ගණන් කතාව 36:1-13

  • උරුමය ලැබුණ දුවලට විවාහය ගැන දුන්න නීතිය (1-13)

36  ගිලියද්වරුන්ගේ පවුල්වල ප්‍රධානීන් මෝසෙස්ව සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන්ව හම්බ වෙන්න ආවා. ගිලියද්වරු කියන්නේ යෝසෙප්ගේ පුතා වුණ මනස්සේගේ පුත් මාකීර්ගෙන් පැවතෙන අය.+  එයාලා මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, යෙහෝවා ඔයාට කිව්වා දාදු දාලා ඊශ්‍රායෙල් සෙනඟට දේශයේ ඉඩම් බෙදලා දෙන්න කියලා.+ අපේ සහෝදරයා වන ෂෙලොපෙහාද්ගේ උරුමය එයාගේ දුවලට දෙන්න කියලත් යෙහෝවා කිව්වා.+  ඒත් එයාගේ දුවලා වෙනත් ගෝත්‍රයකට අයිති අය එක්ක විවාහ වුණොත් එයාලාගේ උරුමය ඒ ගෝත්‍රයට අයිති වෙයි. එතකොට දාදු දාලා අපේ ගෝත්‍රයට ලැබුණ උරුමයෙන් කොටසක් අඩු වෙනවා.  නිදහස ලැබෙන අවුරුද්දේදී*+ එයාලාගේ උරුමය අනිවාර්යයෙන්ම එයාලා විවාහ වුණ පුරුෂයන්ගේ ගෝත්‍රයට අයිති වෙනවා. එතකොට අපේ ගෝත්‍රයට ආයෙත් ඒ උරුමය ලැබෙන්නේ නැහැ.”  යෙහෝවා දෙවියන් ඒ ගැන කිව්ව දේ මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට දැනුම් දුන්නා. එයා මෙහෙම කිව්වා. “යෝසෙප්ගේ පුතාලා කියන දේ හරි.  යෙහෝවා ඒ ගැන මෙහෙම කිව්වා. ‘ෂෙලොපෙහාද්ගේ දුවලට පුළුවන් එයාලට කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න. ඒත් ඒ කෙනා එයාලාගෙම ගෝත්‍රයට අයිති කෙනෙක් වෙන්න ඕනේ.  එක එක ගෝත්‍රයට ලැබෙන උරුමය ඒ ගෝත්‍රයේම අය අතරේ තියෙන්න ඕනේ. එයාලට ලැබුණ උරුමය වෙනත් ගෝත්‍රයකට දෙන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර නැහැ.  කාන්තාවකට තාත්තාගේ උරුමය ලැබුණොත් එයා විවාහ වෙන්න ඕනෙ එයාගේ තාත්තාගේ ගෝත්‍රයේ කෙනෙක් එක්කයි.+ එතකොට හැම ඊශ්‍රායෙල් ජාතිකයෙක්ටම පුළුවන් තාත්තාගෙන් ලැබෙන උරුමය එයා ළඟම තියාගන්න.  එක එක ගෝත්‍රයට ලැබෙන උරුමය ඒ ගෝත්‍රයේම අය අතරේ තියෙන්න ඕනේ. එයාලට ලැබුණ උරුමය වෙනත් ගෝත්‍රයකට දෙන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර නැහැ.’” 10  ෂෙලොපෙහාද්ගේ දුවලා යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් කියපු විදිහටම කළා.+ 11  මාලාහ්, තිර්ෂා, හොග්ලා, මිල්කා සහ නෝවා කියන ෂෙලොපෙහාද්ගේ+ දුවලා එයාලාගේ තාත්තාගේ සහෝදරයන්ගේ පුතාලා එක්ක විවාහ වුණා. 12  එයාලාගේ පුරුෂයන් යෝසෙප්ගේ පුතා වුණ මනස්සේගෙන් පැවත ආපු පවුල්වල අය. ඒ නිසා ෂෙලොපෙහාද්ගේ දුවලාගේ උරුමය වෙන ගෝත්‍රයකට අයිති වුණේ නැහැ. 13  යෙරිකෝවට+ මුහුණ ලා, යොර්දාන් ගඟ ළඟ තියෙන මෝවබ් පාළුකරයේදී යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීති සහ තීන්දු ඒවායි.

පාදසටහන්

හෝ, “ජුබිලි අවුරුද්දේදී.”