යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා 21:1-40

  • යෙරුසලමට යන අතරමඟ (1-14)

  • යෙරුසලමට යයි (15-19)

  • පාවුල් වැඩිමහල්ලන් දුන්න උපදෙස් පිළිපදියි (20-26)

  • දේවමාලිගාවේදී කෝලහලයක් ඇති වෙයි; පාවුල්ව අත්අඩංගුවට ගනියි (27-36)

  • සෙනඟට කතා කරන්න පාවුල්ට අවසර ලැබෙයි (37-40)

21  අකමැත්තෙන් වුණත් අපි එයාලාගෙන් සමු අරන් නැවට නැග්ගා. එතනින් අපි කෙළින්ම ගියේ කොස් දූපතට. පහුවෙනිදා අපි රෝඩ්ස් දූපතට ගිහින් එතනින් පටාරාවලටත් ගියා.  එහෙදී අපිට හම්බ වුණා ෆිනීෂියාවට යන නැවක්. අපි ඒකට නැඟලා එහෙන් පිටත් වෙලා  සයිප්‍රස් දූපතට ළං වුණා. ඒ දූපත තිබුණේ අපේ වම් පැත්තෙන්.* අපි ඒක පහු කරගෙන සිරියාවට ගිහින් තීර්වලදී නැවතුණා. එහෙදී තමයි නැවේ බඩු ගොඩ බාන්න තිබුණේ.  අපි එහේ ඉන්න ගෝලයන්ව හොයාගෙන දවස් හතක් එහේ නතර වෙලා හිටියා. එයාලා කීප සැරයක්ම පාවුල්ට කිව්වා යෙරුසලමට යන්න එපා කියලා.+ එයාලා එහෙම කිව්වේ දෙවියන්ගේ බලයෙන් එයාලට දැනගන්න ලැබුණ සමහර දේවල් නිසයි.  පිටත් වෙලා යන දවසේදී අපිව ඇරලවන්න ස්ත්‍රීන් සහ දරුවන් ඇතුළු එහේ හිටපු හැමෝම වගේ නගරයෙන් එළියට ආවා. අපි හැමෝම වෙරළේ දණගහගෙන යාච්ඤා කළාට පස්සේ,  අපි එයාලාගෙන් සමු අරන් නැවට නැග්ගා. එයාලත් එයාලාගේ ගෙවල්වලට ගියා.  අපි තීර් ඉඳන් ටොලමැයිසයට ඇවිත් එහේ සහෝදරයන්ව හම්බ වෙලා එයාලා එක්ක දවසක් නැවතිලා හිටියා.  පහුවෙනිදා අපි එහෙන් පිටත් වෙලා සිසේරියට ආවා. එහෙදී අපි නවාතැන් ගත්තේ හුඟක් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු ෆිලිප්ගේ ගෙදර. එයා කෑම බෙදන්න පත් කරපු පුරුෂයන් හත්දෙනාගෙන් කෙනෙක්.+  එයාට අනාවැකි කියන අවිවාහක දුවලා හතරදෙනෙක් හිටියා.+ 10  අපි දවස් ගාණක් එහේ නැවතිලා ඉද්දී අගබස්+ කියන අනාගතවක්තෘවරයා යුදයේ ඉඳන් එහෙට ආවා. 11  එයා අපිව හම්බ වෙන්න ඇවිත් පාවුල්ගේ ඉණපටිය අරන් එයාගෙම අත පය ඒකෙන් බැඳගෙන මෙහෙම කිව්වා. “දෙවියන්ගේ බලය මෙහෙම දැනුම් දෙනවා. ‘යුදෙව්වරු මේ ඉණපටිය අයිති කෙනාව යෙරුසලමේදී මේ විදිහට බැඳලා+ වෙනත් ජාතීන්ට භාර දෙයි.’”+ 12  ඒක ඇහුණාම අපියි, එතන හිටපු අයයි යෙරුසලමට යන්න එපා කියලා පාවුල්ට ආයේ ආයේ කිව්වා. 13  ඒත් පාවුල් මෙහෙම කිව්වා. “ඔයාලා මෙහෙම අඬඅඬ හිටියොත් මාත් අධෛර්යය වෙයි.* යෙරුසලමේදී විලංගු දාපු හිරකාරයෙක් වෙන්න විතරක් නෙමෙයි ස්වාමීන් වන යේසුස්ගේ නම වෙනුවෙන් මැරෙන්න වුණත් මං ලෑස්තියි.”+ 14  පාවුල් ගත්ත තීරණය වෙනස් කරන්න බැහැ කියලා තේරුණාම අපි පාවුල්ට බල කරන එක නැවැත්තුවා.* අපි එයාට කිව්වා “යෙහෝවා* කැමති දේ ඒ විදිහටම වෙන්න ඕනෙ” කියලා. 15  ඒකෙන් පස්සේ අපි ගමනට සූදානම් වෙලා යෙරුසලමට යන්න පිටත් වුණා. 