ද්විතීය කතාව 12:1-32

  • දෙවියන් තෝරගන්න තැනට ගිහින් නමස්කාර කරන්න (1-14)

  • මස් කන්න අවසර තිබුණත් ලේ කන්න අවසර නැහැ (15-28)

  • වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන උගුලට අහු වෙන්න එපා (29-32)

12  “ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔයාලට අයිති කරලා දෙන දේශයට ගියාට පස්සේ ඔයාලා පිළිපදින්න ඕනෙ නියෝග සහ තීන්දු තමයි මේ. ඔයාලාගේ ජීවිත කාලේ පුරාම ඒවා ඒ විදිහටම පිළිපදින්න.  ඔයාලා දේශයෙන් පන්නලා දාන ජාතීන් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න හදපු හැම තැනක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ.+ ඒවා කඳු මුදුන්වල තිබුණත් හෙල්වල තිබුණත් සරුවට වැඩුණ ලොකු ගස් යට තිබුණත් ඒවා විනාශ කරලා දාන්න.  එයාලා නමස්කාර කරන්න ඉදි කරපු පූජාසන කඩලා, කුලුනු පොඩි කරලා,+ කණු* ගින්නෙන් පුච්චලා දාන්න. එයාලාගේ දෙවිවරුන්ගේ රූප විනාශ කරලා දාන්න.+ ඒ දෙවිවරුන්ගේ නම් දේශයෙන් මකලා දාන්න.+  “ඒ ජාතීන් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන විදිහට යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඔයාලට අවසර නැහැ.+  ඒ වෙනුවට ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔහු තෝරගන්න තැනට ගිහිල්ලා. ඔයාලාගේ ගෝත්‍රවලට දීලා තියෙන ප්‍රදේශ අතරින් දෙවියන් ඔහුගේ නම වෙනුවෙන් ඔහුගේ වාසස්ථානය හැටියට තෝරගන්න තැනට ඔයාලා යන්න ඕනේ.+  ඔයාලා ඔප්පු කරන දවන පූජාවන්,+ වෙනත් පූජාවන් සහ ඔයාලා වෙන් කරන දහයෙන් කොටස්+ ඔයාලා ගෙනියන්න ඕනෙ එතනටයි. භාර හැටියට සහ කැමැත්තෙන් දෙන පූජා,+ ගව රැළේ සහ එළු බැටළු රැළේ කුලුඳුල් සතුන්+ වගේම දෙවියන් වෙනුවෙන් දෙන වෙන ඕනෙම දෙයක්+ ඔයාලා ගෙනියන්න ඕනෙත් එතනටයි.  ඔප්පු කරන පූජාවලින් ඔයාලයි, ඔයාලාගේ පවුලේ අයයි එතනදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඒවා කන්න ඕනේ.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ආශීර්වාද කරලා තියෙන නිසා ඔයාලා කරපු හැම දෙයක් ගැනම සතුටු වෙන්න.+  “අපි මෙච්චර කල් ඒ දේවල් කළේ අපි එක් එක් කෙනාට හරියි කියලා හිතුණ විදිහටයි. ඒත් ඉස්සරහට එහෙම කරන්න ඔයාලට අවසර නැහැ.  මේ වෙන කල් අපි එහෙම කළේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා උරුමයක් හැටියට ඔයාලට දෙන දේශයට ගිහින් නැති නිසයි.+ 10  ඒත් දැන් ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන දේශයේ පදිංචි වෙන්නයි යන්නේ. ඔයාලා එහෙට ගියාම අවට ඉන්න සතුරු ජාතීන්ගෙන් දෙවියන් ඔයාලව ආරක්ෂා කරයි. ඔයාලට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වෙයි.