ගීතාවලිය 16:1-11

  • හැම යහපත් දෙයක්ම ලැබෙන්නේ යෙහෝවාගෙන්

    • “යෙහෝවා මගේ උරුමය” (5)

    • “රාත්‍රියේදීත් මගේ සිතුවිලි මාව නිවැරදි කරනවා” (7)

    • ‘යෙහෝවා මගේ දකුණු පැත්තේ’ (8)

    • “ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ” (10)

දාවිත් රචනා කරපු මික්ටැම්.* 16  අනේ දෙවියනි, මාව ආරක්ෂා කරන්න. මොකද මම රැකවරණය පතන්නේ ඔබගෙන්.+   මම යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා. “මගේ ජීවිතේ හැම යහපත් දෙයක්ම මට ලැබිලා තියෙන්නේ යෙහෝවා වන ඔබගෙනුයි.   පොළොවේ ඉන්න ශුද්ධ තැනැත්තන් නිසා මම සතුටු වෙනවා.ගෞරවය ලබන්න වටින ඒ අය නිසා මට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්.”+   වෙනත් දෙවිවරු පස්සේ යන අයට නිමක් නැති වේදනා අද්දකින්න වෙනවා.+ මම කවදාවත් ඔවුන් එක්ක එකතු වෙලා පාන පූජා විදිහට ලේ ඔප්පු කරන්නේ නැහැ.ඒ දෙවිවරුන්ගේ නමක්වත් මගේ කටින් පිට වෙන්නේ නැහැ.+   යෙහෝවා, මගේ උරුමයත්+ සතුටින් පිරුණු මගේ කුසලානයත්+ ඔබයි. මගේ උරුමය* ආරක්ෂා කරන්නෙත් ඔබමයි.   ඔබ මට මැනලා දුන්න කොටස ගැන මම සතුටු වෙනවා. ඇත්තෙන්ම ඔබ මට දුන්න උරුමය ගැන මං තෘප්තිමත් වෙනවා.+   මට අවවාද ලබා දුන්න යෙහෝවා දෙවියන්ට මම ප්‍රශංසා කරනවා.+ මොකද රාත්‍රියේදීත් මගේ සිතුවිලි* මාව නිවැරදි කරනවා.+   මං හැම මොහොතකම හිතන්නේ යෙහෝවා මගේ ඉස්සරහා ඉන්නවා කියලයි.+ ඔහු මගේ දකුණු පැත්තේ ඉන්න නිසා මං කවදාවත් වැටෙන්නේ නැහැ.+   මගේ ගතත්* හිතත් සතුටින් ඉපිල යනවා. මං ජීවත් වෙන්නේ කිසිම බයක් නැතුවයි. 10  මොකද ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ.+ ඔබට විශ්වාසවන්තව ඉන්න කෙනාට මිනී වළට යන්න ඔබ ඉඩහරින්නේ නැහැ.*+ 11  ජීවනයට යන මාර්ගය ඔබ මට පෙන්වලා දෙනවා.+ ඔබ ඉස්සරහා ඉද්දී මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!+ඔබේ දකුණු පැත්තේ ඉන්න නිසා මම හැමදාටම සතුට අද්දකිනවා.

පාදසටහන්

හෝ, “මට වෙන් කරපු කොටස.”
හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”
මූ.අ., “මගේ ගෞරවයත්.”
හෝ සමහරවිට, “කුණු වෙන්න ඉඩහරින්නේ නැහැ.”