16  සිසේරියේ හිටිය ගෝලයන් කීපදෙනෙකුත් අපි එක්ක ආවා. එයාලා අපිව එක්කන් ගියේ නාසන් කියන කෙනාගේ ගෙදරට. සයිප්‍රස් දූපතෙන් ආපු ඒ කෙනා මුල්ම ගෝලයන්ගෙන් කෙනෙක්. අපිට නවාතැන් ලෑස්ති කරලා තිබුණේ එයාගේ ගෙදර. 17  අපි යෙරුසලමට ආවාම සහෝදරයෝ අපිව හරිම ආදරෙන් පිළිගත්තා. 18  පහුවෙනිදා පාවුල් අපිවත් එක්කගෙන යාකොබ්ව හම්බ වෙන්න ගියා.+ අනිත් හැම වැඩිමහල්ලෙක්මත් එතන හිටියා. 19  පාවුල් එයාලට සුබ පැතුවාට පස්සේ එයා සේවය කරද්දී දෙවියන් වෙනත් ජාතීන් අතරේ කරපු හැම දෙයක් ගැනම එයාලට කිව්වා. 20  එයා කියපු දේවල් ඇහුවාට පස්සේ එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා. ඒත් ඊටපස්සේ එයාලා පාවුල්ට මෙහෙම කිව්වා. “සහෝදර පාවුල්, යුදෙව්වන් දහස් ගාණක් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවානේ. එයාලා හැමෝම නීතියට* ගොඩක් ළැදි අය.+ 21  ඒත් මෝසෙස්ගේ නීතියට විරුද්ධ දේවල් කරන්න කියලා ඔයා වෙනත් ජාතීන් අතරේ ඉන්න යුදෙව්වන්ට උගන්නනවා කියලා එයාලට ආරංචි වෙලා තියෙනවා. එයාලාගේ දරුවන්ව චර්මච්ඡේදනය කරන්න එපා, නීතියේ තියෙන වත්පිළිවෙත් පිළිපදින්න ඕනෙ නැහැ වගේ දේවල් ඔයා උගන්නනවා කියලයි එයාලට ආරංචි වෙලා තියෙන්නේ.+ 22  ඉතින් දැන් අපි ඒකට මොකද කරන්නේ? ඔයා ඇවිත් ඉන්නවා කියලා එයාලට අනිවාර්යයෙන්ම ආරංචි වෙයි. 23  අපි කැමතියි ඔයාට යෝජනාවක් දෙන්න. දෙවියන්ට භාරයක් වෙලා ඉන්න මිනිස්සු හතරදෙනෙක් ඉන්නවා. 24  එයාලා එක්ක ගිහින් නීතියේ කියලා තියෙන විදිහට පවිත්‍ර වෙන්න. එයාලාගේ හිස බූ ගාන්න යන මුදල ඔයා ගෙවන්න. එතකොට හැමෝම තේරුම්ගනියි ඔයා ගැන පැතිරිලා තියෙන කටකතා බොරුයි කියලා. ඔයා නීතියට අනුව වැඩ කරන යහපත් කෙනෙක් කියලත් එයාලා තේරුම්ගනියි.+ 25  අපි දැනටමත් වෙනත් ජාතීන් අතරේ ඉන්න අනුගාමිකයන්ට ලියුමක් ලියලා අපේ තීරණය දන්වලයි තියෙන්නේ. අපි එයාලට කිව්වා රූපවලට පූජා කරලා තියෙන දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකලා මරපු* සත්තුන්ගේ මස් කන එකෙන්+ සහ ලිංගික දුරාචාරයෙන්*+ දිගටම වැළකිලා ඉන්න ඕනෙ කියලා.” 26  පහුවෙනිදා පාවුල් ඒ මිනිස්සු එක්ක ගිහින් නීතියේ කියන විදිහට පවිත්‍ර වුණා.+ ඊටපස්සේ එයා දේවමාලිගාවට ගිහින් පවිත්‍ර වීමේ දවස් ඉවර වෙන්නේ කවදාද කියලත් ඒ එක් එක් කෙනා වෙනුවෙන් පූජාව ඔප්පු කරන්න ඕනෙ කවදාද කියලත් දැනුම් දුන්නා. 27  පවිත්‍ර වීමේ දවස් හත ඉවර වේගන එද්දී ආසියාවෙන් ආපු යුදෙව්වරු පාවුල් දේවමාලිගාවේ ඉන්නවා දැක්කා. එයාලා මුළු සෙනඟවම උසිගන්වලා පාවුල්වත් අල්ලගෙන, 28  කෑගගහා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, අපේ උදව්වට එන්න! මේ මිනිහා තමයි හැම තැනටම ගිහින් අපේ ජාතියටත් අපේ නීතියටත් ශුද්ධස්ථානයටත් විරුද්ධව බොරු දේවල් උගන්නන්නේ. ඒ මදිවට එයා ග්‍රීකවරුන්වත් දේවමාලිගාවට එක්කන් ඇවිත් මේ ශුද්ධස්ථානය අපවිත්‍ර කරනවා.”