ගලාතිවරුන්ට 3:1-29

  • නීතිය පිළිපදින එක සහ විශ්වාසය (1-14)

    • ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ විශ්වාසය නිසයි (11)

  • ආබ්‍රහම්ට පොරොන්දු වුණ දේ ලැබෙන්නේ නීතිය පිළිපදින එකෙන් නෙමෙයි (15-18)

    • ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනා, ක්‍රිස්තුස් (16)

  • නීතිය හඳුන්වලා දුන්න විදිහ සහ ඒක දුන්න හේතුව (19-25)

  • විශ්වාස කරන නිසා දෙවියන්ගේ පුතාලා වෙයි (26-29)

    • ආබ්‍රහම්ගෙන් පැවතෙන අය අයිති ක්‍රිස්තුස්ට (29)

3  ගලාතිවරුනි, ඇයි ඔයාලා මෙච්චර මෝඩ විදිහට වැඩ කරන්නේ? වධකණුවක එල්ලපු යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය ගැන අපි ඔයාලට පැහැදිලිවම තේරුම් කරලා දීලයි තිබුණේ.+ ඒත් ඔයාලව මේ වගේ කපටි විදිහට රැවැට්ටුවේ කවුද?+  මං ඔයාලාගෙන් දෙයක් අහන්න කැමතියි. ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණේ ඔයාලා නීතියේ තියෙන දේවල් කරපු නිසාද නැත්නම් ශුභාරංචියට ඇහුම්කන් දීලා විශ්වාසයක් ඇති කරගත්ත නිසාද?+  ඔයාලට ඔච්චරටම තේරෙන්නේ නැද්ද? ඔයාලා මේ ගමන පටන්ගත්තේ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කරලා. ඒත් දැන් ඔයාලා මේ ගමන ඉවර කරන්න හදන්නේ මිනිස්සු හිතන විදිහට හිතලද?+  ඔයාලා මොන තරම් දුක් වින්දාද! ඒ හැම දෙයක්ම වින්දේ කිසිම හේතුවක් නැතුවද? ඒක එහෙම නෙමෙයි කියලා මට විශ්වාසයි.  ටිකක් හිතලා බලන්න. දෙවියන් ඔහුගේ බලය ඔයාලට දෙන්නෙත් ඔයාලා අතරේ බලවත් දේවල් කරන්නෙත්+ ඔයාලා නීතියේ තියෙන දේවල් කරන නිසාද? එහෙම නැත්නම් ඔයාලා ශුභාරංචියට ඇහුම්කන් දීලා විශ්වාසයක් ඇති කරගත්ත නිසාද?  ආබ්‍රහම් ගැන හිතන්න. එයා “යෙහෝවා* ගැන විශ්වාසය තිබ්බා. ඒ නිසයි එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවේ.”+  එහෙමනම් ආබ්‍රහම්ගේ පුතාලා+ වෙන්නේ දිගටම විශ්වාසයක් ඇතුව ජීවත් වෙන අයයි. ඔයාලා ඒක හොඳටම දන්නවා.  වෙනත් ජාතීන්වල අය ඇති කරගන්න විශ්වාසය පදනම් කරගෙන, දෙවියන් එයාලව ධර්මිෂ්ඨ අය විදිහට පිළිගන්නවා කියන දේ ශුද්ධ ලියවිල්ලේ කල්තියාම කියලා තිබුණා. ඒ ශුභාරංචිය කලින්ම ආබ්‍රහම්ට දැනුම් දුන්නේ මේ විදිහටයි. “ඔයා නිසා හැම ජාතියකටම ආශීර්වාද ලැබෙනවා.”+  ඉතින් විශ්වාසයක් ඇති කරගෙන හිටිය ආබ්‍රහම්ට ආශීර්වාද ලැබුණා වගේ දැනුත් විශ්වාසයක් ඇතුව ජීවත් වෙන හැමෝටම ආශීර්වාද ලැබෙනවා.+ 10  නීතියේ තියෙන දේවල් පිළිපදින එක විතරක් ඇති කියලා විශ්වාස කරන අයට ශාප වෙයි. මොකද නීතියේම කියනවා “නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්නේ නැති හැම කෙනෙක්ටම ශාප වේවා” කියලා.