එෆීසවරුන්ට 3:1-21

  • වෙනත් ජාතීන්ට අයිති අයවත් පිළිගන්නවා කියන පරිශුද්ධ රහස (1-13)

    • වෙනත් ජාතීන්ට අයිති අය ක්‍රිස්තුස් එක්ක හවුල් උරුමක්කරුවන් වෙයි (6)

    • දෙවියන්ගේ සදාකාලික අරමුණ (11)

  • සත්‍යය ගැන අවබෝධය වැඩි කරගන්න එෆීසවරුන්ට උදව් කරන්න කියලා යාච්ඤා කරයි (14-21)

3  ඒ හේතුව නිසා, පාවුල් වන මම ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සිරකරුවෙක්+ වෙලා ඉන්නවා. ඒ, මං වෙනත් ජාතීන්ට අයිති ඔයාලට උදව් කරපු නිසයි.*  දෙවියන්ගේ මහත් කරුණාව ගැන ඔයාලට දැනුම් දෙන වගකීම මට භාර දුන්නා+ කියලා ඔයාලා හොඳින්ම දන්නවා ඇති.  දෙවියන් ඒ පරිශුද්ධ රහස ගැන මට එළිදරව් කළා. මීට කලිනුත් මං ඔයාලට කෙටියෙන් ඒ ගැන සඳහන් කළා.  ඉතින් මේ ලියුම කියවද්දී ක්‍රිස්තුස්ගේ පරිශුද්ධ රහස ගැන මට තියෙන අවබෝධය+ ඔයාලා තේරුම්ගනියි.  කලින් ජීවත් වුණ පරම්පරාවලට දෙවියන් දැන් තරම් පැහැදිලිව මේ රහස එළිදරව් කළේ නැහැ. ඒත් දැන් ඔහු තමන්ගේ ශුද්ධ නියෝජිතයන්ට සහ අනාගතවක්තෘවරුන්ට ඔහුගේ බලය මාර්ගයෙන් ඒක එළිදරව් කරලා තියෙනවා.+  ඒ රහස තමයි ශුභාරංචිය පිළි අරන් ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න වෙනත් ජාතීන්ට අයිති අයට, අපිත් එක්ක හවුල් උරුමක්කරුවන් වෙන්නත් එකම ශරීරයේ අවයවයන් වෙන්නත්+ අවස්ථාව ලැබෙනවා කියන එක. අපි වගේම එයාලත් දෙවියන්ගේ පොරොන්දුවල ඉටු වීම අද්දකිනවා.  ඒ පරිශුද්ධ රහස දැනුම් දෙන සේවකයෙක් වෙන්න මට පුළුවන් වුණේ දෙවියන් මට පෙන්නුව මහත් කරුණාව නිසයි. ඒ මහත් කරුණාව දෙවියන් නොමිලේ ලබා දෙන තෑග්ගක්. ඒක මට ලැබුණේ දෙවියන්ගේ බලය මං තුළ ක්‍රියාත්මක වුණ නිසයි.+  ශුද්ධ තැනැත්තන් අතරේ ඉන්න සුළුම තැනැත්තන්ටත් වඩා වැදගත්කමින් අඩුම කෙනා වන මටත්+ ඒ මහත් කරුණාව අද්දකින්න අවස්ථාව ලැබුණා.+ මට ඒ අවස්ථාව ලැබුණේ, ක්‍රිස්තුස්ගෙන් ලැබෙන ගණන් කරන්න බැරි තරම් පුදුමාකාර වස්තු ගැන සඳහන් වෙන ශුභාරංචිය, වෙනත් ජාතීන්ට දැනුම් දෙන්නයි.  ඒ වගේම හැම දෙයක්ම නිර්මාණය කරපු දෙවියන්, ඈත අතීතයේ ඉඳන්ම හංගලා තිබ්බ පරිශුද්ධ රහස+ ක්‍රියාත්මක කරන විදිහ ගැන මිනිස්සුන්ට කියලා දෙන්නයි. 10  මොකද දෙවියන්ට ඕනෙ වුණේ ඔහුගේ මහත් ප්‍රඥාවේ+ විවිධ පැති ගැන ස්වර්ගයේ තියෙන තැන්වල ඉන්න පාලකයන්ටත් බලධාරීන්ටත් සභාව මාර්ගයෙන්+ හෙළි කරන්නයි. 