එෆීසවරුන්ට 6:1-24

  • දරුවන්ටයි, දෙමාපියන්ටයි දුන්න උපදෙස් (1-4)

  • දාසයන්ටයි, ස්වාමිවරුන්ටයි දුන්න උපදෙස් (5-9)

  • දෙවියන් ලබා දෙන මුළු යුධායුධ කට්ටලය (10-20)

  • අවසන් වදන් (21-24)

6  දරුවෙනි, ස්වාමීන්ගේ කැමැත්තට එකඟව ඔයාලාගේ අම්මා තාත්තාට කීකරු වෙන්න.+ මොකද දෙවියන් ඒක සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් විදිහටයි.  “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”+ ඒක තමයි පොරොන්දුවක් එක්ක දීපු පළවෙනි ආඥාව. ඒ පොරොන්දුව තමයි,  “ඒකෙන් ඔයාලට යහපතක් වෙයි.* ඒ වගේම පොළොවේ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි” කියන එක.  පියවරුනි, ඔයාලාගේ දරුවන්ගේ හිතේ කේන්තියක් ඇති වෙන විදිහට වැඩ කරන්න එපා.+ ඒ වෙනුවට යෙහෝවා* දෙන හික්මවීම්+ සහ අවවාදවලට* එකඟව දිගටම එයාලව ඇතිදැඩි කරන්න.*+  දාසයෙනි, පොළොවේ ඉන්න ඔයාලාගේ ස්වාමිවරුන්ට කීකරු වෙන්න.+ අවංක හිතකින් සහ ගැඹුරු ගෞරවයකින් ක්‍රිස්තුස්ට කීකරු වෙනවා වගේ එයාලටත් කීකරු වෙන්න.  අනිත් අය බලන් ඉද්දී විතරක් ඒ දේ කරන්න එපා. මිනිස්සුන්ව සතුටු කරන්න හිතාගෙන+ එහෙම කරනවා වෙනුවට දෙවියන්ගේ කැමැත්ත මුළු හිතින්ම* කරන ක්‍රිස්තුස්ගේ දාසයන් විදිහට දිගටම එයාලට කීකරු වෙන්න.+  ඔයාලාගේ ස්වාමිවරුන්ට සේවය කරද්දී මිනිස්සුන්ට සේවය කරනවා කියලා හිතාගෙන වැඩ කරන්න එපා. ඒ වෙනුවට යෙහෝවාට* සේවය කරනවා කියලා හිතාගෙන උද්‍යෝගයෙන් වැඩ කරන්න.+  මොකද ඔයාලා දාසයන් වුණත් නිදහස් අය වුණත් එක් එක් කෙනා කරන යහපත් දේවල්වලට අනුව යෙහෝවා* ඔයාලට ප්‍රතිඵල දෙනවා.+  ස්වාමිවරුනි, ඔයාලාගේ දාසයන්ට තර්ජනය කරන්නේ නැතුව දිගටම එයාලට හොඳින් සලකන්න. මොකද ඔයාලා දන්නවා එයාලාගේ වගේම ඔයාලාගෙත් ස්වාමියා ඉන්නේ ස්වර්ගයේ කියලා.+ ඒ වගේම ඔහු හැමෝටම සලකන්නේ එකම විදිහටයි. 10  අන්තිමට මං ඔයාලාගෙන් මේ දේ ඉල්ලන්න කැමතියි. අතිමහත් බලයක් තියෙන ස්වාමීන්ගෙන් දිගටම බලය ලබාගෙන ශක්තිමත් වෙන්න.+ 11  දෙවියන් ලබා දෙන මුළු යුධායුධ කට්ටලයම පැලඳගන්න.+ එතකොට යක්ෂයාගේ කපටි උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව ඉන්න ඔයාලට පුළුවන්. 12  මොකද අපිට පොරබදින්න වෙලා තියෙන්නේ+ ලේ ඇට මස් නහර තියෙන මිනිස්සුන්ට විරුද්ධව නෙමෙයි. ඒ වෙනුවට අපි පොරබදින්නේ මේ අන්ධකාර ලෝකය පාලනය කරන ආණ්ඩුවලට, බලධාරීන්ට සහ පාලකයන්ට විරුද්ධවයි. ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන තැන්වල ඉන්න භූත සේනාවන්ට විරුද්ධවයි.+ 13  ඒ නිසයි දෙවියන් ලබා දෙන මුළු යුධායුධ කට්ටලයම ඔයාලා පැලඳගන්න ඕනේ.