යොහන්ට කරපු එළිදරව්ව 17:1-18

  • “මහ බැබිලෝනියට” ලැබෙන විනිශ්චය (1-18)

    • මහා ගණිකාව තද රතු පාට මෘගයෙක් පිට ඉඳගෙන ඉන්නවා (1-3)

    • මෘගයා ‘කලින් හිටියා. දැන් නැහැ. ඒත් අගාධයෙන් එළියට එන්න ලෑස්ති වෙලා ඉන්නවා’ (8)

    • අං දහය බැටළු පැටියා එක්ක යුද්ධ කරයි (12-14)

    • අං දහය ගණිකාවට වෛර කරයි (16, 17)

17  බඳුන් හත අතේ තියාගෙන හිටපු දේවදූතයන් හත්දෙනාගෙන්+ එක් කෙනෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. “එන්න. හුඟක් ජල ධාරා මත ඉඳගෙන ඉන්න මහා ගණිකාවට+ ලැබෙන විනිශ්චය මොකක්ද කියලා මම ඔයාට පෙන්නන්නම්.  පොළොවේ රජවරු ඇයත් එක්ක ලිංගික දුරාචාරයේ* යෙදුණා.+ පොළොවේ ඉන්න මිනිස්සුත් ලිංගික දුරාචාරය* කියන ඇගේ වයින්වලින් වෙරි වුණා.”+  ඊටපස්සේ ඔහු දෙවියන්ගේ බලයේ උදව්වෙන් මාව පාළුකරයකට අරන් ගියා. එතකොට මම ස්ත්‍රියක් දැක්කා. ඇය ඉඳගෙන හිටියේ තද රතු පාට මෘගයෙක් පිට. ඌට හිස් හතකුත් අං දහයකුත් තිබුණා. උගේ ඇඟ පුරාම දෙවියන්ට අපහාසයක් ගේන නම් පිරිලා තිබුණා.  ඒ ස්ත්‍රිය දම් පාට සහ තද රතු පාට ඇඳුම් ඇඳගෙන,+ රත්තරන්, මුතු මැණික් පැලඳගෙන හිටියා.+ ඒ ස්ත්‍රියගේ අතේ රත්තරන් කුසලානයක් තිබුණා. ඒ කුසලානය පිළිකුල් දේවල්වලිනුත් ලිංගික දුරාචාරයේ* යෙදිලා ඇය කරපු අපවිත්‍ර දේවල්වලිනුත් පිරිලා තිබුණා.  ඒ ස්ත්‍රියගේ නළලේ නමක් ලියලා තිබුණා. ඒකේ තේරුම අභිරහසක්. ඒ නම තමයි “ගණිකාවන්ගෙත්+ පොළොවේ තියෙන පිළිකුල් දේවල්වලත්+ මව වන මහ බැබිලෝනිය.”  මං දැක්කා ඒ ස්ත්‍රිය වෙරි වෙලා ඉන්නවා. ඇය වෙරි වෙලා හිටියේ ශුද්ධ තැනැත්තන්ගෙත් යේසුස්ගේ සාක්ෂිකරුවන්ගෙත් ලේවලින්.+ ඒ ස්ත්‍රියව දැක්කාම මම ගොඩක් පුදුම වුණා.  ඉතින් ඒ දේවදූතයා මගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා පුදුම වුණේ? ස්ත්‍රිය ගැනත් ඇයව පිටේ තියාගෙන ඉන්න මෘගයා ඒ කියන්නේ, හිස් හත සහ අං දහය+ තියෙන මෘගයා ගැනත් අභිරහස+ මම ඔයාට කියන්නම්.  