.+ 26  කෙනෙක් ඔබේ දෙවියන්ගේ නීතිය සහ රජ්ජුරුවන්ගේ නීති පිළිපදින්නේ නැත්නම් එයාට වහාම දඬුවම් කළ යුතුයි. ඒ කෙනාට මරණ දඬුවම දෙන්න හරි එයාව පිටුවහල් කරන්න හරි සිරභාරයට ගන්න හරි එයාගෙන් දඩ මුදලක් අය කරන්න හරි ඔබට පුළුවන්.” 27  යෙරුසලමේ තියෙන යෙහෝවාගේ මාලිගාව අලංකාරවත් කරන්න රජ්ජුරුවන්ගේ හිතේ ආසාවක් ඇති කරපු අපේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ 28  දෙවියන් දිගටම මාත් එක්ක ඉඳලා මට උදව් කරපු* නිසා+ රජ්ජුරුවන්ගෙත් ඔහුගේ උපදේශකයන්ගෙත්+ උසස් නිලධාරීන්ගෙත් හිත දිනාගන්න එස්රා වන මට පුළුවන් වුණා. මගේ දෙවි වන යෙහෝවා මාත් එක්ක හිටපු නිසා මට ලොකු ධෛර්යයක් ලැබුණා. ඒ නිසා මම ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු ප්‍රධානීන්ව එකතු කරගෙන යෙරුසලමට යන්න සූදානම් වුණා.

පාදසටහන්

තේරුම, “උදව්.”
හෝ, “එයා දක්ෂ පිටපත්කරුවෙක්.”
හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”
හෝ, “මුළු හිතම යොමු කළා.”
එස්රා 7:12 සිට 7:26 දක්වා මුලින් ලියලා තිබුණේ ඇරමයික භාෂාවෙන්.
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.
හෝ, “එස්රා.”
කෝර් මිනුමක් කියන්නේ ලීටර් 220ක්. උප. B14 බලන්න.
බාත් මිනුමක් කියන්නේ ලීටර් 22ක්. උප. B14 බලන්න.
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
හෝ, “නොසැලෙන ආදරයක් පෙන්නපු.”