එෆීසවරුන්ට 5:1-33

  • යහපත් හැසිරීම සහ කතාබහ (1-5)

  • ආලෝකයේ දරුවන් විදිහට ජීවත් වෙන්න (6-14)

  • දෙවියන්ගේ බලයට දිගටම ක්‍රියාත්මක වෙන්න ඉඩහරින්න (15-20)

    • තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න (16)

  • ස්වාමිපුරුෂයන්ටයි, භාර්යාවන්ටයි දුන්න උපදෙස් (21-33)

5  ඔයාලා දෙවියන්ගේ ආදරණීය දරුවන් නිසා දෙවියන්ව අනුකරණය කරන්න.+  ක්‍රිස්තුස් අපිට* ආදරේ කළා වගේ+ ඔයාලත් දිගටම ආදරේ කරන්න.+ ඔහු අපිට ආදරේ කරලා අපි* වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජාවක් විදිහට ඔප්පු කළා. ඒක දෙවියන්ට මිහිරි සුවඳක් ගෙන දෙන පූජාවක්.+  ලිංගික දුරාචාරය* ගැන, කිසිම අපවිත්‍ර ක්‍රියාවක් ගැන, කෑදරකම ගැන අඩුම තරමේ කතා කරන්නවත් එපා.+ මොකද ඒ දේවල් ශුද්ධ තැනැත්තන්ට කොහොමටවත් සුදුසු නැහැ.+  නින්දිත විදිහට හැසිරෙන එක, මෝඩ කතා කියන එක සහ අසභ්‍ය විහිළු කරන එකත්+ කොහොමටවත් සුදුසු දේවල් නෙමෙයි. ඒ වෙනුවට අපි කරන්න ඕනෙ දෙවියන්ට ස්තුති කරන එක.+  ලිංගික දුරාචාරයේ* යෙදෙන කෙනෙක්ටවත්+ අපවිත්‍ර දේවල් කරන කෙනෙක්ටවත් රූප නමස්කාර කරන කෙනෙක්ට සමාන කෑදර කෙනෙක්ටවත්+ ක්‍රිස්තුස්ගේ සහ දෙවියන්ගේ රාජ්‍යයේ කිසිම උරුමයක් ලැබෙන්නේ නැහැ.+ ඒ ගැන ඔයාලා දන්නවා විතරක් නෙමෙයි ඒක ඔයාලා හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ.  කිසි තේරුමක් නැති දේවල් කියලා ඔයාලව රවට්ටන්න කාටවත් ඉඩ දෙන්න එපා. මොකද ඒ දේවල් කරලා දෙවියන්ට අකීකරු වෙන අයට ඉස්සරහට ඔහුගෙන් දඬුවම් විඳින්න වෙනවා.  ඒ නිසා ඒ වගේ අය එක්ක කොයිම විදිහකින්වත් හවුල් වෙන්න එපා.  කාලයක් ඔයාලා හිටියේ අන්ධකාරයේ. ඒත් ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්න නිසා+ දැන් ඔයාලා ඉන්නේ ආලෝකයේ.+ ඉතින් ආලෝකයේ දරුවන් විදිහට දිගටම ජීවත් වෙන්න.  ආලෝකයේ ගමන් කරන කෙනෙක් හැම දේකදීම යහපත් දේ කරනවා, හරි දේ කරනවා. හැම වෙලාවකම සත්‍යයට එකඟව වැඩ කරනවා.+ 10  ඔයාලා කරන දේවල් ගැන ස්වාමීන් සතුටු වෙනවාද කියලා නිතරම හොයලා බලන්න.+ 11  අන්ධකාරයේ ගමන් කරන අය කරන කිසි වැඩකට නැති දේවල්වලට+ තවත් හවුල් වෙන්න එපා. ඒ වෙනුවට එයාලා කරන දේවල් කොච්චර වැරදිද කියලා හෙළි කරන්න. 12  මොකද එයාලා හොර රහසේ කරන දේවල් ගැන අපිට කතා කරන්නත් ලැජ්ජයි. 13  ඒත් හැම දෙයක්ම ආලෝකයේ උදව්වෙන් හෙළි වෙනවා.* ඒ විදිහට හෙළි කරන හැම දෙයක්ම තවදුරටත් රහසක් විදිහට තියෙන්නේ නැහැ. 14  “නිදාගෙන ඉන්න තැනැත්තෙනි, අවදි වෙන්න. මිය ගිය තත්වයේ ඉන්න ඔයාලා දැන් නැඟිටින්න.+ එතකොට ක්‍රිස්තුස්ගේ ආලෝකය ඔයාලා මතට වැටෙයි”+ කියලා ලියලා තියෙන්නේ ඒ නිසයි. 15  ඒ නිසා ඔයාලා ගැනම හොඳ සෝදිසියකින් ඉන්න. ඔයාලා ජීවත් වෙන්නේ අඥාන අය විදිහට නෙමෙයි ඥානවන්ත අය විදිහටයි කියන දේ ස්ථිර කරගන්න. 16  අපි ජීවත් වෙන්නේ නපුරු කාලෙක. ඒ නිසා ඔයාලට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.*+ 17  ඉතින් අඥාන අය විදිහට වැඩ කරන එක නවත්තන්න. යෙහෝවා* සතුටු වෙන්නේ මොන දේවල්වලින්ද කියලා තේරුම්ගන්න දිගටම උත්සාහ කරන්න.