ඔයා දැක්ක මෘගයා කලින් හිටියා. දැන් නැහැ. ඒත් අගාධයෙන්+ එළියට එන්න ඌ ලෑස්ති වෙලයි ඉන්නේ. ඌ විනාශ වෙන්න නියමිතයි. ඒ මෘගයා කලින් හිටිය විදිහත් නැති වෙලා ගිය විදිහත් ආයෙත් එන විදිහත් පොළොවේ ඉන්න අය දකිද්දී එයාලා පුදුම වෙනවා. පොළොවේ දරුවන්* බිහි වුණ දවසේ ඉඳන් මේ වෙන කල් හිටපු ඒ එක් කෙනෙක්ගෙවත් නම් ජීවන ලියවිල්ලේ සටහන් වෙලා නැහැ.+  “මේ දේ තේරුම්ගන්න බුද්ධියත් ප්‍රඥාවත් ඕනේ. හිස් හතෙන්+ කඳු හතක් නියෝජනය වෙනවා. ස්ත්‍රිය ඉඳගෙන ඉන්නේ ඒ කඳු මත. 10  රජවරුන් හත්දෙනෙක් ඉන්නවා. පස්දෙනෙක් වැටිලා ගිහින්. එක් කෙනෙක් දැන් ඉන්නවා. අනිත් කෙනා තාමත් ඇවිත් නැහැ. ඒත් එයා ආවාම එයා ටික කාලයක් ඉන්න ඕනේ. 11  කලින් හිටියත් දැන් නැති මෘගයාත්+ රජෙක්. ඌ තමයි අටවෙනි රජ. ඌ බිහි වෙන්නේ අනිත් හත්දෙනාගෙන්. ඌත් විනාශ වෙන්න නියමිතයි. 12  “ඔයා දැක්ක අං දහයෙන් රජවරුන් දහදෙනෙක්ව නියෝජනය වෙනවා. එයාලට තාමත් රාජ්‍යයක් ලැබිලා නැහැ. ඒත් මෘගයා එක්ක එක පැයක් රජවරුන් විදිහට පාලනය කරන්න එයාලට බලය ලැබෙනවා. 13  එයාලා හැමෝටම තියෙන්නේ එකම අදහස. ඒ නිසා එයාලා එයාලාගේ බලයත් අධිකාරියත් මෘගයාට දෙනවා. 14  ඒ රජවරු බැටළු පැටියාට+ විරුද්ධව යුද්ධ කරනවා. ඒත් බැටළු පැටියා එයාලව පරාජය කරනවා.+ මොකද ඔහු තමයි ස්වාමිවරුන්ගේ ස්වාමීන්. රජවරුන්ගේ රජ.+ ඔහුත් එක්ක ඉන්න කැඳවපු, තෝරගත්ත, විශ්වාසවන්ත අයත් එයාලව පරාජය කරනවා.”+ 15  ඔහු මට මෙහෙම කිව්වා. “ගණිකාව ඉඳගෙන හිටපු ජල ධාරාවලින් ජනවර්ග, ජන සමූහයන්, ජාතීන් සහ විවිධ භාෂා කතා කරන අයව නියෝජනය වෙනවා.+ 16  ඔයා දැක්ක අං දහය+ සහ මෘගයා+ ගණිකාවට+ වෛර කරලා ඇයව විනාශ කරනවා. එයාලා ඇයව නිරුවත් කරලා, ඇගේ මස් කාලා දාලා ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා.+ 17  ඒ වගේ දෙයක් වෙන්නේ දෙවියන් එයාලාගේ හිත්වලට යම් අදහසක් දාන නිසයි.+ එයාලාගේ හිත්වලත් තියෙන්නේ ඒ අදහසමයි. ඒ අදහස නිසා දෙවියන් අරමුණු කරන දේ කරන්න එයාලා පෙලඹෙනවා. ඒ කියන්නේ දෙවියන් කියන දේ ඉටු වෙන කල් එයාලා එයාලාගේ රාජ්‍යය මෘගයාගේ අතට භාර දෙනවා.+ 18  ඔයා දැක්ක ස්ත්‍රියගෙන්+ මහත් නුවරක් නියෝජනය වෙනවා. පොළොවේ රජවරුන්ව පාලනය කරන රාජ්‍යයක් ඒ නුවරේ තියෙනවා.”

පාදසටහන්

ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.