ගලාතිවරුන්ට 2:1-21

  • නියෝජිතයන්ව මුණ ගැහෙන්න පාවුල් යෙරුසලමට යයි (1-10)

  • පාවුල් පේතෘස්ව (සීෆස්ව) නිවැරදි කරයි (11-14)

  • ධර්මිෂ්ඨ අය විදිහට පිළිගන්නේ විශ්වාසයක් තියෙන අයව විතරයි (15-21)

2  අවුරුදු 14කට පස්සේ මම බානබස්+ එක්ක ආයෙත් යෙරුසලමට ගියා. මම තීතස්වත් එහෙට එක්කන් ගියා.+  මං එහෙට ගියේ යේසුස් මට යම් දෙයක් එළිදරව් කරපු නිසයි. එහෙදී, හැමෝගෙම ගෞරවය දිනාගෙන හිටපු සහෝදරයන්ව මං හම්බ වෙන්න ගිහින් වෙනත් ජාතීන්වල අයට මං කියපු ශුභාරංචිය ගැන එයාලට කිව්වා. මං ඒ ගැන කතා කළේ එයාලා එක්ක විතරයි. මොකද මං ඒ වෙන කල් කරපු සහ දැන් කරන සේවය නිෂ්ඵල එකක් නෙමෙයි කියලා ස්ථිර කරගන්න මට ඕනෙ වුණා.  මාත් එක්ක හිටපු තීතස්+ ග්‍රීක ජාතිකයෙක් වුණත් චර්මච්ඡේදනය වෙන්න කියලා එතන හිටපු කවුරුත් එයාට බල කළේ නැහැ.+  ඒත් අපිට ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න වුණේ සහෝදරයන් විදිහට බොරුවට මවාපාන අයගෙන් ආපු බලපෑම් නිසයි. හොර රහසේ තමයි එයාලව සභාවට ගෙන්නගෙන තිබුණේ.+ එයාලා සභාවට රිංගගත්තේ ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න අපි අද්දකින නිදහස ගැන තොරතුරු දැනගන්න ඕනෙ නිසයි.+ එයාලා හැදුවේ අපිව සම්පූර්ණයෙන්ම ආයෙත් නීතියට වහල් කරලා තියාගන්න.+  ඒත් අපි එක මොහොතකටවත්* එයාලාගේ බලපෑමට අහු වුණේ නැහැ.+ මොකද අපිට ඕනෙ වුණේ ශුභාරංචිය මාර්ගයෙන් දැනගත්ත සත්‍යයන්වලට එකඟව ඔයාලා දිගටම ජීවත් වෙනවා දකින්නයි.  ඒත් හැමෝගෙම ගෞරවය දිනාගෙන හිටපු, හුඟක් වැදගත් අය විදිහට සලකපු+ ඒ සහෝදරයන්ගෙන් මට අලුත් මඟ පෙන්වීමක් ලැබුණේ නැහැ. ඇත්තටම, කලින් එයාලට මොන වගේ පිළිගැනීමක් තිබුණාද කියන එක මට වැදගත් නැහැ. මොකද දෙවියන් මිනිස්සුන්ව විනිශ්චය කරන්නේ එයාලා දිහා පිටින් බලලා නෙමෙයි.  චර්මච්ඡේදනය වුණ අයට ශුභාරංචිය දැනුම් දෙන කාර්යය පේතෘස්ට භාර දුන්නා වගේ චර්මච්ඡේදනය වුණේ නැති අයට+ ශුභාරංචිය දැනුම් දෙන එක භාර දීලා තිබුණේ මටයි කියලා එයාලා තේරුම්ගත්තා.  චර්මච්ඡේදනය වුණ අය අතරට ගිහින් නියෝජිතයෙක් විදිහට වැඩ කරන වගකීම පේතෘස්ට භාර දුන්නේ දෙවියන්. ඔහුම තමයි වෙනත් ජාතීන් අතරට ගිහින් සේවය කරන වගකීම මටත් භාර දුන්නේ.+  ඒ වගේම මට දෙවියන්ගේ මහත් කරුණාව ලැබිලා තියෙනවා+ කියලා සභාවේ කණු වගේ හිටිය යාකොබ්,+ සීෆස්* සහ යොහන් තේරුම්ගත්තා. ඒ නිසා එයාලා මටයි, බානබස්ටයි+ අතට අත දීලා අපිව හවුල් වැඩකරුවන් විදිහට පිළිගත්තා. ඉතින් අපි වෙනත් ජාතීන් ළඟට යනවා කියලත් එයාලා චර්මච්ඡේදනය වුණ අය ළඟට යනවා කියලත් අපි තීරණයකට ආවා. 10  එයාලා අපෙන් ඉල්ලුවේ එක දෙයක් විතරයි. ඒ, දුප්පත් අය ගැන සැලකිලිමත් වෙන්න කියලා. මාත් ලොකු උනන්දුවකින් ඒ දේ කරන්න වෑයම් කරනවා.+ 11  ඒත් සීෆස්+ අන්තියෝකියට+ ආවාම එයාගේ අතින් වරදක් වුණා කියලා හොඳටම දැක්ක නිසා මම එයාට කෙළින්ම ඒ ගැන කතා කළා. 12  මොකද එයා මුලින් වෙනත් ජාතීන්වල අය එක්ක එකට කෑම කෑවා.+ ඒත් යාකොබ්+ එවපු පුරුෂයන් කීපදෙනෙක් එහෙට ආවාට පස්සේ එයා වෙනත් ජාතීන්වල අය එක්ක කෑම කන එක නවත්තලා එයාලාගෙන් ඈත් වෙලා හිටියා. එයා එහෙම කළේ චර්මච්ඡේදනය වුණ අයට බයෙන් හිටපු නිසයි.