යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා 17:1-34

  • පාවුල් සහ සීලස් තෙසලෝනිකයට යයි (1-9)

  • පාවුල් සහ සීලස් බෙරීය නගරයට යයි (10-15)

  • පාවුල් ඇතන්ස් නගරයට යයි (16-22අ)

  • ඇරියොපගස් කන්දේදී පාවුල් සෙනඟට කතා කරයි (22ආ-34)

17  එයාලා අම්ෆිපොලිස් සහ අපොලෝනිය කියන නගර හරහා ගිහින් තෙසලෝනිකයට ආවා.+ එහේ යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණා.  පාවුල් පුරුදු වෙලා හිටපු විදිහට+ සිනගෝගයට ගිහින් සබත් දවස් තුනක් පුරා ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා එහේ හිටපු අයට දේවල් තර්කානුකූලව පැහැදිලි කළා.+  ක්‍රිස්තුස් වධ විඳින්න ඕනෙ කියලත්+ මරණයෙන් නැඟිටින්න ඕනෙ කියලත්+ එයා පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ඒ දේවල් ශුද්ධ ලියවිල්ලෙන්ම ඔප්පු කරලා පෙන්නලා දෙන ගමන් එයා මෙහෙම කිව්වා. “මම ඔයාලට කියකිය හිටපු යේසුස් තමයි ඒ ක්‍රිස්තුස්.”  ඒ දේවල් අහලා සමහර අය යේසුස්ගේ අනුගාමිකයන් වෙලා පාවුල් සහ සීලස්ට+ එකතු වුණා. ඒ වගේම දෙවියන්ට නමස්කාර කරපු ග්‍රීකවරුන්* විශාල පිරිසකුත් සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණ ස්ත්‍රීන් හුඟදෙනෙකුත් එයාලට එකතු වුණා.  ඒත් යුදෙව්වරුන්ට එයාලා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා.+ ඉතින් එයාලා වෙළඳපොළට වෙලා නිකරුණේ කාලය ගත කරපු මැර පිරිසක් එකතු කරගෙන නගරයේ ලොකු කලබලයක් ඇති කළා. ඊටපස්සේ ඒ අය ජේසන් කියන සහෝදරයාගේ ගෙදරට කඩන් පැන්නා. එයාලට ඕනෙ වුණේ පාවුල්වයි, සීලස්වයි සෙනඟ ඉස්සරහට අරන් එන්න.  ඒ දෙන්නාව හොයාගන්න බැරි වුණාම එයාලා ජේසන්වයි, තවත් සහෝදරයන් කීපදෙනෙක්වයි නගරයේ පාලකයන් ඉස්සරහට ඇදගෙන ගිහින් කෑගගහා මෙහෙම කිව්වා. “මුළු පොළොවම කණපිට හරවපු මේ මිනිස්සු දැන් මෙහෙටත් ඇවිල්ලා.+  ඒ මදිවට මේ ජේසන් එයාලව එයාගේ ගෙදර නවත්තගෙන හිටියා. මෙයාලා හැමෝම සීසර්ගේ නියෝගවලට විරුද්ධව කැරලිගහනවා. මෙයාලා කියනවා යේසුස් කියලත් රජෙක් ඉන්නවා කියලා.”+  ඒ දේවල් නගරයේ ඉන්න සෙනඟටයි, පාලකයන්ටයි ඇහුණාම එයාලා කලබල වුණා.  ඊටපස්සේ එයාලා ජේසන්ගෙනුයි, අනිත් අයගෙනුයි ඇපයක් අරගෙන එයාලව නිදහස් කළා. 10  කළුවර වැටුණ ගමන්ම සහෝදරයෝ පාවුල්වයි, සීලස්වයි බෙරීය නගරයට යැව්වා. එයාලා එහෙට ගිහින් එහේ තිබුණ යුදෙව්වරුන්ගේ සිනගෝගයට ගියා. 11  එහේ හිටපු අය තෙසලෝනිකයේ හිටපු අයට වඩා සාධාරණව හිතපු කට්ටියක්. මොකද එයාලා හරිම උනන්දුවෙන්, විවෘත මනසකින් පණිවිඩයට ඇහුම්කන් දුන්නා. ඒ වගේම එයාලට අහන්න ලැබුණ දේවල් ඇත්තද කියලා හොයලා බලන්න එයාලා හැම දවසකම ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කළා. 