යොහන්ට කරපු එළිදරව්ව 19:1-21

  • නියම කරපු දඬුවම් ගැන යාහ්ට ප්‍රශංසා කරන්න (1-10)

    • බැටළු පැටියාගේ විවාහ උත්සවය (7-9)

  • සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්න කෙනා (11-16)

  • දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනය (17, 18)

  • මෘගයාව පරාජය කරයි (19-21)

19  ඊටපස්සේ ස්වර්ගයෙන් මට ප්‍රබල හඬක් ඇහුණා. ඒක මහත් සමූහයකගේ හඬ වගේ. එයාලා මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ ගැලවීම ලබා දෙන්නේ අපේ දෙවියන්. තේජසත් බලයත් අයිති ඔහුටයි.  මොකද ඔහු ලබා දෙන තීන්දු විශ්වාසවන්තයි, ධර්මිෂ්ඨයි.+ ලිංගික දුරාචාරයේ* යෙදිලා පොළොව දූෂණය කරපු මහා ගණිකාවට නියම කරපු දඬුවම ඔහු ක්‍රියාත්මක කළා. ඔහුගේ දාසයන්ගේ ලේ හලපු ඒ ගණිකාවට ඔහු දඬුවම් කරලා එයාලා වෙනුවෙන් යුක්තිය ඉටු කරලයි තියෙන්නේ.”+  ඒත් එක්කම මට ඇහුණ හඬ දෙවෙනි පාරටත් මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ මොකද ගණිකාවගෙන් නැඟෙන දුම සදහටම ඉහළට නඟිනවා.”+  වැඩිමහල්ලෝ 24දෙනායි,+ ජීවීන් හතරදෙනායි+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න දෙවියන් ඉස්සරහා වැඳ වැටිලා ඔහුට නමස්කාර කරමින් මෙහෙම කිව්වා. “ආමෙන්!* යාහ්ට ප්‍රශංසා වේවා!”*+  ඒ වගේම සිංහාසනයෙන් ආපු කටහඬක් මෙහෙම කිව්වා. “දෙවියන්ට ගරුබිය පෙන්නන හැම තරාතිරමකම ඉන්න+ ඔහුගේ සියලු දාසයෙනි, අපේ දෙවියන්ට දිගටම ප්‍රශංසා කරන්න.”+  ඊටපස්සේ මට තවත් ප්‍රබල හඬක් ඇහුණා. ඒක මහත් සමූහයකගේ හඬ වගේ. වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. ඒ වගේම මහත් ගිගුරුම් ගණනාවකින් එන හඬ වගේ. එයාලා මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ මොකද සියලු බලැති+ තැනැත්තා වන අපේ දෙවි යෙහෝවා* රජකම් කරන්න පටන් අරන්!+  අපි සතුටු වෙමු. සතුටින් කෑගහමු. ඔහුගේ තේජස ගැන කියලා ඔහුට ප්‍රශංසා කරමු. මොකද බැටළු පැටියාගේ විවාහ උත්සවය පටන්ගන්න වෙලාව ඇවිත්. ඔහුගේ මනාලියත් දැන් ලෑස්ති වෙලයි ඉන්නේ.  පිරිසිදු, දීප්තිමත් වටිනා ලිනන් ඇඳුම්වලින් සැරසිලා ඉන්න දැන් මනාලියට අවසර ලැබිලා තියෙනවා. ඒ වටිනා ලිනන්වලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා.”+  එතකොට දේවදූතයා මට මෙහෙම කිව්වා. “මේක ලියාගන්න. බැටළු පැටියාගේ විවාහ උත්සවයේ+ සන්ධ්‍යා භෝජනයට ආරාධනා කරපු අයට හුඟක් සතුටු වෙන්න පුළුවන්.” “දෙවියන් කියන ඒ දේවල් විශ්වාසවන්තයි” කියලත් ඔහු මට කිව්වා. 10  මම ඔහුගේ කකුල් ළඟ වැටිලා ඔහුට නමස්කාර කරන්න හදද්දී ඔහු මට මෙහෙම කිව්වා. “එහෙම කරන්න එපා! පරෙස්සම් වෙන්න!+ යේසුස් ගැන සාක්ෂියක් දරන්න+ පත් කරලා තියෙන ඔයායි, ඔයාගේ සහෝදරයනුයි වගේම මාත් නිකම්ම දාසයෙක් විතරයි. දෙවියන්ට නමස්කාර කරන්න.