කොලොස්සිවරුන්ට 1:1-29

  • සුබ පැතුම් (1, 2)

  • කොලොස්සිවරුන්ගේ විශ්වාසය ගැන දෙවියන්ට ස්තුති කරයි (3-8)

  • දෙවියන් එක්ක බැඳීම වැඩි කරගන්න උදව් කරන්න කියලා යාච්ඤා කරයි (9-12)

  • ක්‍රිස්තුස්ගේ ප්‍රධාන කාර්යය (13-23)

  • සභාව වෙනුවෙන් පාවුල් මහන්සි වෙලා කරන සේවය (24-29)

1  මේ ලියුම ඔයාලට ලියන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙක්* විදිහට සේවය කරන පාවුල් වන මම සහ අපේ සහෝදර තිමෝති.+  මේක ලියන්නේ කොලොස්සිවල ඉන්න ශුද්ධ තැනැත්තන්ට, ඒ කියන්නේ ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න, විශ්වාසවන්ත සහෝදරයන් වන ඔයාලා හැමෝටම. අපේ තාත්තා වන දෙවියන්ගෙන් ඔයාලට මහත් කරුණාවත්* සමාදානයත් ලැබෙන්න කියලා මං පතනවා.  අපි ඔයාලා වෙනුවෙන් යාච්ඤා කරන හැම වෙලාවකම අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තාත්තා වන දෙවියන්ට ස්තුති කරනවා.  අපි ඔහුට ස්තුති කරන්නේ ක්‍රිස්තුස් යේසුස් ගැන ඔයාලට තියෙන විශ්වාසය ගැනත් ශුද්ධ තැනැත්තන් ගැන ඔයාලට තියෙන ආදරේ ගැනත් අපිට ආරංචි වුණ නිසයි.  ඔයාලාගේ හිත්වල ඒ වගේ විශ්වාසයක්, ආදරයක් තියෙන්නේ ස්වර්ගයේ ඔයාලට වෙන් කරලා තියෙන ආශීර්වාද ගැන ඔයාලට තියෙන බලාපොරොත්තුව+ නිසයි. ඔයාලා ඒ බලාපොරොත්තුව ගැන මුලින්ම දැනගත්තේ සත්‍ය පණිවිඩය, ඒ කියන්නේ ශුභාරංචිය ගැන ඔයාලට අහන්න ලැබුණ වෙලාවෙයි.  ඒ ශුභාරංචිය දැන් ලෝකේ පුරාම පැතිරෙනවා. ඒක නිසා හුඟක් හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා.+ දෙවියන්ගේ මහත් කරුණාව මොන වගේද කියලා හරියටම අද්දැකලා ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාගත්ත දවසේ ඉඳන් ඒ හොඳ ප්‍රතිඵල ඔයාලා අතරෙත් දකින්න තියෙනවා.  දෙවියන්ගේ ඒ කරුණාව ගැන ඔයාලා දැනගත්තේ අපේ ආදරණීය සහෝදරයා වන එපෆ්‍රස්ගෙන්.+ එයා අපි වෙනුවෙන් සේවය කරන ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත දාසයෙක්.  දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඔයාලා පෙන්නන ආදරේ ගැන එයා අපිට කියලා තියෙනවා.  ඔයාලාගේ ආදරය සහ විශ්වාසය ගැන අපිට ආරංචි වුණ දවසේ ඉඳන් අපි අත්හරින්නේ නැතුව දිගටම ඔයාලා වෙනුවෙන් යාච්ඤා කරන්නේ ඒ නිසයි.+ ඒ වගේම දෙවියන්ගේ කැමැත්ත ගැන නිවැරදි දැනුම කිසිම අඩුවක් නැතුව ඔයාලට ලබා දෙන්න කියලා අපි දිගටම දෙවියන්ගෙන් ඉල්ලනවා.+ ඒත් එක්කම දෙවියන්ගේ බලයේ උදව්වෙන් ලැබෙන අවබෝධය සහ ප්‍රඥාව කිසිම අඩුවක් නැතුව+ ඔයාලට ලැබෙන්න කියලත් අපි ඉල්ලනවා. 