ගලාතිවරුන්ට 5:1-26

  • ක්‍රිස්තියානීන් අද්දකින නිදහස (1-15)

  • දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන එක (16-26)

    • වැරදි ආශාවන්වලට යටත් වෙලා ඉන්න කෙනෙක් වැඩ කරන විදිහ (19-21)

    • දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග (22, 23)

5  ඒ වගේ නිදහසක් අපිට ලබා දෙන්නයි ක්‍රිස්තුස් අපිව නිදහස් කළේ. ඒ නිසා ඒ නිදහස නැති කරගන්නේ නැතුව ස්ථිරව ඉන්න.+ ආයෙත් නීතිය කියන වියගහට දාසයන් වෙන්න එපා.+  පාවුල් වන මං කියන මේ දේ දැන් අහන්න. ඔයාලා චර්මච්ඡේදනය වුණොත් ක්‍රිස්තුස් ඔයාලා වෙනුවෙන් කරපු කිසිම දේකින් ඔයාලට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.+  චර්මච්ඡේදනය වෙන හැම කෙනෙක්ටම මම ආයෙත් මේ දේ කියනවා. ඔයාලා චර්මච්ඡේදනය වුණොත් ඒකෙන් අදහස් කරන්නේ නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්න ඔයාලා බැඳිලා ඉන්නවා කියන එකයි.+  නීතිය පිළිපැදලා ධර්මිෂ්ඨ අය වෙන්න හදන නිසා ඔයාලා ක්‍රිස්තුස්ගෙන් ඈත් වෙලා.+ ඇත්තටම ඔයාලා කරන්නේ ඔහුගේ මහත් කරුණාව ප්‍රතික්ෂේප කරන එකයි.  ඒත් අපිට දෙවියන්ගේ බලය ලැබිලා තියෙන නිසා අපි දැන් ලොකු ආසාවකින් බලන් ඉන්නේ දෙවියන් අපිව හැම අතින්ම ධර්මිෂ්ඨ අය විදිහට පිළිගන්න කල්. දෙවියන් අපිව ඒ විදිහට පිළිගන්නේ අපේ විශ්වාසය පදනම් කරගෙනයි.  ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න අයට චර්මච්ඡේදනය වෙනවාද නැද්ද කියන එක වැදගත් නැහැ.+ වැදගත් වෙන්නේ විශ්වාසයයි. ඒ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න කෙනෙක්ව පොලඹවන්නේ ආදරයයි.  මේ වෙන කල් ඔයාලා ගොඩක් හොඳට ධාවන තරඟයේ යෙදුණා.+ ඒත් දිගටම සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වෙලා ඉන්න ඔයාලට බාධාවක් වුණේ කවුද?  එහෙම කරන්න ඔයාලව පෙලඹුවේ ඔයාලව තෝරගත්ත තැනැත්තා නම් නෙමෙයි.  මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙනවා කියන දේ මතක තියාගන්න.+ 10  ඒත් ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්න ඔයාලා,+ මං කියපු දේවල්වලට එකඟ වෙයි කියලා මට විශ්වාසයි. කවුරු හරි කෙනෙක් ඔයාලා අතරේ ප්‍රශ්න ඇති කරන්න හදනවා.+ එයා කවුරු වුණත් එයාට ලැබෙන්න ඕනෙ දඬුවම අනිවාර්යයෙන්ම ලැබෙනවා. 11  සහෝදරයෙනි, මං තාමත් චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියලා උගන්වනවා නම් ඇයි මට තාමත් පීඩා විඳින්න වෙලා තියෙන්නේ? මං තාමත් එහෙම කරනවා නම් මං ක්‍රිස්තුස්ගේ වධකණුව* ගැන ඉගැන්නුවා කියලා විරුද්ධවාදීන්+ මාත් එක්ක කේන්ති ගනියිද?* 12  ඔයාලාගේ මනස අවුල් කරන්න හදන අය එයාලාගේ ලිංගික අවයව සම්පූර්ණයෙන්ම කපලා අයින් කරගන්න එක ඊට වඩා හොඳයි.* 13  සහෝදරයෙනි, ඔයාලව තෝරගත්තේ නිදහස් අය විදිහට ඉන්නයි. ඒත් ඒ නිදහස ඔයාලාගේ වැරදි ආශාවන් ඉටු කරගන්න පාවිච්චි කරන්න එපා.+ ඒ වෙනුවට ආදරෙන් පෙලඹිලා එකිනෙකා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා සේවය කරන්න.+ 14  මොකද නීතියේ තියෙන හැම දේම පදනම් වෙන්නේ* “ඔයා ඔයාට ආදරේ කරනවා වගේ ඔයාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න”+ කියන ආඥාව මත. 15  ඒත් පරෙස්සම් වෙන්න. ඔයාලා දිගටම එකිනෙකා එක්ක රණ්ඩු වෙලා එකිනෙකාව රිද්දනවා නම්*+ අන්තිමට වෙන්නේ ඔයාලා හැමෝම එකිනෙකාව නැති කරලා දාන එකයි.