ගලාතිවරුන්ට 6:1-18

  • ප්‍රශ්න දරාගන්න එකිනෙකාට උදව් කරන්න (1-10)

    • වපුරන දේ නෙළාගන්නවා (7, 8)

  • චර්මච්ඡේදනය වැදගත් නැහැ (11-16)

    • අලුත් නිර්මාණයක් (15)

  • අවසන් වදන් (17, 18)

6  සහෝදරයෙනි, කෙනෙක් දන්නෙම නැතුව වැරදි පියවරක් ගන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කරන* ඔයාලා ඒ කෙනාව නිවැරදි කරන්න උත්සාහ කරන්න. ඔයාලා ඒක කරන්න ඕනෙ ආදරෙන්.*+ ඒත් එහෙම කරද්දී ඔයාලා ගැනත් සෝදිසියෙන් ඉන්න.+ මොකද ඔයාලත් වරදක් කරන්න පෙලඹෙන්න පුළුවන්.+  අමාරු ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන අයට ඒවා දරාගන්න දිගටම උදව් කරන්න.+ එහෙම කරද්දී ඔයාලා කරන්නේ ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන එකයි.+  කවුරු හරි හිතනවා නම් එයා හරිම වැදගත් කෙනෙක් කියලා+ එයා කරන්නේ එයාවම රවට්ටගන්න එක. මොකද එයාට එහෙම හිතන්න කිසිම හේතුවක් නැහැ.  ඒ වෙනුවට හැම කෙනෙක්ම තම තමන් කරන දේවල් ගැන හිතලා බලන්න ඕනේ.+ එතකොට එයාලට පුළුවන් තමන් කරලා තියෙන දේවල් ගැන විතරක් හිතලා සතුටු වෙන්න. තමන් කරපු දේවල් අනිත් අය කරපු දේවල් එක්ක සන්සන්දනය කරන්න අවශ්‍ය නැහැ.+  මොකද හැම කෙනෙක්ම තමන්ට පැවරිලා තියෙන වගකීම ඉටු කරන්න ඕනේ.*+  ඒ වගේම දෙවියන්ගේ පණිවිඩය ගැන ඉගෙනගන්න කෙනෙක්, එයාට උගන්වන කෙනා එක්ක හැම හොඳ දෙයක්ම බෙදාගන්න ඕනේ.+  රැවටෙන්න එපා. මොකද දෙවියන්ව රවට්ටන්න* කාටවත් බැහැ. කෙනෙක් යම් දෙයක් වපුරනවා නම් එයාට නෙළාගන්න වෙන්නෙත් ඒ දේමයි.+  වැරදි ආශාවන් තෘප්තිමත් කරගන්න අදහසින් වපුරන කෙනාට නෙළාගන්න වෙන්නේ විනාශයයි.* ඒත් දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට අනුව වපුරන කෙනාට ඒ බලයේ උදව්වෙන්ම සදාකාල ජීවනය නෙළාගන්න පුළුවන් වෙනවා.+  ඉතින් උත්සාහය අත්හරින්නේ නැතුව අපි දිගටම යහපත් දේ කරමු. මොකද අපි විඩාවට පත් වෙන්නේ නැත්නම්* නියමිත කාලේදී ප්‍රතිඵල නෙළාගන්න අපිට පුළුවන් වෙයි.+ 10  එහෙමනම් අපිට අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම හැමෝටම යහපත් දේවල් කරමු. අපි විශේෂයෙන්ම යහපත් දේවල් කරන්න ඕනෙ අපේම පවුලේ අය වගේ ඉන්න සත්‍යය පිළිගත්ත අපේ සහෝදර සහෝදරියන්ටයි. 11  මගේම අත්අකුරෙන් ලියන මේ ලියුමේ අකුරු කොච්චර ලොකුද කියලා බලන්න. 12  මිනිස්සු හිතන විදිහට හිතලා අනිත් අයව සතුටු කරන්න හදන* අය තමයි චර්මච්ඡේදනය වෙන්න කියලා ඔයාලට බල කරන්නේ. එයාලා එහෙම කරන්නේ ක්‍රිස්තුස්ගේ වධකණුව* ගැන දේශනා කරන අය විදිහට පීඩා විඳින්න අකමැති නිසයි. 13  චර්මච්ඡේදනය වෙන අයත් නීතිය පිළිපදින්නේ නැහැ.+ ඇත්තටම එයාලා ඔයාලට චර්මච්ඡේදනය වෙන්න කියන්නේ ඔයාලා* ගැන පුරසාරම් දොඩන්න එයාලට ඕනෙ නිසයි. 14  ඒත් වධකණුවේ* මිය ගිය අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන මිසක් වෙන කිසි දෙයක් ගැන පුරසාරම් දොඩන්න මං කැමති නැහැ.+ ඔහුගේ මරණය නිසා ලෝකේ ඉන්න මිනිස්සුන්ව මං දකින්නේ මරණයට සුදුසු* අය වගේ. එයාලත් මාව දකින්නේ මරණයට සුදුසු කෙනෙක් විදිහටයි. 15  කෙනෙක් චර්මච්ඡේදනය වෙලාද නැද්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ.+ ඒත් වැදගත් වෙන්නේ දෙවියන්ගේ අලුත් නිර්මාණයක් වෙන්න ලැබෙන එකයි.+ 16  ඒ ප්‍රතිපත්තිය හිතට අරන් ඒ විදිහට ජීවත් වෙන හැම කෙනෙක්ටම ඒ කියන්නේ දෙවියන්ගේ ඊශ්‍රායෙලයට සමාදානයත් දයාවත් ලැබේවා!+ 17  මීට පස්සේ කවුරුත් මට ප්‍රශ්න ඇති කරන්න එපා. මොකද මං යේසුස්ගේ දාසයෙක් කියලා පෙන්නන ලකුණු මගේ ශරීරයේ දකින්න තියෙනවා.+ 18  සහෝදරයෙනි, හොඳ ගුණාංග ඇති කරගන්න මහන්සි වෙන ඔයාලට අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා! ආමෙන්!*

පාදසටහන්

මූ.අ., “මෘදුකමින්.”
හෝ, “ශුද්ධ ලියවිල්ලට අනුව සුදුසුකම් තියෙන.”
මූ.අ., “තමන්ගෙම බර උස්සගෙන යන්න ඕනේ.”
මූ.අ., “දෙවියන්ව හෑල්ලු කරලා ඔහුගෙන් බේරෙන්න.”
මූ.අ., “ශරීරය කුණු වෙලා යන එකයි.”
හෝ, “උත්සාහය අත්හරින්නේ නැතුව හිටියොත්.”
හෝ, “අනිත් අයට පේන්න යහපත් දේවල් කරන.”
මූ.අ., “ඔයාලාගේ ශරීරයට කරලා තියෙන දේ.”
හෝ, “වධකණුවට තියලා ඇණ ගහපු.”
හෝ, “එසේම වේවා!”