10  එතකොට හැම දේකදීම යෙහෝවාව* සතුටු කරන්න තියෙන ආසාව නිසා ඔහුට නමස්කාර කරන අයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න ඔයාලා පෙලඹෙයි. ඒ වගේම හැම පැත්තකින්ම යහපත් දේවල් කරලා හොඳ ප්‍රතිඵල ලබන්නත් දෙවියන් ගැන නිවැරදි දැනුම තව තවත් වැඩි කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි.+ 11  දෙවියන්ගේ පුදුමාකාර බලය මාර්ගයෙන් හැම දෙයක්ම කරන්න ඕන කරන ශක්තිය+ ඔයාලට ලැබෙන්න කියලත් අපි යාච්ඤා කරනවා. එතකොට ඔයාලාගේ සතුට, ඉවසිලිවන්තකම නැති කරගන්නේ නැතුව හැම දෙයක්ම සාර්ථකව විඳදරාගන්න ඔයාලට පුළුවන් වෙයි. 12  විඳදරාගන්න අතරේ අපේ තාත්තා වන දෙවියන්ට ස්තුති කරන්න ඔයාලට පුළුවන් වෙන්න කියලත් අපි යාච්ඤා කරනවා. මොකද ආලෝකයේ ගමන් කරන ශුද්ධ තැනැත්තන්ට ලැබෙන උරුමයට හවුල්කරුවන් වෙන්න+ අවශ්‍ය සුදුසුකම් ලබාගන්න ඔයාලට උදව් කළේ ඔහුයි. 13  දෙවියන් අපිව අන්ධකාරයේ ග්‍රහණයෙන්+ නිදහස් කරලා ඔහුගේ ආදරණීය පුතාගේ රාජ්‍යයට අරගෙන ආවා. 14  ඔහුගේ පුතා අපි වෙනුවෙන් වන්දියක් ගෙවලා අපිව නිදහස් කළා. ඒ නිසයි අපේ පව්වලට සමාව ලැබිලා තියෙන්නේ.+ 15  නොපෙනෙන දෙවියන්ගේ ගතිලක්ෂණ හැම එකක්ම ඒ විදිහටම ඔහුගෙන් දැකගන්න පුළුවන්.+ දෙවියන්ගේ මුල්ම නිර්මාණය ඔහුයි.*+ 16  මොකද ස්වර්ගයේ සහ පොළොවේ තියෙන අනිත් හැම දෙයක්ම නිර්මාණය කරන්න දෙවියන් හවුල් කරගත්තේ ඔහුවයි. ඒ කියන්නේ රාජකීය නිලතල, බලතල, පාලන ක්‍රම සහ අධිකාරීන් ඇතුළු පෙනෙන, නොපෙනෙන හැම දෙයක්ම+ දෙවියන් නිර්මාණය කළේ ඔහුව එකතු කරගෙනයි.+ ඒවා නිර්මාණය කළෙත් ඔහු වෙනුවෙන්මයි. 17  අනිත් හැම දෙයක්ම හදන්න කලින් ඔහු හිටියා.+ දෙවියන් අනිත් හැම දෙයක්ම හැදුවෙත් ඔහුව හවුල් කරගෙන. 18  ඒ වගේම සභාව කියන ශරීරයේ හිස ඔහුයි.+ හැම දෙයක්ම පටන්ගන්නේ ඔහුගෙන්. මුලින්ම මරණයෙන් නැඟිට්ටෙව්වෙත් ඔහුවයි.+ එහෙම බලද්දී ඔහු තමයි හැම දේකම පළවෙනියා. 19  දෙවියන් එහෙම වෙන්න සැලැස්සුවේ ඔහුගේ පුතා හැම අතින්ම සම්පූර්ණ වෙනවා දකින්න ඔහුට ඕනෙ වුණ නිසයි.*+ 20  ඒ වගේම ක්‍රිස්තුස් මාර්ගයෙන් පොළොවේ සහ ස්වර්ගයේ තියෙන අනිත් හැම දේකටම තමන් එක්ක සමාදාන වෙන්න අවස්ථාවක් දෙන්නත්+ ඔහුට ඕනෙ වුණා. ඒ අවස්ථාව ලැබුණේ ක්‍රිස්තුස් වධකණුවේ* වගුරුවපු රුධිරය මාර්ගයෙන්.+ 21  ඇත්තටම ඔයාලා කාලයක් දෙවියන්ගෙන් ඈත් වෙලා ඔහුගේ සතුරන් වෙලා හිටියා. ඒ, ඔයාලාගේ හිත් දුෂ්ට දේවල්වලට යොමු වෙලා තිබුණ නිසා. 22  ඒත් දෙවියන් දැන් තමන් එක්ක සමාදාන වෙන්න ඔයාලට අවස්ථාවක් දීලා තියෙනවා. ක්‍රිස්තුස් මිය ගිහින් මිනිසෙක් විදිහට තමන් ගත කරපු ජීවිතය පරිත්‍යාග කළා. ක්‍රිස්තුස් පරිත්‍යාග කරපු ශරීරය මාර්ගයෙන් තමයි දෙවියන් තමන් එක්ක සමාදාන වෙන්න ඔයාලට අවස්ථාව දුන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් දෙවියන් ඉස්සරහා ශුද්ධ, නිකැළැල් සහ නිදොස් අය විදිහට ඉන්න.