ද්විතීය කතාව 15:1-23

  • හැම අවුරුදු හතකටම සැරයක් ණය සහනයක් (1-6)

  • දුප්පත් අයට උදව් කරන්න (7-11)

  • හැම අවුරුදු හතකටම සැරයක් දාසයන්ව නිදහස් කරනවා (12-18)

    • දාසයෙක්ගේ කන විදින්න (16, 17)

  • කුලුඳුල් සතුන්ව වෙන් කරන්න (19-23)

15  “හැම අවුරුදු හතකටම සැරයක් ඔයාලා ණය සහනයක් ලබා දෙන්න ඕනේ.*+  ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි. තමන්ගෙන් ණයක් ගත්ත සහෝදරයාට හරි අසල්වැසියාට හරි ඒක ගෙවන්න කියලා කරදර කරන්න එපා. හැම ණයහිමියෙක්ම එයාලාගෙන් ණය ගත්ත අයව ණය බරින් නිදහස් කරන්න ඕනේ. මොකද ඒ වගේ සහනයක් දෙන්න කියලා ප්‍රකාශ කරලයි තියෙන්නේ.+ ඒක යෙහෝවා දෙවියන්ගේ නියෝගයක්.  ඒත් විදේශිකයෙක් ඔයාලට ණය වෙලා ඉන්නවා නම් එයාගෙන් ඒක ඉල්ලන්න ඔයාලට පුළුවන්.+ හැබැයි ඊශ්‍රායෙල් ජාතිකයන්ට ඒ සහනය ඔයාලා ලබා දෙන්න ඕනේ.  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට අයිති කරලා දෙන දේශයට ගියාම ඔයාලා හැමෝටම කිසිම අඩුවක් නැතුව යෙහෝවාගේ ආශීර්වාද ලැබෙයි. ඒ නිසා ඔයාලා අතරේ ඉන්න කිසිම කෙනෙක් දුප්පත් වෙන්න හේතුවක් නැහැ.+  ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වුණොත් විතරයි. ඒ වගේම මම අද ඔයාලට කියලා දෙන ඔහුගේ හැම ආඥාවක්ම ඒ විදිහටම පිළිපැද්දොත් විතරයි.+  ඔයාලා එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා පොරොන්දු වුණ විදිහටම ඔයාලට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. ඔයාලට කවදාවත් වෙනත් ජාතීන්ගෙන් ණය ගන්න සිද්ධ වෙන්නේ නැහැ.+ ඒ වෙනුවට ඔයාලා ගොඩක් ජාතීන්ට ණයට දෙයි. ඒ වගේම ඔයාලට කවදාවත් වෙනත් ජාතීන් යටතේ ඉන්න වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔයාලා ගොඩක් ජාතීන්ව යටත් කරගනියි.+  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+  ත්‍යාගශීලීව එයාට අතහිත දෙන්න.+ අදිමදි කරන්නේ නැතුව එයාට අවශ්‍ය ඕනෙම දෙයක් දෙන්න.*  ඒත් ‘ණය සහනය ලබා දෙන හත්වෙනි අවුරුද්ද ළඟයි’+ කියලා හිතලා දුප්පත් සහෝදරයාට කිසිම උදව්වක් නොකර ඉන්න එපා. ඒක හරිම නපුරු සිතුවිල්ලක්. ඔයාගේ සහෝදරයා ඔයා කරපු දේ ගැන කියලා යෙහෝවාට කන්නලව් කළොත් ඔයා ඔහු ඉස්සරහා වරදකරුවෙක් වෙනවා.+ 10  අදිමදි කරන්නේ නැතුව කැමැත්තෙන්ම ඔයාගේ සහෝදරයාට අවශ්‍ය දේ දෙන්න.+ එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා කරන හැම දේකටම ආශීර්වාද කරයි.+ 11  හැබැයි දේශයේ දුප්පත් අය ඔයාලත් එක්ක හැමදාමත් ඉඳියි.+ ‘ඔයාලා අතරේ ඉන්න දුප්පත්, අසරණ සහෝදරයාට ලෝභ නැතුව අතහිත දෙන්න’ කියලා මම ඔයාලට කියන්නේ ඒ නිසයි.