යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා 18:1-28

  • පාවුල් කොරින්තියේදී කරපු සේවය (1-17)

  • ආයෙත් සිරියාවේ අන්තියෝකියට යයි (18-22)

  • පාවුල් ගලාතිය සහ ෆ්‍රිජියට යන්න පිටත් වෙයි (23)

  • දක්ෂ විදිහට කතා කරපු අපොලොස්ට උදව් ලැබෙයි (24-28)

18  ඊටපස්සේ පාවුල් ඇතන්ස්වලින් පිටත් වෙලා කොරින්තියට ගියා.  එහෙදී පාවුල්ට අකිලා+ කියලා යුදෙව්වෙක්වයි, එයාගේ බිරිඳ වුණ ප්‍රිසිලාවයි හම්බ වුණා. අකිලා පොන්තස් නගරයේ ඉපදුණ කෙනෙක්. ඒ දෙන්නා ඉතාලියේ ඉඳන් එහෙට ඇවිල්ලා වැඩි දවසක් ගත වෙලා තිබුණේ නැහැ. එයාලා ඉතාලියෙන් ආවේ ක්ලෝදියස් යුදෙව්වරු හැමෝටම රෝමයෙන් පිට වෙන්න කියලා අණ කරලා තිබුණ නිසයි. පාවුල් එයාලව හම්බ වෙන්න ගියා.  ඒ දෙන්නාත් පාවුල් වගේම රස්සාව විදිහට කළේ කූඩාරම් හදන එක. ඒ නිසා එයා ඒ දෙන්නාගේ ගෙදර නැවතිලා එයාලත් එක්ක එකතු වෙලා කූඩාරම් හැදුවා.+  පාවුල් හැම සබත් දවසකම+ සිනගෝගයට+ ගිහින් දේශනයක් ඉදිරිපත් කළා.* එයා දේවල් තර්කානුකූලව ඔප්පු කරලා පණිවිඩය ගැන විශ්වාසයක් ඇති කරගන්න යුදෙව්වරුන්ට වගේම ග්‍රීකවරුන්ටත් උදව් කළා.  ඔය අතරේ සීලස්+ සහ තිමෝති+ මැසිඩෝනියාවේ ඉඳන් කොරින්තියට ආවා. ඊටපස්සේ පාවුල් හරිම උද්‍යෝගයෙන් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න එයාගේ මුළු කාලයම යෙදෙව්වා. එයා පැහැදිලි සාක්ෂි පෙන්නලා යේසුස් කියන්නේ ක්‍රිස්තුස් කියලා යුදෙව්වන්ට ඔප්පු කළා.+  ඒත් එයාලා දිගින් දිගටම එයාට විරුද්ධ වුණා. එයාලා එයාට කතා කළේ හරිම පහත් විදිහට. ඒ නිසා එයා එයාගේ ඇඳුම ගසලා දාලා+ මෙහෙම කිව්වා. “ඔයාලාගේ ජීවිතවලට* වග කියන්න ඕනෙ ඔයාලමයි!+ මම නිදහස්.+ දැන් ඉඳන් මම පණිවිඩය අරන් යන්නේ වෙනත් ජාතීන් ළඟටයි.”+  ඉතින් එයා එතනින්* පිටත් වෙලා සිනගෝගයට එහා පැත්තෙන් තිබුණ තිතියස් ජස්ටස්ගේ ගෙදරට ගියා. එයා දෙවියන්ට නමස්කාර කරපු කෙනෙක්.  ඒත් සිනගෝගයේ නායකයා වුණ ක්‍රිස්පස්+ සහ එයාගේ ගෙදර ඉන්න හැමෝම ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගෙන අනුගාමිකයෝ වුණා. ශුභාරංචියට ඇහුම්කන් දුන්න කොරින්තියේ හිටපු හුඟදෙනෙකුත් විශ්වාසයක් ඇති කරගත්තා. එයාලත් බව්තීස්ම වුණා.  මේ අතරේ එක රෑක ස්වාමීන් පාවුල්ට දර්ශනයකින් මෙහෙම කිව්වා. “කිසි දේකට බය වෙන්න එපා. උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම නිර්භීතව දේශනා කරන්න. 10  මොකද මම ඔයාත් එක්කම ඉන්නවා.+ කවුරුත් ඔයාට පහර දෙන්නෙවත් ඔයාට අනතුරක් කරන්නෙවත් නැහැ. මේ නගරේ මට එකතු වෙන්න තවත් ගොඩක් අය ඉන්නවා.” 11  ඉතින් එයා අවුරුදු එකහමාරක් එහේ නැවතිලා දෙවියන්ගේ වචනය එහේ හිටපු අයට කියලා දුන්නා. 12  ගලියෝ, ඇකේයා පළාතේ ආණ්ඩුකාරයා* විදිහට ඉද්දී යුදෙව්වරු හැමෝම එකතු වෙලා පාවුල්ව අල්ලගෙන එයාව විනිශ්චයාසනය ඉස්සරහට අරන් ගියා. 13  එයාලා මෙහෙම කිව්වා. “මේ මනුස්සයා දෙවියන්ට නමස්කාර කරන්න කියලා මිනිස්සුන්ට කියන්නේ නීතිය කඩ වෙන විදිහට.” 14  පාවුල් කතා කරන්න හදද්දීම ගලියෝ යුදෙව්වරුන්ට මෙහෙම කිව්වා. “යුදෙව්වරුනි, මේ මනුස්සයා වරදක් හරි දරුණු අපරාධයක් හරි කරලා තියෙනවා නම් මම ඔයාලා කියන දේ ඉවසීමෙන් අහගෙන ඉන්නවා. 