+ 23  ඒත් එහෙම ඉන්න නම් ඔයාලා දිගටම ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න ඕනේ.+ ඒ වගේම ඔයාලට තියෙන බලාපොරොත්තුව නැති කරගන්නේ නැතුව ඔයාලාගේ විශ්වාසයට පදනම් වෙන අත්තිවාරම+ මත ස්ථිරව රැඳිලා ඉන්න ඕනේ.+ ඒ බලාපොරොත්තුව ගැන ඔයාලට දැනගන්න ලැබුණේ මුළු පොළොව පුරාම දේශනා කරපු ශුභාරංචිය මාර්ගයෙන්.+ පාවුල් වන මාවත් දේවසේවකයෙක් විදිහට පත් කළේ ඒ ශුභාරංචිය ගැන දේශනා කරන්නයි.+ 24  ඔයාලා වෙනුවෙන් මට දුක් විඳින්න වුණත් මං ඒ ගැන සතුටු වෙනවා.+ ඒත් ක්‍රිස්තුස්ගේ ශරීරයේ, ඒ කියන්නේ ඔහුගේ සභාවේ+ සාමාජිකයෙක් විදිහට ක්‍රිස්තුස් වෙනුවෙන් විඳින්න ඕනෙ හැම දුකක්ම මං තවමත් අද්දැකලා නැහැ.+ 25  මං සභාව වෙනුවෙන් සේවය කරන්න පටන්ගත්තේ දෙවියන් විශ්වාසයෙන් ඒ වගකීම මට භාර දුන්න නිසයි.+ දෙවියන් ඒක මට භාර දුන්නේ ඔයාලාගේ ප්‍රයෝජනය වෙනුවෙන්. දෙවියන්ගේ පණිවිඩය දේශනා කරන එක වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම මං කරන්නේ ඒ නිසයි. 26  පහුගිය කාලවලදී* පරම්පරා ගාණකට හෙළි කරපු නැති+ පරිශුද්ධ රහස+ ගැන තමයි මං දේශනා කළේ. ඒත් දැන් ඒක දෙවියන්ගේ ශුද්ධ තැනැත්තන්ට හෙළි කරලා තියෙනවා.+ 27  ඔව්, ජාතීන් අතරේ ඉන්න ශුද්ධ තැනැත්තන්ට පරිශුද්ධ රහස ගැන දැනුම් දෙන්න දෙවියන් සතුටු වුණා. ඇත්තටම ඒ පරිශුද්ධ රහසට පුදුමාකාර වස්තු ඇතුළත් වෙනවා.+ ඒ පරිශුද්ධ රහස තමයි ක්‍රිස්තුස් ඔයාලා එක්ක එකට බැඳිලා ඉන්නවා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් එක්ක තේජසට පත් වෙන්න ඔයාලට බලාපොරොත්තුවක් තියෙනවා කියන එකයි.+ 28  හැමෝටම අපි දැනුම් දෙන්නේ ඔහු ගැනයි. අපි සැබෑ ප්‍රඥාව පාවිච්චි කරලා හැමෝටම ඔහු ගැන උගන්වනවා. උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙනවා. අපි එහෙම කරන්නේ ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න හැම කෙනෙක්ටම, දෙවියන් ඉස්සරහා හැම අතින්ම සම්පූර්ණ අය වෙන්න උදව් කරන්නයි.+ 29  ඒ වෙනුවෙන් තමයි මං මේ තරම් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නේ. මං ඒක කරන්නේ මං තුළ ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙන දෙවියන්ගේ බලයේ උදව්වෙන්.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
මූ.අ., “නිර්මාණය කරපු හැම දේකම කුලුඳුලා ඔහුයි.”
හෝ, “තමන්ගේ හැම ගතිලක්ෂණයක්ම තමන්ගේ පුතා තුළ තියෙනවා දකින්න ඔහුට ඕනෙ වුණ නිසයි.”
මූ.අ., “පහුගිය සමාජ ක්‍රමවලදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.