එෆීසවරුන්ට 4:1-32

  • ක්‍රිස්තුස්ගේ ශරීරය එක්සත් (1-16)

    • තෑගි විදිහට පුරුෂයන්ව දුන්නා (8)

  • අලුත් සහ පරණ පෞද්ගලිකත්වය (17-32)

4  ස්වාමීන් වෙනුවෙන් සිරදඬුවම් විඳින මං+ ඔයාලාගෙන් දෙයක් ඉල්ලන්න කැමතියි. ඒ, දෙවියන්ගෙන් ඔයාලට ලැබුණ කැඳවීම මොන තරම් වටිනවාද කියන දේ හිතේ තියාගෙන ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන්න+ කියලයි.  නිතරම නිහතමානීව,+ මෘදු විදිහට සහ ඉවසිලිවන්තව+ වැඩ කරන්න. එකිනෙකාගේ දුර්වලකම් ආදරෙන් දරාගෙන ඉන්න.+  දෙවියන්ගේ බලයෙන් ඔයාලව එක්සත් කරලයි තියෙන්නේ. ඒ නිසා ඔයාලා අතරේ තියෙන එක්සත්කම රැකගන්න අරමුණින් එකිනෙකා එක්ක සමාදානයෙන් ඉන්න* හුඟක් මහන්සි වෙන්න.+  ඔයාලව කැඳෙව්වේ එක බලාපොරොත්තුවක්+ ඇතුව ඉන්නයි. ඒ වගේ, තියෙන්නේ එක ශරීරයක්+ විතරයි. අපි තුළ ක්‍රියාත්මක වෙන්නේ එක බලයක්+ විතරයි.  ඉන්නේ එක ස්වාමියෙක්+ විතරයි. අපි විශ්වාස කරන්නෙත් එකම ඉගැන්වීම්. තියෙන්නේ එකම විදිහේ බව්තීස්මයක්.  හැමෝටම ඉන්නේ එකම දෙවි කෙනෙක්. එකම තාත්තා කෙනෙක්. හැමෝටම ඉහළින් ඉන්නේ ඔහුයි. ඔහු අපි හැම කෙනෙක්වම දේවල් කරන්න යොදාගන්නවා. ඔහුගේ බලය අපි හැම කෙනෙක් තුළම ක්‍රියාත්මක වෙනවා.  දෙවියන් අපි එක් එක් කෙනාට මහත් කරුණාව පෙන්නුවා. නොමිලේ ලැබෙන ඒ තෑග්ග අපි එක් එක් කෙනාට ලැබුණේ ක්‍රිස්තුස් බෙදලා දුන්න ප්‍රමාණයට අනුවයි.+  ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියලා තියෙනවා. “ඔහු ඉහළටම නැඟ යද්දී වහලුන්ව අරන් ගියා. ඔහු තෑගි විදිහට පුරුෂයන්ව දුන්නා.”+  ‘ඔහු නැඟ ගියා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒකෙන් අදහස් කරන්නේ ඊට කලින් ඔහු පහළට ඒ කියන්නේ, පොළොවට බැහැලා ආවා කියන එක නේද? 10  පහළට බැහැලා ආපු ඒ කෙනාම තමයි ස්වර්ගයටත් වඩා ඉහළටම+ නැඟලා ගියේ.+ එහෙම වුණේ හැම දේම ඔහු මාර්ගයෙන් ඉටු වෙන්නයි. 11  ඉතින් ඔහු සමහරුන්ව නියෝජිතයන්+ විදිහටත් සමහරුන්ව අනාගතවක්තෘවරුන්+ විදිහටත් සමහරුන්ව ශුභාරංචිය දේශනා කරන අය+ විදිහටත් සමහරුන්ව එඬේරුන් විදිහටත් තවත් සමහරුන්ව ගුරුවරුන්+ විදිහටත් සභාවට දුන්නා. 12  ඒ අයව දුන්නේ ශුද්ධ තැනැත්තන්ට නිවැරදි මාර්ගයේ යන්න උදව් කරන්න.* අනිත් අයට සේවය කරන්න. ඒ වගේම ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනඟන්න.+ 13  අපේ විශ්වාසයන් සම්බන්ධයෙන් අපි හැමෝම එකඟතාවකට එන කල්* සහ දෙවියන්ගේ පුතා ගැන අපි හැමෝටම නිවැරදි අවබෝධයක් ලැබෙන කල් එයාලා ඒ කාර්යය කරනවා. එතකොට අපිට හැම අතින්ම ක්‍රිස්තුස් වගේ හිතන, වැඩ කරන, හොඳින් වැඩුණු* පුරුෂයෝ+ වෙන්න පුළුවන් වෙයි. 