12  ඒ නිසා එයාලාගෙන් හුඟදෙනෙක් විශ්වාසයක් ඇති කරගෙන යේසුස්ගේ අනුගාමිකයන් වුණා. ඒ වගේම සමාජයේ හොඳ තැනක් තිබුණ ග්‍රීක ජාතික ස්ත්‍රීන් සහ පුරුෂයන් හුඟදෙනෙකුත් අනුගාමිකයන් වුණා. 13  ඒත් පාවුල් බෙරීය නගරයෙත් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරනවා කියලා තෙසලෝනිකයේ හිටිය යුදෙව්වරුන්ට ආරංචි වුණාම එයාලා එහෙටත් ආවා. එයාලා ආවේ එහේ ඉන්න අයවත් උසිගන්වලා කලබලයක් ඇති කරන්නයි.+ 14  එතකොට සහෝදරයෝ ඉක්මනටම පාවුල්ව මුහුදු වෙරළ පැත්තට පිටත් කරලා යැව්වා.+ ඒත් සීලස් සහ තිමෝති බෙරීය නගරයේම නැවතිලා හිටියා. 15  පාවුල්ව ඇරලවන්න ගිය අය ඇතන්ස් වෙන කල්ම පාවුල් එක්ක ආවා. එයාලා සමුගන්න කලින් පාවුල් එයාලට කිව්වා පුළුවන් තරම් ඉක්මනට සීලස්වයි, තිමෝතිවයි+ එයා ළඟට එවන්න කියලා. 16  පාවුල් ඒ දෙන්නා එන කල් ඇතන්ස් නගරයට වෙලා බලාගෙන ඉද්දී නගරය දෙවිවරුන්ගේ රූපවලින් පිරිලා තියෙනවා එයා දැක්කා. ඒ ගැන එයාට ඇති වුණේ ලොකු පිළිකුලක්. 17  ඉතින් එයා සිනගෝගයේදී යුදෙව්වරුන්ටයි, දෙවියන්ට නමස්කාර කරපු අනිත් අයටයි ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් කළා. ඒ වගේම වෙළඳපොළේ ගැවසුණ අයටත් එයා හැම දවසකම ඒ දේවල් තර්කානුකූලව පැහැදිලි කරලා දුන්නා. 18  ඒත් එතන හිටපු එපිකියුරිය සහ ස්ටොයික දර්ශනවාදීන් කීපදෙනෙක් එයාත් එක්ක වාද කරන්න පටන්ගත්තා. එයාලා අතරේ හිටපු සමහරු මෙහෙම කතා වුණා. “මොනවාද මේ මිනිහා පිස්සුවෙන් වගේ දොඩවන්නේ?” තවත් සමහරු “පේන විදිහට එයා කතා කරන්නේ වෙනත් දෙවිවරු ගැන” කියලා කිව්වා. එයාලා එහෙම කිව්වේ පාවුල් එයාලට යේසුස් සහ නැවත නැඟිටීම ගැන ශුභාරංචිය කියපු නිසයි.+ 19  ඉතින් එයාලා පාවුල්ව ඇරියොපගස් කන්දට එක්කගෙන ගිහින් මෙහෙම ඇහුවා. “ඔයා මේ කියලා දෙන අලුත් ඉගැන්වීම ගැන අපිට තවත් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 20  ඔයා කියලා දෙන සමහර දේවල් හරිම අමුතුයි. ඒවා අපි කවදාවත් අහලා නෑ. ඒවා හරියටම තේරුම්ගන්න අපිට උදව් කරන්න.” 21  ඇතන්ස්වල පදිංචි වෙලා හිටපු අයත් එහේ නැවතිලා හිටපු විදේශිකයනුත් අලුත් දෙයක් ගැන කතා කරන්න එහෙමත් නැත්නම් ඒ වගේ දේකට ඇහුම්කන් දෙන්න පුරුදු වෙලා හිටියා. එයාලාගේ මුළු විවේක කාලයම එයාලා වැය කළේ ඒ වෙනුවෙන්. 22  පාවුල් ඇරියොපගස් කන්ද+ මැද හිටගෙන ඒ අයට මෙහෙම කිව්වා. “ඇතන්ස්වල පුරුෂයෙනි, අනිත් අයට වඩා ඔයාලට දෙවි දේවතාවන් ගැන ලොකු භක්තියක්* තියෙනවා* කියලා මට තේරෙනවා.+ ඔයාලා කරන හැම දේකින්ම ඒක පේනවා. 23  ඔයාලාගේ නගරේ ඇවිදගෙන යද්දී ඔයාලා නමස්කාර කරන දේවල් දිහා මං හොඳට බැලුවා. එතකොට ‘නාඳුනන දෙවි කෙනෙක්ට’ කියලා ලියලා තියෙන පූජාසනයක් මං දැක්කා. ඔයාලා අඳුරන්නේ නැති ඒ දෙවියන් ගැන තමයි මං ඔයාලට කියලා දෙන්නේ. 