එෆීසවරුන්ට 1:1-23

  • සුබ පැතුම් (1, 2)

  • දෙවියන්ගේ බලය මාර්ගයෙන් ලැබෙන ආශීර්වාද (3-7)

  • හැම දේම ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න සලස්වයි (8-14)

    • නියමිත කාලේදී “වැඩපිළිවෙළක්” ක්‍රියාත්මක කරයි (10)

    • “ඉස්සරහට උරුම වෙන්න යන දේට සහතිකයක්” විදිහට දෙවියන්ගේ බලයෙන් මුද්‍රා කරයි (13, 14)

  • එෆීසවරුන්ගේ විශ්වාසය ගැන දෙවියන්ට ස්තුති කරලා එයාලා වෙනුවෙන් යාච්ඤා කරයි (15-23)

1  මේ ලියුම ලියන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙක්* විදිහට සේවය කරන පාවුල් වන මමයි. මේක ලියන්නේ එෆීසයේ+ ඉන්න ශුද්ධ තැනැත්තන්ටයි. ඒ කියන්නේ ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා, දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔයාලටයි.  අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් මහත් කරුණාවත්* සමාදානයත් ඔයාලට ලැබෙන්න කියලා මං පතනවා!  අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තාත්තා වන දෙවියන්ට ප්‍රශංසා වේවා! මොකද ස්වර්ගයේ තියෙන තැන්වලදී ඔහු තමන්ගේ බලය මාර්ගයෙන් අපිට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. ඒ, අපි ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න නිසයි.+  පොළොවේ දරුවන්* බිහි වෙන්න කලින් ඉඳන්ම දෙවියන් අපිව ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න තෝරගත්තා. දෙවියන් එහෙම කළේ අපි ඔහුට ආදරේ කරන, ශුද්ධ, නිකැළැල් අය+ වෙනවා දකින්න ඔහුට ඕනෙ වුණ නිසයි.  මොකද යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්, ඔහුගේ පුතාලා විදිහට අපිව හදා වඩා ගන්න+ දෙවියන් කලින්ම තීරණය කරලයි තිබුණේ.+ ඔහු හරිම සතුටින් ඒ දේ කළේ ඒක ඔහුගේ අරමුණට එකඟ වුණ නිසයි.+  ඒ වගේම ඔහු අපිට පෙන්නපු මහත් කරුණාව ගැන හැමෝම ඔහුට ප්‍රශංසා කරනවා+ දකින්නත් ඔහු කැමති වුණා. ඔහු හරිම ආදරෙන් ඔහුගේ ආදරණීය පුතා+ මාර්ගයෙන් තමයි ඒ මහත් කරුණාව අපිට පෙන්නුවේ.  දෙවියන් ඔහුගේ පුතාගේ රුධිරය මාර්ගයෙන් අපි වෙනුවෙන් වන්දියක් ගෙවලා අපිව පාපයෙන් නිදහස් කළා.+ ඔහු පෙන්නපු ඒ මහත් කරුණාව මිල කරන්න බැරි තරම් වටිනවා. ඒ නිසා අපේ වැරදිවලට දැන් සමාව ලැබිලා.+  දෙවියන් අපිට දේවල් හොඳින් තේරුම්ගන්න හැකියාවත්* ප්‍රඥාවත් නොඅඩුව දීලා ඔහුගේ ඒ මහත් කරුණාව කිසිම අඩුවක් නැතුව අපිට පෙන්නුවා.  ඔහු එහෙම කළේ ඔහුගේ අරමුණට සම්බන්ධ පරිශුද්ධ රහස ගැන අපිව දැනුවත් කරලයි.+ ඒ පරිශුද්ධ රහසට ඇතුළත් වෙන්නේ ඔහු කරන්න ආසාවෙන් හිටපු, ඔහුම සැලසුම් කරපු දේ. 10  ඒ සැලැස්මට අනුව, නියමිත කාලේ සම්පූර්ණ වුණාම ඔහු යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.* ස්වර්ගයේ සහ පොළොවේ තියෙන හැම දේම ආයෙත් එක්සත් කරලා+ ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න සලස්වන්නේ ඒ වැඩපිළිවෙළෙන්. ඔව්, ක්‍රිස්තුස් එක්ක 11  එකට බැඳිලා ඉන්න අපිට, ඔහු එක්ක උරුමක්කරුවන් වෙන්නත් දෙවියන් අවස්ථාව දීලා තියෙනවා.+ මොකද දෙවියන් අපිව තෝරගන්නවා කියලා කලින්ම තීරණය කරලයි තිබුණේ. තමන් තීරණය කරන හැම දේම ඒ විදිහටම ඉටු කරන දෙවියන් ඒ දේ කළේ ඔහුගේ අරමුණට එකඟවයි. 