+ 11  ඒ වගේම කෙනෙක් නීතියේ තියෙන දේවල් කළා කියලා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට පිළිගන්නේ නැහැ+ කියන දේ හොඳටම පැහැදිලියි. මොකද “ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ ඔහුගේ විශ්වාසය නිසයි.”+ 12  ඒත් නීතිය පිළිපදින කෙනෙක්ට විශ්වාසය ඕනෙ වෙන්නේ නැහැ. මොකද “කෙනෙක් ඒ දේවල් පිළිපදිනවා නම් ඒකෙන් ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනවා” කියලා ලියලා තියෙනවා.+ 13  නීතිය නිසා ඇති වුණ ශාපයෙන් අපිව නිදහස් කළේ+ ක්‍රිස්තුස්. ඔහු එහෙම කළේ අපිව මිල දීලා අරන්+ අපි පිට තියෙන ශාපය ඔහු පිටට අරගෙනයි. “කණුවක එල්ලන හැම කෙනෙක්ම ශාප ලබපු කෙනෙක්”+ කියලා ලියලා තියෙන්නේ ඒ නිසයි. 14  එහෙම වුණේ ආබ්‍රහම්ට පොරොන්දු වුණ ආශීර්වාදය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් හැම ජාතියකටම ලබා දෙන්න ඕනෙ නිසයි.+ ඒ නිසා අපේ විශ්වාසය පදනම් කරගෙන, පොරොන්දු වෙලා තිබුණ දෙවියන්ගේ බලය ලබාගන්න අපිට අවස්ථාව ලැබුණා.+ 15  සහෝදරයෙනි, ඕනෙම කෙනෙක් හොඳින් දන්න උදාහරණයක් මං කියන්න කැමතියි. සාමාන්‍යයෙන් දෙන්නෙක් ගිවිසුමක් ඇති කරගත්තාට පස්සේ ඒ ගිවිසුම අවලංගු කරන්නවත් ඒකට අමතර කොන්දේසි එකතු කරන්නවත් කාටවත් බැහැ. ඒ ගිවිසුම වලංගු කළේ මිනිසෙක් වුණත් එහෙම කරන්න කාටවත් බැහැ. 16  දැන් දෙවියන් දුන්න පොරොන්දුව ගැන හිතන්න. ඔහු ඒක දුන්නේ ආබ්‍රහම්ටයි, එයාගෙන් පැවතෙන කෙනාටයි.+ ඒ වෙලාවේ “ඔයාගෙන් පැවතෙන අය” කියලා දෙවියන් කිව්වේ නැහැ. ගොඩක් අය ගැන කියනවා වෙනුවට ඔහු කිව්වේ “ඔයාගෙන් පැවතෙන කෙනා” කියලා. ඒ කෙනා තමයි ක්‍රිස්තුස්.+ 17  ඒ පොරොන්දුව දීලා අවුරුදු 430කට පස්සේ තමයි නීතිය හඳුන්වලා දුන්නේ.+ ඒත් ඒ නීතියෙන් දෙවියන් කලින් ඇති කරගත්ත ගිවිසුම අහෝසි වෙන්නෙවත් ඔහු දුන්න පොරොන්දුව අවලංගු වෙන්නෙවත් නැහැ. 18  ඒත් හිතන්න දෙවියන් දෙන උරුමය ලබාගන්න නීතිය පිළිපදින්න අවශ්‍ය වෙනවා කියලා. එහෙම වුණා නම් ඒක පොරොන්දුවක් නිසා ලැබෙන දෙයක් විදිහට තවදුරටත් ගණන් ගන්න බැහැ. ඇත්තටම දෙවියන් ඒ උරුමය ආබ්‍රහම්ට ලබා දුන්නේ කරුණාවෙන් පෙලඹිලා දුන්න පොරොන්දුවක් මාර්ගයෙන්.+ 19  එහෙනම් නීතිය හඳුන්වලා දුන්නේ ඇයි? පැවතෙන කෙනා, ඒ කියන්නේ දෙවියන් පොරොන්දු වුණ කෙනා* එන කල්+ මිනිස්සුන්ට එයාලා කරන වැරදි පෙන්නලා දෙන්නයි ඒක හඳුන්වලා දුන්නේ.+ දෙවියන් ඒ නීතිය දේවදූතයන්ට දීලා+ මැදිහත්කරුවෙක් මාර්ගයෙන් ඒක මිනිස්සුන්ට දුන්නා.