24  ලෝකයත් ඒකේ තියෙන හැම දේමත් හදපු දෙවියන් මිනිස්සු හදපු දේවස්ථානවල ජීවත් වෙන්නේ නැහැ.+ මොකද ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ඔහුයි.+ 25  ඔහුට කිසිම දේකින් අඩුවක් නැති නිසා ඔහුට මිනිස්සුන්ගේ ඇප උපස්ථාන ඕනෙත් නැහැ.+ මොකද හැම කෙනෙක්ටම ජීවිතයත් හුස්මත්+ අනිත් හැම දේමත් දෙන්නේ ඔහුයි. 26  ඔහු එක මිනිසෙක්ගෙන් හැම ජාතියක්ම බිහි කළා.+ එයාලා මුළු පොළොව පුරාම ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනෙ වුණේ.+ යම් දේවල් වෙන්න ඕනෙ කාලය ඔහු කලින්ම තීරණය කළා. ඔහු සීමා මායිම් දාලා මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ කොහෙද කියලත් තීරණය කළා.+ 27  දෙවියන් ඒ හැම දේම කළේ එයාලා ඔහුව හොයාගෙන ඔහුට ළං වෙනවා දකින්න ඔහු කැමති නිසයි. ඇත්තටම ගොඩක් මහන්සි වෙලා* ඔහුව හෙව්වොත් ඔහුට ළං වෙන්න අපිට පුළුවන් වෙයි.+ මොකද ඔහු අපෙන් දුරස් වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. 28  අපිට ජීවිතය ලැබිලා තියෙන්නෙත් අපි දිගටම ජීවත් වෙන්නෙත් හැම දේම අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඔහු නිසයි. ‘අපිත් ඔහුගේ දරුවෝ’ කියලා ඔයාලාගේ කවිකාරයොත් කියලා තියෙනවා. 29  “අපි දෙවියන්ගේ දරුවන්.+ එහෙමනම් මිනිස්සු හිතින් මවාගෙන ලස්සනට නිර්මාණය කරපු රූපයකට දෙවියන්ව සමාන කරන එක සුදුසුද? රන්, රිදී, ගල් යොදාගෙන හදපු රූපයකට ඔහුව සමාන කරන එක හරියි කියලා ඔයාලා හිතනවාද?+ 30  ඇත්ත, මිනිස්සු මේ වෙන කල් නොදැනුවත්කමින් කරපු ඒ දේවල්+ දෙවියන් ඉවසුවා. ඒත් දැන් ඔහු පොළොව පුරාම ඉන්න හැම කෙනෙක්ටම කියන්නේ පසුතැවිලි වෙන්න කියලයි. 31  මොකද පොළොවේ ඉන්න හැමෝවම සාධාරණව විනිශ්චය කරන්න+ ඔහු දවසක් නියම කරලා තියෙනවා. ඔහු ඒ විනිශ්චය කරන්නේ ඔහුම පත් කරපු මිනිසෙක් මාර්ගයෙන්. ඒ වගේම ඔහු ඒ මිනිසාව මරණයෙන් නැඟිට්ටවලා ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා හැමෝටම සහතිකයක් දුන්නා.”+ 32  මිය ගිය අයව නැවත නැඟිට්ටවනවා කියන දේ ගැන පාවුල් කතා කරද්දී සමහරු එයාට සමච්චල් කළා.+ ඒත් තවත් සමහරු “ඔයා කියපු ඒ දේ ගැන අපි වෙන වෙලාවක කතා කරමු” කියලා කිව්වා. 33  ඉතින් පාවුල් එතනින් ගියා. 34  ඒත් සමහරු එයාත් එක්ක එකතු වෙලා යේසුස්ගේ අනුගාමිකයන් වුණා. එයාලා අතරේ ඇරියොපගස් අධිකරණයේ විනිශ්චයකාරයෙක් වුණ දියොනිසියස්, දමරිස් කියන කාන්තාව සහ තව කීපදෙනෙකුත් හිටියා.

පාදසටහන්

පේන විදිහට ග්‍රීක භාෂාව කතා කරපු යුදෙව් නොවන අය.
හෝ, “අනිත් අයට වඩා ඔයාලා ආගමට ළැදි අය.”
මූ.අ., “බයක්.”
මූ.අ., “අත පත ගාමින්.”