+ 16  මං ඔයාලට කියන්නේ දිගටම දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන්න කියලයි.+ එතකොට ඔයාලාගේ වැරදි ආශාවන්ට ඔයාලා කොහොමටවත් යටත් වෙන්නේ නැහැ.+ 17  මොකද වැරදි ආශාවන් දෙවියන්ගේ බලයට විරුද්ධවත් දෙවියන්ගේ බලය අපේ වැරදි ආශාවන්වලට විරුද්ධවත් වැඩ කරනවා. ඒ දෙකම එකිනෙකට විරුද්ධයි. ඒ නිසයි සමහර වෙලාවට දෙයක් කරන්න කැමති වුණත් ඔයාලට ඒ දේ කරන්න බැරි වෙන්නේ.+ 18  ඒත් ඔයාලා දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට යටත් වෙනවා නම් ඔයාලා නීතියට යටත් නැහැ. 19  වැරදි ආශාවන්වලට යටත් වෙලා ඉන්න කෙනෙක්ව එයා වැඩ කරන විදිහෙන් ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ලිංගික දුරාචාරයේ* යෙදෙන එක,+ අපවිත්‍ර දේවල් කරන එක, කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන එක,*+ 20  රූපවලට නමස්කාර කරන එක, භූතවාදයට* සම්බන්ධ දේවල් කරන එක,+ හතුරුකම් කරන එක, රණ්ඩුවලට පැටලෙන එක, ඊර්ෂ්‍යා කරන එක, ඉක්මනින් කේන්ති ගන්න එක, ආරවුල් ඇති කරගන්න එක, භේද ඇති කරන එක, නිකායන් හදාගන්න එක, 21  අනිත් අයට තියෙන දේ අයිති කරගන්න හදන එක, බේබදුකමට වැටෙන එක,+ ඝෝෂාකාරී උත්සවවලට* යන එක සහ ඒ වගේ තවත් දේවල්+ එහෙම කෙනෙක්ගේ ජීවිතේ දකින්න තියෙනවා. මීට කලින් මං ඔයාලට ඒ දේවල් ගැන අනතුරු අඟවපු විදිහටම මං දැනුත් ඔයාලට අනතුරු අඟවනවා. ඒ වගේ දේවල් දිගටම කරන අයට දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ.+ 22  අනිත් අතට කෙනෙක් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ආදරය, සතුට, සමාදානය, ඉවසිලිවන්තකම,* කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය, 23  මෘදුකම, තමන්වම පාලනය කරගැනීම+ වගේ ගුණාංග* එයාගේ ජීවිතෙන් දකින්න පුළුවන්. ඒ වගේ දේවල් වැරදියි කියලා කිසිම නීතියක කියන්නේ නැහැ. 24  ඒ වගේම ක්‍රිස්තුස් යේසුස්ට අයිති අය එයාලාගේ වැරදි ආශාවන් සහ ඒ ආශාවන් එක්ක එන තදබල හැඟීම් වධකණුවේ තියලා ඇණ ගහලයි තියෙන්නේ.*+ 25  අපි දැන් දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා නම් අපි දිගටම එහෙම කරන්න උත්සාහ කරමු.+ 26  අපි ගැනම මහ ඉහළින් හිතන්නේ නැතුව ඉමු.+ ඒ වගේම එකිනෙකා අතරේ තරඟයක් ඇති කරගන්නවත්+ අනිත් අයගේ දේවල් අයිති කරගන්නවත් හදන්නේ නැතුව ඉමු.

පාදසටහන්

හෝ, “බාධාවට පත් වෙයිද?”
එහෙම කළොත් අනිත් අයට පිළිපදින්න කියලා එයාලා කියන නීතිය පිළිපදින්න එයාලටම බැරි වෙනවා.
හෝ සමහරවිට, “මේ ආඥාවෙන් සාරාංශ කරන්න පුළුවන්.”
මූ.අ., “එකිනෙකාව හපා කාලා, ගිලලා දානවා නම්.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන එක.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ භූතයන්ව හවුල් කරගෙන කරන ඕනෙම දෙයක්. මේ ග්‍රීක වචනයේ තේරුමට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකත් ඇතුළත් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ කිසිම පාලනයක් නැතුව හරිම පහත් දේවල් කරන සාදයන්.
හෝ, “බොහෝ ඉවසිලිවන්තකම.”
මූ.අ., “පල.”
හෝ, “නැත්තටම නැති කරලයි තියෙන්නේ.”