14  ඒ නිසා අපි පොඩි දරුවන් වගේ වැඩ කරන එක නවත්තන්න ඕනේ. මොකද අපි පොඩි ළමයි වගේ වැඩ කෙරුවොත් අපි හරියට රළ පහරට ඒ මේ අත වීසි වෙන, හුළඟට ගහගෙන යන බෝට්ටුවක් වගේ වෙයි. ඒ කියන්නේ අනුන්ව රවට්ටන අය උගන්වන හැම බොරු දේකටම අපි අහු වෙයි.+ එයාලා හරිම සූක්ෂ්ම විදිහට බොරු ගොතලයි අපිව රවට්ටන්න හදන්නේ. 15  ඒ වෙනුවට අපි දිගටම සත්‍යය කතා කරමු. ආදරෙන් පෙලඹිලා හැම දේකදීම අපේ හිස වන ක්‍රිස්තුස්ව+ ආදර්ශයට අරන් වැඩ කරන්න උත්සාහ කරමු. 16  අපි හරියට එක ශරීරයක් වගේ. ක්‍රිස්තුස් නිසා ඒ ශරීරයේ තියෙන හැම අවයවයක්ම+ එකට බැඳිලා තියෙනවා. ඒ වගේම හැම අවයවයක්ම තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු කරලා සහයෝගයෙන් වැඩ කරනවා. ඒ එක එක අවයවය තමන්ට නියමිත කාර්යය හරියට කරද්දී ඒක මුළු ශරීරයේම වර්ධනයට දායක වෙනවා. ඒ වගේම එකිනෙකා අතරේ තියෙන ආදරේ නිසා ඒක ශක්තිමත් වෙනවා.+ 17  ඒ නිසා මං කියන මේ දේ හිතට ගන්න. ස්වාමීන් ඉස්සරහා මං ඔයාලට අවවාද කරන්නේ වෙනත් ජාතීන්වලට අයිති මිනිස්සු ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න එපා+ කියලයි. මොකද එයාලා හිතන්නේ කිසිම වැඩකට නැති* දේවල් ගැන.+ 18  දෙවියන් ගැන දැනගන්න එයාලට කිසි වුවමනාවක් නැහැ. එයාලා හිත් දැඩි කරගෙනයි* ඉන්නේ. එයාලාගේ මනස් අන්ධකාරයෙන් වැහිලා තියෙන්නෙත් දෙවියන් ලබා දෙන ජීවනයෙන් එයාලා ඈත් වෙලා ඉන්නෙත් ඒ නිසයි. 19  එයාලට හරි වැරැද්ද ගැන කිසිම හැඟීමක් නැහැ. එයාලා වැරදි ආශාවන්ට සම්පූර්ණයෙන්ම වහල් වෙලා කිසිම ලැජ්ජාවක් බයක් නැතුව වැරදි දේවල් කරනවා.*+ ඒ නිසා එයාලා කරන්න පුළුවන් හැම අපවිත්‍ර දෙයක්ම කරනවා. එයාලා ඒ දේවල්වලට කොච්චර කෑදරද කියනවා නම් එයාලට ඕනෙ තව තවත් වැඩියෙන් ඒවා කරන්න. 20  ඒත් ඔයාලා ඉගෙනගෙන තියෙන විදිහට ක්‍රිස්තුස් ඒ වගේ කෙනෙක් නෙමෙයි. 21  ඔයාලා ඇත්තටම ක්‍රිස්තුස්ට සවන් දීලා ඔහුගෙන් ඉගෙනගත්තා නම් ඒක ඇත්ත කියලා ඔයාලා දන්නවා. මොකද සත්‍යය තියෙන්නේ යේසුස් තුළයි. 22  පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න ඕනෙ කියලා ඔයාලා ඉගෙනගත්තා.+ ඒ පෞද්ගලිකත්වය හැඩගැහිලා තියෙන්නේ ඔයාලා කලින් හැසිරුණු විදිහට අනුවයි. ඔයාලව නොමඟ යවන වැරදි ආශාවන් නිසා ඒ පරණ පෞද්ගලිකත්වය තව තවත් පිරිහෙනවා.+ 23  ඒ නිසා දැන් ඔයාලා හිතන විදිහ වෙනස් කරගෙන දිගටම අලුත් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ.*+ 24  ඒත් එක්කම ඔයාලා අලුත් පෞද්ගලිකත්වය පැලඳගන්න ඕනේ.+ ඒ පෞද්ගලිකත්වය හැදිලා තියෙන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟවයි. ඒ වගේම ඒක පදනම් වෙලා තියෙන්නේ දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති සහ විශ්වාසවන්තකම මතයි. 25  ඔයාලා දැන් හැම වංචනික දෙයක්ම අත්හැරලා දාලයි තියෙන්නේ. ඒ නිසා ඔයාලා හැමෝම ඔයාලාගේ අසල්වැසියන් එක්ක ඇත්ත කතා කරන්න ඕනේ.+ මොකද අපි හැමෝම එකම ශරීරයට අයිති අවයවයන්.+ 26  ඔයාලාගේ හිතට කේන්තියක් ආවත් පව් කරන්න එපා.+ ඉර බහින්න කලින් ඒ කේන්තිය නැති කරගන්න.+ 27  ඔයාලව පාලනය කරන්න යක්ෂයාට කිසිම ඉඩක්* දෙන්න එපා.+ 28  කෙනෙක් හොරකම් කරනවා නම් එයා ඒක නවත්තන්න ඕනේ. ඒ වෙනුවට එයාම වෙහෙස මහන්සි වෙලා අවංක විදිහට මුදලක් හොයාගන්න ඕනේ.+ එතකොට අගහිඟකම් තියෙන කෙනෙක් එක්ක බෙදාගන්න එයා ළඟ දෙයක් තියෙයි.+ 29  ඔයාලාගේ කටින් කිසිම පිළිකුල්* වචනයක් පිට වෙන්න ඉඩ දෙන්න එපා.+ ඒ වෙනුවට අනිත් අයට යහපතක් වෙන දේවල් විතරක් කතා කරන්න. කෙනෙක්ට දිරිගැන්වීමක් ඕන වුණාම එයාව දිරිගන්වන්න. එතකොට ඔයාට ඇහුම්කන් දෙන අයට ශක්තියක් ලැබෙයි.+ 30  ඒ වගේම දෙවියන්ගේ බලයට විරුද්ධව වැඩ කරලා ඔහුට දුක් දෙන්න එපා.*+ මොකද ගෙවපු වන්දිය මාර්ගයෙන් ඔයාලව නිදහස්+ කරන දවස එන කල් ඔයාලව මුද්‍රා කරලා තියෙන්නේ ඒ බලයෙන්.+ 31  හිතේ වෛරයක් ඇති කරන හැම සිතුවිල්ලක්ම අයින් කරගන්න.+ කේන්තිය, උදහස, තරහෙන් කෑගහන එක, අනිත් අයට අපහාස කරන එක+ වගේම අනුන්ට හානියක් වෙන අනිත් හැම දෙයක්ම+ ඔයාලාගේ ජීවිතවලින් අයින් කරගන්න. 32  ඒ වෙනුවට අනිත් අයට කරුණාවන්තව සලකන්න. එයාලට දයානුකම්පාව පෙන්නන්න.+ දෙවියන් ක්‍රිස්තුස් මාර්ගයෙන් අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දුන්නා. ඒ වගේ ඔයාලත් අදිමදි නොකර මුළු හදවතින්ම එකිනෙකාට සමාව දෙන්න.+

පාදසටහන්

මූ.අ., “එකට බැඳලා තියාගන්න සමාදානය රැකගන්න.”
හෝ, “ශුද්ධ තැනැත්තන්ව පුහුණු කරන්න.”
හෝ, “හැමෝම අතරේ එක්සත්කමක් ඇති වෙන කල්.”
හෝ, “අවබෝධයෙන් වැඩ කරන.”
හෝ, “හිස්.”
මූ.අ., “හැඟීම් දැනීම් නැති කරගෙනයි.”
හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙනවා.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “හිත පාලනය කරන ආකල්ප අලුත් කරගන්න ඕනේ.”
හෝ, “අවස්ථාවක්.”
මූ.අ., “කුණු වෙච්ච.”
මූ.අ., “දෙවියන්ගේ බලයට දුක් දෙන්න එපා.”