12  ක්‍රිස්තුස් ගැන මුලින්ම බලාපොරොත්තු තියපු අපිව දෙවියන් තෝරගත්තේ ඔහුට ප්‍රශංසාවත් ගෞරවයත් ලබා දෙන්නයි. 13  සත්‍ය පණිවිඩය, ඒ කියන්නේ ඔයාලව ගලවන විදිහ ගැන ශුභාරංචිය දැනගත්තාට පස්සේ ඔයාලටත් ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තුවක් ඇති වුණා. ඔයාලට විශ්වාසයක් ඇති වුණාට පස්සේ, ඔහු දෙන්න පොරොන්දු වුණ බලයෙන් දෙවියන් ඔයාලව මුද්‍රා කළා.+ ඔහු එහෙම කළේ ක්‍රිස්තුස් මාර්ගයෙන්. 14  ඒ බලය අපිට ඉස්සරහට උරුම වෙන්න යන දේට සහතිකයක්.*+ ඔයාලව ඒ විදිහට මුද්‍රා කළේ දෙවියන්ට අයිති සෙනඟට+ නිදහස ලබා දෙන්නයි. ඒ නිදහස ලබා දුන්නේ වන්දියක් පදනම් කරගෙන.+ ඒකෙන් හැම ප්‍රශංසාවක්ම, ගෞරවයක්ම ලැබෙන්නේ දෙවියන්ට. 15  ඒ නිසා තමයි ස්වාමීන් වන යේසුස් ගැන ඔයාලට තියෙන විශ්වාසය ගැනත් ශුද්ධ තැනැත්තන් හැමෝටම ඔයාලා පෙන්නන ආදරය ගැනත් ආරංචි වෙද්දී, 16  මං ඔයාලා ගැන කියලා දිගටම දෙවියන්ට ස්තුති කරන්නේ. මම නිතරම මගේ යාච්ඤාවලදී ඔයාලා ගැන මතක් කරනවා. 17  යාච්ඤා කරද්දී අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවියන්ට, ඒ කියන්නේ තේජවත් පියාණන්ට මම කියන්නේ ඔහුගේ බලය ඔයාලට දෙන්න කියලයි. එතකොට ඔයාලට දෙවියන් ගැන නිවැරදි දැනුමක් ලැබෙයි. ඒකෙන් ප්‍රඥාවත් ඔහු එළිදරව් කරන දේවල් තේරුම්ගන්න හැකියාවත් ඔයාලට ලැබෙයි.+ 18  දෙවියන් ඔයාලාගේ හිත්* පැහැදුවා. ඒ නිසා ඔයාලට ලැබිලා තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද කියලා තේරුම්ගන්නත් ඒක හිතින් මවාගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම ශුද්ධ තැනැත්තන්ට උරුමයක් විදිහට ඔහු ලබා දෙන්න යන මිල කරන්න බැරි වස්තු ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්නත් ඔයාලට පුළුවන්.+ 19  දෙවියන්ව විශ්වාස කරන අපිට ඔහු මොන තරම් මහත් බලයක් දීලා තියෙනවාද!+ ඒ බලය කොයි තරම් ශ්‍රේෂ්ඨද කියලා ඒක ක්‍රියාත්මක වෙන විදිහෙන් ඔයාලට දැකගන්න පුළුවන්. 20  දෙවියන් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටවලා ස්වර්ගයේ තියෙන තැන්වල තමන්ගේ දකුණු පැත්තේ ඉඳගන්න+ ඔහුට අවස්ථාව ලබා දුන්නේ ඒ බලය මාර්ගයෙන්. 21  අනිත් ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත් උසස් නමක් තියෙන හැමෝටමත් වඩා උසස් ස්ථානයක් ඔහුට දීලා තියෙනවා.+ මේ සමාජයේ* විතරක් නෙමෙයි ඉස්සරහට එන කාලේදීවත් ඔහුට තියෙන තරම් අධිකාරියක් වෙන කාටවත් ලැබෙන්නේ නැහැ. 22  ඒ වගේම දෙවියන් හැම දෙයක්ම ඔහුගේ පාදවලට යටත් කරලා+ සභාවේ හැම දේකම හිස විදිහටත් ඔහුව පත් කළා.+ 23  සභාව තමයි ක්‍රිස්තුස්ගේ ශරීරය.+ ඒක ඔහුගේ ගුණාංගවලින්* පිරිලා තියෙනවා. හැම දෙයක්ම සම්පූර්ණ කරන්නේ ඔහුයි.

පාදසටහන්

හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.
හෝ, “සිහිබුද්ධියත්.”
ඒ කියන්නේ ඔහු බලාපොරොත්තු වෙන විදිහට දේවල් වෙනවාද කියලා ඔහු අධීක්ෂණය කළා.
හෝ, “අත්තිකාරම් මුදලක්; ලැබෙන්න යන දේට ස්ථිර සාක්ෂියක් (රිසිට් පතක්).”
මූ.අ., “හිතේ තියෙන ඇස්.”
මූ.අ., “ඔහුගෙන්.”