+ 11  මං ඔයාලට ඔප්පු කරන්න කියලා අණ කරන හැම පූජාවක්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ඔයාලා අරන් යයි.+ දවන පූජා, වෙනත් පූජා, දහයෙන් කොටස්,+ යෙහෝවාට භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණ හැම දෙයක්ම සහ දෙවියන් වෙනුවෙන් දෙන වෙන ඕනෙම දෙයක් ඔයාලා එතනට අරන් යයි. 12  එතනට ගිහිල්ලා ඔයාලයි, ඔයාලාගේ දරුදැරියනුයි, දාස දාසීනුයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සතුටු වෙයි.+ ඔයාලට වගේ උරුමයක් ලැබෙන්නේ නැති ඔයාලාගේ නුවරවල්වල ඉන්න ලෙවීවරුනුත්+ ඔයාලා එක්ක සතුටු වෙයි. 13  එතනදී හැර ඔයාලා කැමති වෙන කිසිම තැනකදී දවන පූජා ඔප්පු නොකර ඉන්න වගබලා ගන්න ඕනේ.+ 14  ඔයාලා දවන පූජා ඔප්පු කරන්න ඕනෙ ඔයාලාගේ ගෝත්‍රවලට දීලා තියෙන ප්‍රදේශ අතරින් යෙහෝවා තෝරගන්න ඒ තැනදී විතරයි. මං අණ කරන විදිහටම එහෙදී හැම දෙයක්ම කරන්න ඕනේ.+ 15  “ඒත් ඔයාලට මස් කන්න ආස හිතෙන ඕනෙම වෙලාවක සතෙක්ව මරලා උගේ මස් කන්න පුළුවන්.+ ඔයාලා පදිංචි වෙලා ඉන්න ඕනෙම නුවරකදී ඒක කරන්න පුළුවන්. ඒක ඔයාලාගේ දෙවි වන යෙහෝවා දීලා තියෙන ආශීර්වාදයක්. දඩයම් කරපු මුව මස්* කන්න පුළුවන් වගේ ඔයාලා මරන ඒ සතාගේ මසුත් කන්න පුළුවන්. පවිත්‍රව ඉන්න කෙනෙක්ට වුණත් අපවිත්‍රව ඉන්න කෙනෙක්ට වුණත් ඒ මස් කන්න පුළුවන්. 16  ඒත් ඒ සතුන්ගේ ලේ කන්න ඔයාලට අවසර නැහැ.+ ඒක වතුර වගේ බිමට වක් කරන්න ඕනේ.+ 17  ඔයාලා දහයෙන් කොටස විදිහට වෙන් කරන ධාන්‍යවත් අලුතෙන් පෙරූ වයින්වත් තෙල්වත් ඔයාලාගේ ගව රැළේ සහ එළු බැටළු රැළේ ඉන්න කුලුඳුල් සතුන්වත්+ ඔයාලා භාරයක් විදිහට දෙවියන්ට දෙන්න පොරොන්දු වුණ දේවල්වත් ඔයාලා කැමැත්තෙන්ම පූජා කරන දේවල්වත් ඔයාලා දෙවියන්ට දෙන වෙන ඕනෙම දෙයක්වත් ඔයාලා ඉන්න නුවරවල්වලදී කන්න ඔයාලට අවසර නැහැ. 18  ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට ගිහිල්ලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඒවා කන්න ඕනේ.+ ඔයාලටයි, ඔයාලාගේ දූපුතුන්ටයි, ඔයාලාගේ දාස දාසීන්ටයි, ඔයාලාගේ නුවරවල්වල ඉන්න ලෙවීවරුන්ටයි ඒවා කාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඔයාලා කරන හැම වැඩක් ගැනම සතුටු වෙන්න පුළුවන්. 19  ඔයාලට ලැබෙන දේශයේ ඔයාලා ජීවත් වෙන තාක් කල් ලෙවීවරුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන්න වගබලා ගන්න.+ 20  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට පොරොන්දු වුණ විදිහටම+ ඔයාලාගේ දේශ සීමාවන් පුළුල් කරලා+ දුන්නාට පස්සේ කෙනෙක්ට මස් කන්න ආස හිතුණොත් එයාට කැමති ඕනෙම වෙලාවක මස් කන්න පුළුවන්.