+ 18  වයින්වලින් වෙරි වෙන්න එපා.+ මොකද එතකොට පහත්, නොහොබිනා* දේවල් කරන්න පෙලඹෙනවා. ඒ වෙනුවට දෙවියන්ගේ බලයට ඔයාලා තුළ දිගටම ක්‍රියාත්මක වෙන්න ඉඩහරින්න. 19  එකිනෙකා එක්ක එකතු වෙලා* ගීතිකා ගායනා කරන්න. දෙවියන්ට ප්‍රශංසා කරන්න. ඔහුට ප්‍රශංසා ගී ගායනා කරන්න.+ ඒ වගේම මිහිරි නාද මුමුනලා+ මුළු හදවතින්ම* යෙහෝවාට* ගී ගයන්න.+ 20  අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින්,+ අපේ තාත්තා වන දෙවියන්ට හැම වෙලාවකම හැම දෙයක් ගැනම ස්තුති කරන්න.+ 21  ක්‍රිස්තුස් ගැන ඔයාලට තියෙන ගැඹුරු ගෞරවය නිසා එකිනෙකාට යටත් වෙලා ඉන්න.+ 22  භාර්යාවෙනි, ඔයාලා ස්වාමීන්ට යටත් වෙලා ඉන්නවා වගේ ඔයාලාගේ ස්වාමිපුරුෂයන්ටත් යටත් වෙලා ඉන්න+ ඕනේ. 23  මොකද සභාව කියන ශරීරයේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් ඒකේ හිස+ විදිහට වැඩ කරනවා වගේ ස්වාමිපුරුෂයාත් එයාගේ භාර්යාවගේ හිස+ විදිහට වැඩ කරනවා. 24  ඒ වගේම සභාව ක්‍රිස්තුස්ට යටත් වෙලා ඉන්නවා වගේ භාර්යාවනුත් හැම කාරණයකදීම එයාලාගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙලා ඉන්න ඕනේ. 25  ස්වාමිපුරුෂයෙනි, දිගටම ඔයාලාගේ භාර්යාවන්ට ආදරේ කරන්න.+ ක්‍රිස්තුස් සභාවට ආදරේ කරලා ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය දුන්න විදිහටම ඔයාලත් එයාලට ආදරේ කරන්න.+ 26  ඔහු එහෙම කළේ දේවවචනය කියන වතුරෙන් ඒක පිරිසිදු කරලා, ඒක ශුද්ධ තත්වයකට ගේන්නයි.+ 27  ඔහුට ඕනෙ වුණේ සභාව ඔහු ඉස්සරහා කිසි පැල්ලමක්වත් දෝෂයක්වත් වෙන කිසිම වරදක්වත් නැති,+ ශුද්ධ, නිකැළැල්,+ අලංකාරයෙන් බැබළෙන තත්වයක තියෙනවා දකින්නයි. 28  ඒ විදිහට, ස්වාමිපුරුෂයනුත් තමන්ගේ ශරීරයට ආදරෙන් සලකනවා වගේ තමන්ගේ භාර්යාවන්ටත් ආදරෙන් සලකන්න ඕනේ. තමන්ගේ භාර්යාවට ආදරේ කරනවා කියන්නේ තමන්ටම ආදරේ කරනවා කියන එකයි. 29  මොකද කිසිම කෙනෙක් කවදාවත් තමන්ගෙම ශරීරයට වෛර කරන්නේ නැහැ. ඒ වෙනුවට එයා එයාගේ ශරීරයට ඕනෙ කරන පෝෂණය දීලා හරිම ආදරෙන් ඒක බලාගන්නවා. ක්‍රිස්තුස් සභාව වෙනුවෙන් කරන්නෙත් ඒ දේමයි. 30  මොකද අපි ඔහුගේ ශරීරයට අයිති අවයවයන්.+ 31  “ඒ නිසා පුරුෂයෙක් එයාගේ තාත්තාගෙනුයි, අම්මාගෙනුයි වෙන් වෙලා එයාගේ බිරිඳට ඇලුම් වෙනවා.* ඊටපස්සේ ඒ දෙන්නා එක් කෙනෙක් වගේ වෙනවා.”*+ 32  ඒ පරිශුද්ධ රහස+ හරිම වැදගත්. මං ඒ කිව්වේ ක්‍රිස්තුස් ගැනයි, සභාව ගැනයි.+ 33  හැබැයි මං ඔයාලට ආයෙත් කියන්නේ, ඔයාලා එක් එක් කෙනා තමන්ටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ භාර්යාවන්ටත් ආදරේ කරන්න ඕනෙ+ කියලා. ඒ වගේම භාර්යාවනුත් එයාලාගේ ස්වාමිපුරුෂයන්ට මුළු හදවතින්ම ගෞරව කරන්න ඕනේ.+

පාදසටහන්

හෝ සමහරවිට, “ඔයාලට.”
හෝ සමහරවිට, “ඔයාලා.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “හැම වැරදි දෙයක්ම ආලෝකයේ උදව්වෙන් හෙළි වෙලා ඒවාට අවවාද ලැබෙනවා.”
මූ.අ., “කාලය මිල දී ගන්න.”
උප. A5 බලන්න.
හෝ, “කිසිම පාලනයක් නැතුව.”
හෝ සමහරවිට, “තනියම ඉද්දී.”
හෝ, “ඔයාලාගේ හිතින්.”
උප. A5 බලන්න.
හෝ, “බිරිඳ එක්කම ඉන්නවා.”
හෝ, “එක ශරීරයක් වගේ වෙනවා.”