+ 29  එයාලා එහෙම කිව්වේ කලින් අවස්ථාවක පාවුල් එෆීසයේ වැසියෙක් වුණ ත්‍රොෆිමස්+ එක්ක නුවරේ ඉන්නවා එයාලා දැක්ක නිසයි. එයාලා හිතුවේ පාවුල් එයාව දේවමාලිගාව ඇතුළට එක්කන් ගියා කියලා. 30  නුවරේ ඉන්න හැමෝටම හොඳටම කේන්ති ගිහින් එයාලා කෝලහලයක් ඇති කළා. මිනිස්සු දුවගෙන ඇවිත් පාවුල්ව දේවමාලිගාවෙන් එළියට ඇදගෙන ගියා. ඒත් එක්කම දේවමාලිගාවේ දොරවල් වහලා දැම්මා. 31  සෙනඟ එයාව මරන්න හදද්දී යෙරුසලමේ ලොකු කලබලයක් ඇති වෙලා කියලා හමුදාපතිට ආරංචි වුණා. 32  එයා ඉක්මනටම හේවායෝ පිරිසකුයි, හමුදා නිලධාරීන් කීපදෙනෙකුයි එක්ක කෝලහලය තිබුණ තැනට දුවගෙන ගියා. එයාලව දැක්ක ගමන්ම සෙනඟ පාවුල්ට ගහන එක නතර කළා. 33  හමුදාපති එතනට ගිහින් පාවුල්ව අත්අඩංගුවට අරන් දම්වැල් දෙකකින් එයාව බඳින්න කියලා අණ කළා.+ ඊටපස්සේ එයා ඇහුවා පාවුල් කවුද, එයා මොනවාද කරලා තියෙන්නේ කියලා. 34  ඒත් සෙනඟ අතරේ හිටපු අය එක එක දේවල් කියකිය කෑගහන්න පටන්ගත්තා. ඒ නිසා හමුදාපතිට හරි විස්තරයක් දැනගන්න බැරි වුණා. ඉතින් එයා කිව්වා පාවුල්ව හමුදා කඳවුරට අරන් එන්න කියලා. 35  ඒත් පාවුල් පඩි පෙළ නැඟගෙන යද්දී සෙනඟ හරිම දරුණු විදිහට එයාට හිරිහැර කරන්න හදපු නිසා එයාව උස්සගෙන යන්න හේවායන්ට සිද්ධ වුණා. 36  මොකද කට්ටියක් එයාගේ පස්සෙන්ම ඇවිත් “මේ මිනිහාව මරලා දාන්න” කියලා කෑගැහුවා. 37  පාවුල්ව හමුදා කඳවුර ඇතුළට අරන් යද්දී එයා හමුදාපතිගෙන් ඇහුවා “ඔබට දෙයක් කියන්න මට අවසර දෙනවාද” කියලා. එතකොට හමුදාපති එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට ග්‍රීක භාෂාව කතා කරන්නත් පුළුවන්ද? 38  ඔයා නේද ටික කාලෙකට කලින් කැරැල්ලක් ඇති කරලා මැරයන්* 4,000ක් එක්ක පාළුකරයට ගිය ඊජිප්තු ජාතිකයා?” 39  එතකොට පාවුල් මෙහෙම කිව්වා. “නැහැ, මම යුදෙව්වෙක්.+ මම ආවේ සිලීසියාවේ තියෙන ටාසස්+ කියන නගරේ ඉඳන්. මම ඒ වැදගත් නගරේ පුරවැසියෙක්. ඉතින් මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ සෙනඟට කතා කරන්න මට අවසර දෙන්න කියලයි.” 40  හමුදාපති එයාට අවසර දුන්නා. එතකොට පාවුල් පඩි පෙළ උඩ හිටගෙන සෙනඟට අතින් සංඥාවක් කළා. සෙනඟ නිශ්ශබ්ද වුණාම පාවුල් හෙබ්‍රෙව් භාෂාවෙන්+ එයාලට කතා කරලා මෙහෙම කිව්වා.

පාදසටහන්

හෝ, “වරාය පැත්තෙන්.”
මූ.අ., “මගේ අධිෂ්ඨානය දුර්වල වෙයි.”
මූ.අ., “අපි නිහඬ වුණා.”
උප. A5 බලන්න.
ඒ කියන්නේ මෝසෙස්ගේ නීතියට.
හෝ, “මරද්දී ලේ අයින් කරපු නැති.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “කිනිසිකාරයෝ.”