යොහන්ට කරපු එළිදරව්ව 5:1-14

  • මුද්‍රා හතක් තියෙන අකුළන ලියවිල්ලක් (1-5)

  • බැටළු පැටියා ලියවිල්ල ගනියි (6-8)

  • මුද්‍රා කඩන්න සුදුසු තැනැත්තා බැටළු පැටියායි (9-14)

5  සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ+ දකුණු අතේ අකුළන ලියවිල්ලක් තියෙනවා මම දැක්කා. ඒ ලියවිල්ලේ දෙපැත්තේම* ලියලා තිබුණා. ඒක මුද්‍රා හතකින් තදින් මුද්‍රා කරලයි තිබුණේ.  ඒ වගේම මම දැක්කා ශක්තිමත් දේවදූතයෙක් කෑගහලා මෙහෙම අහනවා. “මේ ලියවිල්ලේ මුද්‍රා කඩන්නත් ඒක දිගහරින්නත් සුදුසු කෙනා කවුද?”  ඒත් ඒ ලියවිල්ල දිගහරින්නවත් ඒකේ තියෙන දේවල් බලන්නවත් පුළුවන් කිසිම කෙනෙක් ස්වර්ගයෙවත් පොළොවෙවත් පොළොව යටවත් හිටියේ නැහැ.  ලියවිල්ල දිගහරින්නවත් ඒකේ තියෙන දේවල් බලන්නවත් සුදුසු කිසිම කෙනෙක්ව හොයාගන්න බැරි වුණ නිසා මම හොඳටම ඇඬුවා.  එතකොට එක වැඩිමහල්ලෙක් මට මෙහෙම කිව්වා. “අඬන්න එපා. බලන්න! දාවිත්ගේ+ මුල+ ඒ කියන්නේ, යූදා ගෝත්‍රයෙන් ආපු සිංහයා+ ජය අරන් ඉන්නේ.+ ඒ නිසා ලියවිල්ලේ මුද්‍රා හත කඩන්නත් ඒක දිගහැරලා බලන්නත් ඔහු සුදුසුයි.”  සිංහාසනය ළඟත්* ජීවීන් හතරදෙනා සහ වැඩිමහල්ලන්+ අතරෙත් බැටළු පැටියෙක් හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ බැටළු පැටියාව+ මම දැක්කේ හරියට මරලා දාලා+ වගෙයි. ඒ බැටළු පැටියාට අං හතකුයි, ඇස් හතකුයි තිබුණා. ඒ ඇස්වලින් නියෝජනය වෙන්නේ පොළොව පුරාම යවපු දෙවියන්ගේ බලයන් හතයි.+  බැටළු පැටියා ඉක්මනටම ගිහින් සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ+ දකුණු අතෙන් ලියවිල්ල ගත්තා.  බැටළු පැටියා ලියවිල්ල ගත්තාම ජීවීන් හතරදෙනායි, වැඩිමහල්ලෝ 24දෙනායි+ බැටළු පැටියා ඉස්සරහා දණින් වැටුණා. ඒ වැඩිමහල්ලෝ හැම කෙනෙක් ගාවම වීණාවක් සහ සුවඳ ද්‍රව්‍යවලින් පිරුණු රත්තරන් බඳුන් තිබුණා. (ඒ සුවඳ ද්‍රව්‍යවලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන් කරන යාච්ඤා.)+  එයාලා අලුත් ගීතිකාවක් ගායනා කරකර+ මෙහෙම කිව්වා. “ලියවිල්ල ගන්නත් ඒකේ මුද්‍රා කඩන්නත් සුදුසු තැනැත්තා ඔබයි. මොකද ඔබව මරලා දැම්මා. ඔබ ඔබේ ලේවලින් හැම ගෝත්‍රයකම ඉන්න, හැම භාෂාවක්ම කතා කරන, හැම ජනවර්ගයකටම සහ ජාතියකටම අයිති+ අය අතරෙන් මිනිස්සුන්ව දෙවියන් වෙනුවෙන් මිල දී ගත්තා.+ 10  ඔබ එයාලව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ අපේ දෙවියන් වෙනුවෙන් සේවය කරන්න පූජකයන්+ විදිහට පත් කළා. ඉස්සරහට පොළොවේ රජකම+ එයාලට භාර දෙනවා.” 11  මම බලද්දී සිංහාසනය වටෙත් ජීවීන් සහ වැඩිමහල්ලෝ වටෙත් ඉන්න දේවදූතයන් විශාල පිරිසකගේ හඬ මට ඇහුණා. එතන දේවදූතයන් දසදහස් ගාණක්,+ මිලියන සිය ගාණක් හිටියා.* 12  එයාලා කෑගහලා මෙහෙම කිව්වා. “මරලා දාපු බැටළු පැටියා+ සියලු බලයත් වස්තුවත් ප්‍රඥාවත් ශක්තියත් ගෞරවයත් තේජසත් ආශීර්වාදත් ලබන්න වටිනවා.”+ 13  එතකොට ස්වර්ගයෙත් පොළොවෙත් පොළොව යටත්+ මුහුදෙත් ඉන්න හැම ජීවියෙක්ම සහ ඒවාවල තියෙන හැම දෙයක්ම මෙහෙම කියනවා මට ඇහුණා. “සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාටත්+ බැටළු පැටියාටත්+ සදාකාලයෙන් සදාකාලයටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත්+ තේජසත් බලයත් ලැබේවා!”+ 14  එයාලා එහෙම කියද්දී ජීවීන් හතරදෙනා “ආමෙන්”* කියලා කිව්වා. වැඩිමහල්ලෝ දණින් වැටිලා නමස්කාර කළා.

පාදසටහන්

මූ.අ., “ඇතුල් පැත්තේ සහ පිට පැත්තේ.”
හෝ, “මැදත්.”
හෝ, “දහසක් වර දහසක්, දසදහසක් වර දසදහසක් හිටියා.”
හෝ, “එසේම වේවා!”