+ 13  අනිත් යුදෙව්වොත් එයාත් එක්ක එකතු වෙලා බොරු රඟපෑමක් කළා.* බානබසුත් එයාලට එකතු වුණා. 14  එයාලා ශුභාරංචිය මාර්ගයෙන් දැනගත්ත සත්‍යයන්වලට එකඟව ජීවත් වෙන්නේ නැහැ කියලා දැක්කාම+ මම එයාලා හැමෝම ඉස්සරහා සීෆස්ට මෙහෙම කිව්වා. “ඔයා යුදෙව්වෙක් වුණත් ඔයා යුදෙව් චාරිත්‍ර පිළිපදින්නේ නැහැ. ඔයා ජීවත් වෙන්නේ වෙනත් ජාතීන්වල මිනිස්සු ජීවත් වෙන විදිහට. ඉතින් ඇයි ඔයා වෙනත් ජාතීන්වල අයට යුදෙව් චාරිත්‍ර පිළිපදින්න කියලා බල කරන්නේ?”+ 15  අපි වෙනත් ජාතීන් අතරේ ඉන්න පව්කාරයන් වගේ නෙමෙයි. අපි උපතින්ම යුදෙව්වෝ. 16  ඒත් අපි තේරුම්ගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි කෙනෙක්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට පිළිගන්නේ එයා යේසුස් ක්‍රිස්තුස්+ ගැන විශ්වාසය තිබ්බොත් විතරයි+ කියන දේ. එහෙම නැතුව නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපැද්දා කියලා කාවවත් ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට පිළිගන්නේ නැහැ. ඒ නිසයි අපි ක්‍රිස්තුස් යේසුස් ගැන විශ්වාසය තියලා තියෙන්නේ. එතකොට දෙවියන් අපිව ධර්මිෂ්ඨ අය විදිහට පිළිගනියි. ඒ, අපි නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපැද්ද නිසා නෙමෙයි ක්‍රිස්තුස් ගැන විශ්වාසය තිබ්බ නිසයි. මොකද නීතිය පිළිපැද්දා කියලා කිසිම කෙනෙක්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට පිළිගන්නේ නැහැ.+ 17  අපි ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියලා, ධර්මිෂ්ඨ අය විදිහට දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න උත්සාහ කරනවා. එහෙම කරන අපිවත් නීතියට විරුද්ධව වැඩ කරන පව්කාරයන් විදිහට හඳුන්වනවා. ඒකෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් අපිට පව් කරන්න දිරිගන්වනවා කියන එකද? කොහොමටවත් නැහැ! 18  ඒත් මං කලින් කඩලා දාපු දේවල්ම ආයෙත් ගොඩනඟනවා නම් ඒකෙන් ඔප්පු වෙන්නේ මං වැරදිකාරයෙක් කියලා. 19  මං නීතිය පිළිගත්ත නිසා* මං නීතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා.*+ ඒ නිසා මට දැන් දෙවියන් වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. 20  ඇත්තටම ක්‍රිස්තුස් එක්ක මාවත් වධකණුවේ ඇණ ගහලා කියලා කියන්න පුළුවන්.+ ඒ නිසා තවදුරටත් ජීවත් වෙන්නේ මං නෙමෙයි+ මාත් එක්ක එකට බැඳිලා ඉන්න ක්‍රිස්තුස්. මං දැන් මගේ ජීවිතේ ගත කරන්නේ, මට ආදරේ කරලා මං වෙනුවෙන් ජීවිතය දුන්න+ දෙවියන්ගේ පුතා ගැන මට තියෙන විශ්වාසයට එකඟවයි.+ 21  දෙවියන් පෙන්නපු මහත් කරුණාව මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.+ මොකද කෙනෙක්ව ධර්මිෂ්ඨයෙක් විදිහට පිළිගන්නේ එයා නීතිය පිළිපදින නිසා නම් ක්‍රිස්තුස්ගේ මරණයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ.+

පාදසටහන්

මූ.අ., “පැයකටවත්.”
පේතෘස් කියලත් හඳුන්වනවා.
හෝ, “එයාගේ කුහකකමට හවුල් වුණා.”
හෝ, “නීතියේ උදව්වෙන්.”
මූ.අ., “නීතිය පැත්තෙන් බලද්දී මං මැරිලා.”