15  ඒත් මේ ප්‍රශ්නේ වචන ගැන, මිනිස්සුන්ගේ නම් ගැන නැත්නම් ඔයාලාගේ නීතිය+ ගැන නම් ඒක ඔයාලම විසඳගන්න. ඒකට මැදිහත් වෙන්න මං කැමති නැහැ.” 16  එහෙම කිව්වාට පස්සේ එයා විනිශ්චයාසනය ඉස්සරහින් එයාලව පන්නලා දැම්මා. 17  ඉතින් එයාලා හැමෝම එකතු වෙලා සිනගෝගයේ නායකයා වුණ සොස්තනේස්ව+ අල්ලගෙන විනිශ්චයාසනය ඉස්සරහම එයාට හොඳටම ගැහුවා. ඒත් ගලියෝ ඒකට මැදිහත් වෙන්න ගියේ නැහැ. 18  පාවුල් තවත් දවස් ගාණක්ම එහේ නැවතිලා හිටියා. ඊටපස්සේ එයා සහෝදරයන්ගෙන් සමු අරන් ප්‍රිසිලා සහ අකිලා එක්ක සිරියාවට යන්න නැවකට නැග්ගා. සෙන්ක්‍රෙයායවලදී+ පාවුල් එයාගේ කොණ්ඩේ කොටට කැපුවා. එයා එහෙම කළේ දෙවියන්ට භාරයක් වෙලා හිටපු නිසයි. 19  එයාලා එෆීසයට ආවාම පාවුල් ඒ දෙන්නාව නගරයේ නවත්තලා එහේ තිබුණ සිනගෝගයට ගියා. එයා එහෙදී යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පැහැදිලි කළා.+ 20  තව ටික කාලයක් එහේ නැවතිලා ඉන්න කියලා එයාලා පාවුල්ගෙන් ඉල්ලුවත් එයා එහෙන් යන්න තීරණය කළා. 21  එයාලාගෙන් සමුගන්න කලින් එයා මෙහෙම කිව්වා. “යෙහෝවා* කැමති නම් මට ආයෙත් ඔයාලා ළඟට එන්න පුළුවන් වෙයි.” ඉතින් එයා නැවකට නැඟලා එෆීසයේ ඉඳන්, 22  සිසේරියට ගියා. එතන ඉඳන් එයා සභාවේ* අයව හම්බ වෙන්න ගිහින් ඊටපස්සේ අන්තියෝකියට ගියා.+ 23  එයා එහේ ටික දවසක් නැවතිලා ඉඳලා එතන ඉඳන් ගලාතිය සහ ෆ්‍රිජිය+ ප්‍රදේශ හරහා තැනින් තැනට ගියා. එහෙම ගිහින් ඒ තැන්වල හිටපු ගෝලයන්ව ශක්තිමත් කළා.+ 24  ඔය අතරේ අපොලොස්+ කියලා යුදෙව්වෙක් එෆීසයට ආවා. එයා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉපදුණ කෙනෙක්. දක්ෂ විදිහට කතා කරන්න හැකියාව තිබුණ එයාට ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් තිබුණා. 25  ඒ වෙනකොට යෙහෝවාගේ* මාර්ගය ගැන එයාට උගන්වලයි තිබුණේ. එයා දෙවියන්ගේ බලයේ උදව්වෙන් ගොඩක් උද්‍යෝගයෙන් වැඩ කරපු, අනිත් අයට යේසුස් ගැන නිවැරදි තොරතුරු උගන්වපු කෙනෙක්. ඒත් එයා දැනගෙන හිටියේ යොහන් කරපු බව්තීස්මය ගැන විතරයි. 26  එයා සිනගෝගයේදී නිර්භීතව කතා කළා. ප්‍රිසිලාටයි, අකිලාටයි+ එයා කියපු දේවල් ඇහුණාම එයාලා අපොලොස්ව එක්කන් ගිහින් දෙවියන්ගේ මාර්ගය ගැන තවත් නිවැරදිව තේරුම්ගන්න එයාට උදව් කළා. 27  අපොලොස් ඇකේයාවට යන්න කැමැත්තෙන් හිටපු නිසා එයාව ආදරෙන් පිළිගන්න කියලා එෆීසයේ සහෝදරයෝ එහේ හිටපු ගෝලයන්ට ලිපියකින් දැන්නුවා. අපොලොස් එහෙට ගිහින් දෙවියන්ගේ මහත් කරුණාව නිසා විශ්වාසයක් ඇති කරගෙන හිටපු අයට ගොඩක් උදව් කළා. 28  මොකද එයා හරිම උද්‍යෝගයෙන් යේසුස් ඇත්තටම ක්‍රිස්තුස් කියලා ශුද්ධ ලියවිල්ලෙන් ඔප්පු කරලා+ හැමෝම ඉස්සරහා යුදෙව්වරුන් වැරදියි කියලා පෙන්නුවා.

පාදසටහන්

හෝ, “එහේ හිටපු අයට තර්කානුකූලව දේවල් පැහැදිලි කළා.”
මූ.අ., “ඔයාලාගේ ලේවලට.”
ඒ කියන්නේ සිනගෝගයෙන්.
එක පළාතක් අධීක්ෂණය කරපු රෝම පාලකයෙක්. “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
පේන විදිහට යෙරුසලමේ තිබුණ සභාවේ.
උප. A5 බලන්න.