+ 12  “හෙබ්‍රෙව් ජාතික පුරුෂයෙක්ව හරි ස්ත්‍රියක්ව හරි මෙහෙකාරකමට ඔයාට විකුණන්න පුළුවන්. ඒ කෙනා අවුරුදු හයක් ඔයාට සේවය කළාට පස්සේ හත්වෙනි අවුරුද්දේදී එයාට නිදහස ලබා දෙන්න.+ 13  එයාව නිදහස් කරලා යවද්දී හිස් අතින් යවන්න එපා. 14  ඔයාගේ රැළෙන් සත්තු කීපදෙනෙක්, ධාන්‍ය, වයින් සහ තෙල් ත්‍යාගශීලීව එයාට දෙන්න. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාට ආශීර්වාද කරලා තියෙන විදිහටම ඔයාත් එයාට දෙන්න. 15  ඔයාලා කාලයක් ඊජිප්තුවේ වහලුන් වෙලා හිටියා කියලත් ඔයාලව නිදහස් කරගෙන ආවේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා කියලත් කවදාවත් අමතක කරන්න එපා. ඒ නිසයි මං අද ඔයාලට ත්‍යාගශීලී වෙන්න කියලා අණ කරන්නේ. 16  “ඒත් ඔයා මෙහෙකාරකමට ගත්ත කෙනා ඔයා ළඟ සතුටින් වැඩ කරපු නිසාත් ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි ආදරේ නිසාත් මෙහෙම කියන්න ඉඩ තියෙනවා. ‘මං ඔයාලව දාලා යන්න කැමති නැහැ.’+ 17  එතකොට ඔයා කරන්න ඕනෙ මේකයි. එයාව ගෙදර දොර ළඟට එක්කගෙන ගිහින් දොරට තියලා විදින කටුවකින් එයාගේ කන විදින්න. එහෙම කළාට පස්සේ එයා හැමදාටම අයිති ඔයාටයි. ඔයාට එහෙම සේවය කරන්න කැමති ස්ත්‍රියකටත් ඒ දේම කරන්න. 18  ඔයාට සේවය කරපු දාසයෙක්ව නිදහස් කරලා යවන්න අදිමදි කරන්න එපා. මොකද එයා ඔයා ළඟ වැඩ කරපු අවුරුදු හයේදී කුලියට ගන්න සේවකයෙක් කරන වැඩ වගේ දෙගුණයක් ඔයා වෙනුවෙන් කළා. ඒ වගේම ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයා කරපු හැම දේකටම ආශීර්වාද කරලා තියෙනවා. 19  “ඔයාලාගේ ගව රැළේ සහ එළු බැටළු රැළේ ඉපදෙන හැම කුලුඳුල් පිරිමි සතෙක්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් වෙන් කරන්න.+ රැළේ ඉන්න කුලුඳුල් ගවයන්ගෙන් කිසිම වැඩක් ගන්න එපා. කුලුඳුල් බැටළුවන්ගේ ලොම් කපන්නත් එපා. 20  ඔයාලා ඔයාලාගේ පවුලේ අයත් එක්ක හැම අවුරුද්දකම ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට ගිහින් ඒ සතුන්ව මරලා යෙහෝවා ඉස්සරහා උන්ව කෑමට ගන්න ඕනේ.+ 21  ඒත් ඒ සතුන් කොරයි නම් අන්ධයි නම් නැත්නම් උන්ට වෙන බරපතළ දෝෂයක් තියෙනවා නම් උන්ව ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පූජා කරන්න එපා.+ 22  ඒ සතුන්ව ඔයාලා ඉන්න නගරේදීම මරලා කෑමට ගන්න ඔයාලට පුළුවන්. හරියට මුවන්ව* මරලා කෑමට ගන්නවා වගේ උන්ව කෑමට ගන්න. ඔයාලා පවිත්‍ර තත්වයක හිටියත් නැතත් ඒ මස් කන්න ඔයාලට පුළුවන්.+ 23  හැබැයි උන්ගේ ලේ කන්න ඔයාලට අවසර නැහැ.+ ඒක වතුර වගේ බිමට වක් කරන්න.+

පාදසටහන්

ඒ කියන්නේ ණය අවලංගු කරන එක හරි ණය ගෙවන්න තව කල් දෙන එක හරි.
ඒ කියන්නේ පුළුවන් දවසක ඒක ආපහු ඔයාට දෙන පොරොන්දුව පිට.
මූ.අ., “මුවන්ව සහ ගසෙල් (කුරංගයා) මුවන්ව.”