+ මොකද අනාවැකි කියලා තියෙන්නේ යේසුස් ගැන සත්‍යය එළිදරව් කරන්නයි.”+ 11  ඊටපස්සේ මං දැක්කා ස්වර්ගය විවෘත වෙලා තියෙනවා. බලන්න! සුදු අශ්වයෙක්+ ඉන්නවා මං දැක්කා. ඒ අශ්වයා පිට ඉඳගෙන හිටිය කෙනාව හඳුන්වන්නේ විශ්වාසවන්ත,+ සැබෑ+ තැනැත්තා විදිහටයි. ඔහු විනිශ්චය කරන්නෙත් යුද්ධ කරන්නෙත් ධර්මිෂ්ඨකම පදනම් කරගෙන.+ 12  ඔහුගේ ඇස් ගිනිදලු වගේ.+ ඔහුගේ හිස මත හුඟක් ඔටුනු තියෙනවා. ඔහු මත නමක් ලියලා තියෙනවා. ඔහු ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ නම දන්නේ නැහැ. 13  ඔහු ඇඳගෙන ඉන්නේ ලේ පැල්ලම් තියෙන* ඇඳුමක්. ඔහුව හඳුන්වන්නේ දෙවියන්ගේ ‘වචනය’+ කියන නමින්. 14  ඒ වගේම ස්වර්ගයේ ඉන්න සේනාවන් සුදු අශ්වයන් පිට නැඟලා ඔහුගේ පිටිපස්සෙන් ආවා. එයාලා ඇඳගෙන හිටියේ පිරිසිදු, සුදු, වටිනා ලිනන් ඇඳුම්. 15  ඔහුගේ කටින් ගොඩක් තියුණු, දිග කඩුවක් නික්මෙනවා.+ ඒ කඩුවෙන් තමයි ඔහු ජාතීන්ට පහර දෙන්නේ. ඔහු එඬේරෙක් වගේ යකඩ සැරයටියකින් එයාලව පාලනය කරයි.+ ඔහු සියලු බලැති දෙවියන්ගේ මහත් කෝපය නියෝජනය කරන මිදි පාගන තැනට ගිහින් මිදි පාගනවා.+ 16  ඔහුගේ කළවා ප්‍රදේශය මත වැටිලා තියෙන පිට වස්ත්‍රයේ නමක් ලියලා තියෙනවා. ඒ තමයි රජවරුන්ගේ රජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන්+ කියන නම. 17  ඉර මැද හිටගෙන ඉන්න දේවදූතයෙක්වත් මං දැක්කා. ඔහු හයියෙන් කෑගහලා අහසේ පියාසර කරන හැම කුරුල්ලෙක්ටම මෙහෙම කිව්වා. “එන්න, ඇවිත් දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනයට රැස් වෙන්න.+ 18  එතකොට රජවරුන්ගෙත් හමුදාපතීන්ගෙත් ශක්තිමත් මිනිස්සුන්ගෙත් අශ්වයන්ගෙත් උන් පිට ඉන්න අසරුවන්ගෙත් දාසයන්ගෙත් නිදහස් පුරවැසියන්ගෙත් හැම තරාතිරමකම ඉන්න මිනිස්සුන්ගෙත් මස් කන්න ඔයාලට පුළුවන්.”+ 19  ඊටපස්සේ, මෘගයාත් පොළොවේ රජවරුත් එයාලාගේ හමුදාත් රැස් වෙලා ඉන්නවා මං දැක්කා. එයාලා රැස් වෙලා හිටියේ අශ්වයා පිට ඉඳගෙන හිටපු කෙනාටත් ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කරන්නයි.+ 20  මෘගයාවයි, බොරු අනාගතවක්තෘවරයාවයි අල්ලගත්තා.+ ඒ බොරු අනාගතවක්තෘවරයා තමයි මෘගයා ඉස්සරහා ලකුණු පෙන්නලා මෘගයාගේ ලකුණ ලබපු අයවත්+ මෘගයාගේ රූපයට නමස්කාර කරපු අයවත්+ නොමඟ යැව්වේ. ඒ දෙන්නාව අල්ලගෙන ගෙන්දගම්වලින් දැවෙන ගිනිවිලට+ පණපිටින්ම වීසි කළා. 21  ඉතුරු වෙලා හිටපු අය, අශ්වයා පිට ඉඳගෙන හිටිය කෙනාගේ කටින් නික්මෙන දිග කඩුවෙන් මැරුම් කෑවා.+ හැම කුරුල්ලෙක්ම ඇවිත් මැරුණ අයගේ මස් ඇති වෙන්න කෑවා.+

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “එසේම වේවා!”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
උප. A5 බලන්න.
හෝ සමහරවිට, “ලේ ඉහපු.”