යොහන්ට කරපු එළිදරව්ව 18:1-24

  • “මහ බැබිලෝනිය” වැටිලා (1-8)

    • “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න” (4)

  • බැබිලෝනියේ වැටීම ගැන දුක් වෙයි (9-19)

  • ස්වර්ගයේ ඉන්න හැමෝම බැබිලෝනියේ වැටීම ගැන සතුටු වෙයි (20)

  • ලොකු ඇඹරුම් ගලක් වීසි කරනවා වගේ බැබිලෝනිය මුහුදට වීසි කරයි (21-24)

18  ඊටපස්සේ මං දැක්කා තවත් දේවදූතයෙක් ස්වර්ගයෙන් බැහැලා එනවා. ඔහුට ලොකු අධිකාරියක් තිබුණා. ඔහුගේ තේජස නිසා පොළොව පුරාම ආලෝකය විහිදිලා ගියා.  ඔහු ප්‍රබල හඬකින් කෑගහලා මෙහෙම කිව්වා. “ඇය වැටිලා! මහ බැබිලෝනිය වැටිලා!+ ඇය භූතයන් වාසය කරන තැනක් වෙලා. හැම අපවිත්‍ර භූතයෙක්මත්* හැම අපවිත්‍ර, පිළිකුල් කුරුල්ලෙක්මත් ඇය ළඟ ඉන්නවා.+  ලිංගික දුරාචාරයේ* යෙදෙන්න තරම් ආශාවක්* ඇති කරවන ඇගේ වයින් නිසා හැම ජාතියක්ම ඇයට අහු වෙලයි ඉන්නේ.+ පොළොවේ රජවරු ඇය එක්ක ලිංගික දුරාචාරයේ යෙදුණා.+ සැපපහසු ජීවිතයක් ගත කරන්න තියෙන ආසාව නිසා ඇය කිසිම ලැජ්ජාවක් නැතුව වැඩි වැඩියෙන් දේවල් රැස් කරගන්නවා. ඇය නිසා පොළොවේ ඉන්න වෙළෙන්දෝ* හුඟක් පොහොසත් වෙලා.”  ස්වර්ගයෙන් ආපු තවත් කටහඬක් මෙහෙම කියනවා මට ඇහුණා. “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න.+ ඇගේ පව්වලට හවුල් වෙන්නවත් ඇය විඳින්න යන පීඩාවලට අහු වෙන්නවත් ඔයාලා කැමති නැත්නම්+ දැන්මම ඇයව අත්හැරලා එළියට එන්න.  මොකද ඇය කරපු පව් කොච්චරද කියනවා නම් ඒවා ස්වර්ගය වෙන කල්ම උසට ගොඩගැහිලා.+ ඇය කරපු හැම අසාධාරණයක්* වෙනුවෙන්ම දෙවියන් දැන් ඇයට දඬුවම් කරන්නයි යන්නේ.+  ඇය අනිත් අයට කරපු දේවල්ම ඇයටත් කරන්න.+ ඇය කළා වගේ දෙගුණයක් ඇයට දඬුවම් කරන්න.+ ඇය කුසලානයේ+ මිශ්‍ර කරලා හදපු පානය වගේ දෙගුණයක් ඒ කුසලානයේම මිශ්‍ර කරලා ඇයට දෙන්න.+  ඇය තමන්වම උසස් කරගෙන කිසි ලැජ්ජාවක් නැතුව අසීමිත සැප සම්පත් භුක්ති වින්දා. ඇය සැප සම්පත් භුක්ති වින්ද තරමටම ඇයට වධ වේදනා විඳින්නත් වැලපෙන්නත් සලස්වන්න. මොකද ‘මං සිංහාසනයේ ඉන්න රැජිනක්. මම වැන්දඹුවක් නෙමෙයි. මට කවදාවත් වැලපෙන්න වෙන්නේ නැහැ’+ කියලා ඇය හිතන් ඉන්නවා.  ඇයට විඳින්න වෙන පීඩා හැම එකක්ම එකම දවසේ අද්දකින්න වෙන්නේ ඒ නිසයි. ඇයට මරණයත් වැලපීමත් සාගතත් අද්දකින්න වෙනවා. ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා.+ මොකද ඇයව විනිශ්චය කරපු යෙහෝවා* දෙවියන් හුඟක් බලවත්.+  “ඇයත් එක්ක ලිංගික දුරාචාරයේ* යෙදෙමින් කිසිම ලැජ්ජාවක් නැතුව ඇයත් එක්ක සැපපහසු ජීවිතයක් ගත කරපු පොළොවේ රජවරු, ඇයව පුච්චලා දාද්දී නඟින දුම දකිනවා. ඒක දැක්කාම එයාලා එයාලාගේ පපුවට ගගහා හඬා වැලපෙයි. 10  ඇය විඳින වධ වේදනා එයාලටත් විඳින්න වෙයි කියන බයට එයාලා දුරින් ඉඳන් මෙහෙම කියනවා. ‘අයියෝ, බැබිලෝනිය කියන මහත් නුවරට+ වෙච්ච දෙයක්! ශක්තිමත් නුවරට වෙච්ච අපරාධයක්! මොකද පැයක් ඇතුළත ඔයාගේ දඬුවම ලැබිලා ඉවරයි. 11  “පොළොවේ ඉන්න වෙළෙන්දොත් ඇයට වෙච්ච දේ නිසා හඬා වැලපෙනවා. මොකද එයාලා විකුණන්න ගෙනාපු හැම දෙයක්ම මිල දී ගන්න දැන් කවුරුත්ම නැහැ. 