+ 20  ඒත් ආබ්‍රහම්ට දුන්න පොරොන්දුවට නම් මැදිහත්කරුවෙක් ඕනෙ වුණේ නැහැ. මොකද පොරොන්දුව දුන්නේ එක් කෙනෙක්. ඒ තමයි දෙවියන්. ඉතින් ඒක ඉටු කරන වගකීම තියෙන්නේ ඔහුට විතරයි. 21  ඒකෙන් අදහස් කරන්නේ නීතිය දෙවියන් දුන්න පොරොන්දුවලට විරුද්ධව යනවා කියලද? කොහොමටවත් නැහැ! මොකද ජීවනය ලබා දෙන්න පුළුවන් නීතියක් මිනිස්සුන්ට දීලා තිබුණා නම් කෙනෙක්ට නීතිය පිළිපැදලා දෙවියන් ඉස්සරහා ධර්මිෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්. 22  ඒත් ශුද්ධ ලියවිල්ලෙන් පැහැදිලි වුණා මිනිස්සුන්ව වහලුන් විදිහට පාපයට භාර දුන්නා කියලා. එයාලව පාපයට භාර දුන්නේ පොරොන්දු වුණ යහපත් දේවල් විශ්වාසයක් තියෙන අයට අද්දකින්න පුළුවන් වෙන්නයි. ඒ දේවල් අද්දකින්න ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන අයට විතරයි. 23  ඒත් යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න කලින්* අපිව වහලුන් විදිහට නීතියට භාර දීලයි තිබුණේ. නීතිය අපිව මුරකරුවෙක් වගේ ආරක්ෂා කළා. ඒ කාලේ අපි බලාගෙන හිටියේ දෙවියන් හෙළි කරන්න යන දේ එන කල්.+ 24  ඉතින් නීතිය අපිව ක්‍රිස්තුස් ළඟට අරන් යන භාරකරුවෙක්* වගේ වුණා.+ ඒ නිසා ක්‍රිස්තුස් ගැන අපිට තියෙන විශ්වාසය පදනම් කරගෙන අපිව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරන්න දෙවියන්ට පුළුවන් වෙලා තියෙනවා.+ 25  ඒත් දැන් අපි යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගෙන තියෙන නිසා*+ අපිට තවදුරටත් භාරකරුවෙක්* අවශ්‍ය වෙන්නේ නැහැ.+ 26  ඇත්තටම ක්‍රිස්තුස් යේසුස්ව විශ්වාස කරන නිසා+ ඔයාලා හැමෝම දැන් දෙවියන්ගේ පුතාලා.+ 27  බව්තීස්ම වෙලා ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න ඔයාලා හැමෝම දැන් ක්‍රිස්තුස්ව අනුකරණය කරනවා.*+ 28  කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් කෙනෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ කියන එක වැදගත් වෙන්නේ නැහැ. මොකද ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න නිසා ඔයාලා හැමෝම එක පුද්ගලයෙක් වගේ එක්සත්ව ඉන්නවා.+ 29  ඒ වගේම ඔයාලා ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔයාලා ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ එයාට දුන්න පොරොන්දුවට+ ඔයාලත් උරුමක්කරුවෝ+ වෙනවා.

පාදසටහන්

උප. A5 බලන්න.
මූ.අ., “පොරොන්දුව ලබපු කෙනා.”
මූ.අ., “විශ්වාසය එන්න කලින්.”
හෝ, “උපදේශකයෙක්.”
මූ.අ., “ඒත් විශ්වාසය ඇවිත් ඉන්න නිසා.”
හෝ, “උපදේශකයෙක්.”
මූ.අ., “පැලඳගෙන ඉන්නවා.”