+ 21  ඒ කෙනා ජීවත් වෙන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට+ හුඟක් ඈතින් නම් එයා මෙහෙම කරන්න ඕනේ. යෙහෝවාගේ ආශීර්වාදය නිසා එයාට ලැබුණ එළු බැටළු රැළෙන් හරි ගව රැළෙන් හරි සතෙක්ව මරන්න. එහෙම කරන්න ඕනෙ මං අණ කරපු විදිහටයි. මස් කන්න ආස හිතෙන ඕනෙම වෙලාවක ඒ විදිහට සතෙක්ව මරලා ඔයාලා ඉන්න නුවරේදී කන්න පුළුවන්. 22  ඒ කෙනා පවිත්‍රව හිටියත් නැතත් දඩයම් කරපු මුව මස්* කන්න පුළුවන් වගේ ඔයාලා මරන සතාගේ මසුත් කන්න පුළුවන්.+ 23  ඒත් සතාගේ ලේ කොහොමටවත් නොකා ඉන්න වගබලා ගන්න.+ මොකද සතාගේ ජීවය තියෙන්නේ ලේවලයි.+ ජීවය වන ලේ එක්ක මස් කන්න එපා. 24  ඒක වතුර වගේ බිමට වක් කරන්න. කොහොමටවත් ලේ කන්න එපා.+ 25  ලේ කෑමට ගන්න එකෙන් වළකින්න. ඔයාලා ඒකට කීකරු වෙනවා නම් ඔයාලා යෙහෝවා ඉස්සරහා හරි දේ කරන නිසා ඔයාලටයි, ඔයාලාගේ දරුවන්ටයි යහපතක් වෙයි. 26  ඔයාලා යෙහෝවා තෝරගන්න තැනට යද්දී ගෙනියන්න ඕනෙ ඔයාලා පරිත්‍යාග කරන ශුද්ධ දේවල් සහ භාර හැටියට ඔප්පු කරන දේවල් විතරයි. 27  එතනදී තමයි ඔයාලා දවන පූජාවට ගෙනියන සතාගේ මස් සහ උගේ ලේ+ ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ පූජාසනය මත ඔප්පු කරන්න ඕනේ. ඔයාලා පූජා විදිහට ගේන අනිත් සතුන්ගේ ලේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ පූජාසනය ළඟ වක් කරන්න.+ උන්ගේ මස් කන්න ඔයාලට අවසර තියෙනවා. 28  “මං ඔයාලට කියලා දෙන මේ හැම ආඥාවකටම කීකරු වෙන්න වගබලා ගන්න. ඒවාට කීකරු වෙනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඔයාලා යහපත් සහ හරි දේ කරන නිසා ඔයාලටයි, ඔයාලාගේ දරුවන්ටයි හැමදාටම හොඳ ප්‍රතිඵල ලැබෙයි. 29  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා අයිති කරගන්න යන දේශයේ ඉන්න ජාතීන්ව විනාශ කරලා දැම්මාට පස්සේ+ ඔයාලා ඒ දේශයේ පදිංචි වෙයි. 30  එතකොට දෙවියන් විනාශ කරපු ඒ ජාතීන් කරපු දේවල් නොකර ඉන්න වගබලා ගන්න. ‘ඒ ජාතීන් එයාලාගේ දෙවිවරුන්ව ඇදහුවේ කොහොමද’ කියලා අහලා ඒ දෙවිවරුන් ගැන හොයන්න යන්නවත් ‘අපිත් එහෙම කරමු’ කියලා කියන්න යන්නවත් එපා.+ 31  ඒ ජාතීන් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරපු විදිහට ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න එපා. මොකද ඒ ජාතීන් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරද්දී යෙහෝවා පිළිකුල් කරන හරිම දුෂ්ට දේවල් කරනවා. එයාලාගේ දූපුතුන්ව පවා ගින්නෙන් දවලා ඒ දෙවිවරුන්ට ඔප්පු කරනවා.+ 32  මං ඔයාලට කියලා දෙන මේ හැම ආඥාවක්ම පිළිපදින්න වගබලා ගන්න.+ ඒවාට කිසිම දෙයක් එකතු කරන්නවත් ඒවායින් කිසිම දෙයක් අයින් කරන්නවත් එපා.+

පාදසටහන්

මූ.අ., “මුව මස් සහ ගසෙල් (කුරංගයා) මුව මස්.”
මූ.අ., “මුව මස් සහ ගසෙල් (කුරංගයා) මුව මස්.”