12  එයාලා විකුණන්න ගෙනාපු දේවල් මේවායි. රත්තරන්, රිදී, මුතු මැණික්, වටිනා ලිනන් රෙදි, දම් පාට රෙදි, සේද, තද රතු පාට රෙදි, සුවඳ ලීවලිනුත් ඇත්දළවලිනුත් වටිනා ලීවලිනුත් තඹවලිනුත් යකඩවලිනුත් කිරිගරුඬවලිනුත් හදපු හැම දෙයක්ම, 13  කුරුඳු, ඉන්දියාවේ කරදමුංගු, සුවඳ ද්‍රව්‍ය, සුවඳ තෙල්, කට්ටකුමංජල්, වයින්, ඔලීව තෙල්, සිහින් පිටි, තිරිඟු, ගවයන්, බැටළුවන්, අශ්වයන්, අශ්ව රථ, වහලුන් සහ වෙනත් මිනිස්සු. 14  ඔයා* ගොඩක් ආස කරපු හැම දෙයක්ම ඔයාට නැති වුණා. ඔව්, ඉස්තරම්ම කෑම, ලස්සන දේවල් හැම එකක්ම ආයෙත් හොයාගන්න බැරි වෙන්නම නැති වෙලා ගිහින්. 15  “ඇය විඳින වධ වේදනා එයාලටත් විඳින්න වෙයි කියන බයට ඒ දේවල් විකුණපු, ඇය නිසා පොහොසත් වුණ වෙළෙන්දෝ ඇයට දුරින් ඉඳලා හඬා වැලපෙනවා. 16  එයාලා මෙහෙම කියනවා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! වටිනා ලිනන් රෙදිවලිනුත් දම් සහ තද රතු පාට රෙදිවලිනුත් රත්තරන් ආභරණවලිනුත් මුතු මැණික්වලිනුත් සැරසිලා හිටිය+ ඒ නුවරට වෙච්ච අපරාධයක්! 17  මොකද එක පැයක් ඇතුළත ඇගේ ධන සම්භාරයම විනාශ වෙලා ගියා!’ “නැව්වල ඉන්න හැම කපිතාන්වරයෙක්මත් මුහුදේ ගමන් කරන හැම කෙනෙක්මත් හැම නැවියෙක්මත් මුහුදු රැකියා කරන හැම කෙනෙක්මත් දුර ඉඳන් බලාගෙන හිටියා. 18  ඇයව පුච්චද්දී නඟින දුම දිහා බලලා ‘මේ මහත් නුවරට සමාන කරන්න පුළුවන් තවත් නුවරක් තියෙනවාද’ කියලා එයාලා කෑගහලා කිව්වා. 19  එයාලා ඔළුවට වැලි දාගෙන හඬා වැලපෙමින් මෙහෙම කිව්වා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! නැව් හිමියන්ව ඇගේ ධනයෙන් පොහොසත් කරපු ඒ නුවරට වෙච්ච අපරාධයක්! මොකද එක පැයක් ඇතුළත ඇය විනාශ වෙලා ගියා!’+ 20  “ස්වර්ගයේ ඉන්න සියල්ලෙනි, ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි, අනාගතවක්තෘවරුනි, ඇයට වෙච්ච දේ ගැන සතුටු වෙන්න.+ මොකද දෙවියන් ඔයාලා වෙනුවෙන් ඇයව විනිශ්චය කරලා ඇයට දඬුවම් කරලයි තියෙන්නේ.”+ 21  එතකොට බලවත් දේවදූතයෙක් ලොකු ඇඹරුම් ගලක් වගේ ගලක් අරන් මුහුදට වීසි කරලා මෙහෙම කිව්වා. “මේ ගල එක මොහොතකින් මුහුදට වීසි කළා වගේ බැබිලෝනිය කියන මහත් නුවරත් එක මොහොතකින් බිමට ඇදලා දානවා. ඊටපස්සේ ඇයව ආයේ කවදාවත් හොයාගන්න බැරි වෙනවා.+ 22  වීණා වයන ගායකයන්ගෙවත් වෙනත් සංගීත භාණ්ඩ වාදනය කරන අයගෙවත් බටනළා සහ හොරණෑ පිඹින අයගෙවත් හඬ ඔයා තුළ ආයේ කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. කිසිම ශිල්පියෙක්ව ආයේ කවදාවත් ඔයා තුළ දකින්න ලැබෙන්නෙත් නැහැ. ඇඹරුම් ගලක ශබ්දයවත් ඔයා තුළ අහන්න ලැබෙන්නේ නැහැ. 23  පහන් එළියක් ඔයා තුළ ආයෙත් බැබළෙන්නේ නැහැ. මනාලයෙක්ගෙවත් මනාලියකගෙවත් හඬ ඔයා තුළ ආයේ ඇහෙන්නේ නැහැ. ඒ දේ සිද්ධ වෙන්නේ ඔයාගේ වෙළෙන්දෝ පොළොවේ උසස් තනතුරු දරපු නිලධාරීන් වුණ නිසයි. ඔයා භූතවාදයට සම්බන්ධ දේවල්+ කරලා ජාතීන් හැමෝවම නොමඟ යවපු නිසයි. 24  ඇත්තටම අනාගතවක්තෘවරුන්ගෙත් ශුද්ධ තැනැත්තන්ගෙත් පොළොවේ මරලා දාපු+ හැම කෙනෙක්ගෙමත් ලේවලට+ ඔයා වග කියන්න ඕනේ.”

පාදසටහන්

හෝ සමහරවිට, “වාතයක්ම; හුස්මක්ම; අද්භූත පණිවිඩයක්ම.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ සමහරවිට, “කේන්තියක්.”
හෝ, “සංචාරක වෙළෙන්දෝ.”
හෝ, “හැම අපරාධයක්.”
උප. A5 බලන්න.
ඒ කියන්නේ බැබිලෝනිය.