+ එහෙම කළොත් නපුරු දවසේදී සතුරාට විරුද්ධව ඉන්න ඔයාලට පුළුවන් වෙයි. ඒ වගේම ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයාලා කළාට පස්සේ නොසැලී ස්ථිරව ඉන්නත් ඔයාලට පුළුවන් වෙයි. 14  ඒ නිසා ඔයාලා සත්‍යය කියන ඉණපටිය ඔයාලාගේ ඉණ වටේ තදින් බැඳගෙන+ ධර්මිෂ්ඨකම කියන ළයවැස්මත් පැලඳගෙන+ නොසැලී, ස්ථිරව ඉන්න. 15  ඒ වගේම සමාදානයේ ශුභාරංචිය කියන පාවහන් දාගෙන නිතරම ශුභාරංචිය දේශනා කරන්න ලෑස්ති වෙලා ඉන්න.+ 16  ඒ විතරක් නෙමෙයි විශ්වාසය කියන විශාල පලිහත් ඔයාලාගේ අතට ගන්න.+ ඒකෙන් ඔයාලට පුළුවන් දුෂ්ටයා ඔයාලා දිහාවට විදින හැම ගිනිමය ඊතලයක්ම නිවලා දාන්න.+ 17  ගැලවීම කියන හිස්වැස්ම පැලඳගන්න.+ දෙවියන්ගේ බලයෙන් දීලා තියෙන කඩුවත්, ඒ කියන්නේ දේවවචනයත් අතට ගන්න.+ 18  ඒ වගේම හැම වෙලාවකම දෙවියන්ගේ බලයෙන් දෙන මඟ පෙන්වීම් ඉල්ලලා, යාච්ඤා කරන්න පුළුවන් හැම විදිහකින්ම යාච්ඤා කරන්න.+ කන්නලව් කරන්න පුළුවන් හැම විදිහකින්ම කන්නලව් කරන්න.+ ඒ දේ මනසේ තියාගෙන අවදිව ඉඳලා නිතරම ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් කන්නලව් කරන්න. 19  මං වෙනුවෙනුත් යාච්ඤා කරන්න. පරිශුද්ධ රහස ගැන ශුභාරංචිය කිසි බයක් සැකක් නැතුව කට ඇරලා කතා කරන්න මට උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න.+ 20  දම්වැල්වලින් බැඳලා ඉන්න මං තානාපතියෙක් විදිහට වැඩ කරන්නේ+ ඒ ශුභාරංචිය වෙනුවෙනුයි. ඒ නිසා නිර්භීතව කතා කරන්න මට හැකියාව දෙන්න කියලා දෙවියන්ට කන්නලව් කරන්න. මොකද මං ශුභාරංචිය ගැන කතා කරන්න ඕනෙ ඒ විදිහටයි. 21  තිකිකස්+ ඇවිත් මගේ සුව දුක් ගැනත් මගේ අනිත් හැම විස්තරයක් ගැනත් ඔයාලට කියයි. එයා ස්වාමීන්ට විශ්වාසවන්තව සේවය කරන හරිම ආදරණීය සහෝදරයෙක්.+ 22  මං එයාව ඔයාලා ළඟට එවන්නේ අපේ විස්තර ඔයාලා එක්ක බෙදාගෙන ඔයාලාගේ හිතට සහනයක් දෙන්නයි. 23  අපේ තාත්තා වන දෙවියන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් සහෝදරයන්ගේ හිත්වල විශ්වාසය වැඩි කරයි කියලත් එයාලා අතරේ ආදරයත් සමාදානයත් දිගටම තියාගන්න උදව් කරයි කියලත් මං පතනවා. 24  අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ට කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරයක් පෙන්නන හැමෝටම දෙවියන්ගේ මහත් කරුණාව කිසිම අඩුවක් නැතුව ලැබේවා!

පාදසටහන්

හෝ, “ඒකෙන් ඔයාලාගේ ජීවිත සාර්ථක වෙයි.”
උප. A5 බලන්න.
හෝ, “උපදෙස්වලට; මඟ පෙන්වීම්වලට.”
මූ.අ., “යෙහෝවා හිතන විදිහට හිතන්න පුරුදු කරන්න.”
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.