11  දෙවියන් ඒ හැම දේම කළේ අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ට සම්බන්ධ වෙන, තමන්ගේ සදාකාලික අරමුණට+ එකඟවයි. 12  අපිට කිසි බයක් සැකක් නැතුව දෙවියන් එක්ක නිදහසේ කතා කරන්නත්* කිසිම බාධාවක් නැතුව,+ ලොකු නිසැකකමකින් දෙවියන්ට ළං වෙන්නත් පුළුවන් වෙලා තියෙන්නේ ක්‍රිස්තුස් නිසයි. අපිට ඒ වගේ නිසැකකමක් ඇති වෙලා තියෙන්නේ ක්‍රිස්තුස් ගැන අපිට තියෙන විශ්වාසය නිසයි. 13  ඉතින් මං ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලා නිසා මට පීඩා විඳින්න සිද්ධ වුණත් ඔයාලාගේ උත්සාහය අත්හරින්න එපා කියලයි. මොකද මං විඳින පීඩා නිසා අන්තිමට ගෞරවය ලැබෙන්නේ ඔයාලටමයි.+ 14  ඒ හේතුව නිසා මං පියාණන්ට මගේ දණ නමනවා. 15  මොකද ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැම පවුලකටම නම ලැබිලා තියෙන්නේ ඔහුගෙන්. 16  ඉමහත් තේජසක් තියෙන ඔහුගෙන් මං ඉල්ලන්නේ ඔහුගේ බලය මාර්ගයෙන් ඔයාලාගේ හිත්*+ ශක්තිමත් කරන්න කියලයි. 17  මට ඕනෙ ඔයාලා තුළ තියෙන විශ්වාසය නිසා ඔයාලාගේ හදවත්වල ක්‍රිස්තුස්ට දිගටම ජීවත් වෙන්න ඔයාලා ඉඩහරිනවා දකින්නයි. ඒ වගේම ඔයාලාගේ හිත්වල ආදරේ තියෙනවා දකින්නයි.+ එහෙම වෙන්න කියලා මම දෙවියන්ගෙන් නිතරම ඉල්ලනවා. හොඳින් මුල් ඇදපු ගහක් වගේ+ ශක්තිමත් අත්තිවාරම මත ඔයාලව ස්ථිරව පිහිටුවන්න+ කියලත් මං ඉල්ලනවා. 18  එතකොට අනිත් ශුද්ධ තැනැත්තන්ට වගේම ඔයාලටත් පුළුවන් වෙයි දෙවියන් එළිදරව් කරන සත්‍යයන්වල දිගත් පළලත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න. 19  ඒ වගේම ඕනෙම දැනුමකට වඩා, කියලා නිම කරන්න බැරි තරම් වටින ක්‍රිස්තුස්ගේ ආදරය ගැන+ තේරුම්ගන්නත් ඔයාලට පුළුවන් වෙයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දෙවියන් ලබා දෙන හැම හොඳ දෙයක්ම* ඔයාලා තුළ පිරිලා ඉතිරිලා යයි. 20  අපි තුළ ක්‍රියාත්මක වෙන ඔහුගේ බලය මාර්ගයෙන්+ දෙවියන්ට පුළුවන් අපි ඉල්ලන, අපි හිතන ඕනෙම දේකට වඩා වැඩියෙන් දේවල් කරන්න.+ 21  ඒ නිසා සභාව මාර්ගයෙනුත් ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙනුත් හැම පරම්පරාවකදීම සදාකාලයෙන් සදාකාලයටම හැම ප්‍රශංසාවක්මත් ගෞරවයක්මත් අපේ දෙවියන්ට හිමි වේවා! ආමෙන්!*

පාදසටහන්

මේ පදයෙන් පටන්ගන්න අදහස මෙතනින් අවසන් වෙනවා. ඒක ආයෙත් 14වෙනි පදයෙන් පටන්ගන්නවා.
හෝ, “මිනිස්සු එක්ක නිදහසේ කතා කරන්නත්.”
මූ.අ., “ඔයාලව ඇතුළාන්තයෙන්ම.”
හෝ, “දෙවියන්ගේ ගුණාංග.”
හෝ, “එසේම වේවා!”