ගීතාවලිය 6:1-10

  • කරුණාව ඉල්ලලා කරන අයැදීමක්

    • මිය ගිය අය දෙවියන්ට ප්‍රශංසා කරන්නේ නැහැ (5)

    • කරුණාව ඉල්ලද්දී දෙවියන් සවන් දෙයි (9)

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ ෂෙමිනිත්වලට* මාරු කරලා ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්. 6  අනේ යෙහෝවා, කේන්තියෙන් මට අවවාද කරන්න එපා.කේන්තියෙන් මාව හික්මවන්නත් එපා.+   යෙහෝවා දෙවියනි, මට කරුණාවෙන් සලකන්න.* මගේ ඇඟට කිසි පණක් නැහැ. අනේ යෙහෝවා, මට සුවය ලබා දෙන්න.+ මොකද මගේ ඇටකටු පවා වෙවුලනවා.   මගේ හිත හොඳටම අවුල් වෙලා.+අනේ යෙහෝවා, මම තව කොච්චර කාලයක් මේ විදිහට දුක් විඳින්නද?+   යෙහෝවා දෙවියනි, ආයෙත් මං ළඟට ඇවිත් මාව බේරගන්න.+ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මාව ගලවගන්න.+   මිය ගිය අයට ඔබ ගැන කතා කරන්න පුළුවන්ද?*ඔබට ප්‍රශංසා කරන්න මිනී වළේ ඉන්න අයට පුළුවන්ද?+   අඬලා අඬලාම මම හෙම්බත් වෙලා.+රෑ පුරා මගේ ඇස්වලින් ගලන කඳුළෙන් මගේ යහන පෙඟිලා.කඳුළුවලින් මගේ ඇඳ තෙත් වෙලා.+   ශෝකය නිසා මගේ ඇස් මලානික වෙලා.+මට හිරිහැර කරන අය නිසා මගේ දෙනෙත් අඳුරු වෙලා.*   දුෂ්ටකම් කරන සියල්ලෙනි, මගෙන් අහකට යන්න.මොකද මං උදව් ඉල්ලලා අඬද්දී යෙහෝවා මට අනිවාර්යයෙන්ම සවන් දෙනවා.+   කරුණාව පෙන්වන්න කියලා මං ඉල්ලද්දී යෙහෝවා මට ඇහුම්කන් දෙනවා.+යෙහෝවා දෙවියන් මං කරන යාච්ඤාව පිළිගන්නවා. 10  මගේ හැම සතුරෙක්ම ලැජ්ජාවට පත් වෙයි.ඔවුන් තිගැස්සී වියවුලට පත් වෙයි.සැණෙකින් ලැජ්ජාවට පත් වෙලා ආ පයින්ම පලා යයි.+

පාදසටහන්

හෝ, “අනුකම්පා කරන්න.”
හෝ, “ඔබ ගැන මතකයක් තියෙනවාද?”
හෝ, “ඇස් වියපත් වෙලා.”