ද්විතීය කතාව 16:1-22

  • පාස්කුව; මුහුන් දාපු නැති රොටි උත්සවය (1-8)

  • සති උත්සවය (9-12)

  • පැල් උත්සවය (13-17)

  • විනිශ්චයකරුවන්ව පත් කරයි (18-20)

  • නමස්කාරයට පාවිච්චි කරන්න බැරි දේවල් (21, 22)

16  “ආබීබ්* මාසේ වැදගත් මාසයක් කියලා මතක තියාගන්න. ඒ මාසේදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවය පවත්වන්න ඕනේ.+ මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ ආබීබ් මාසේ රෑක.+  ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පවත්වන පාස්කු උත්සවයට+ අවශ්‍ය පූජාව ඔයාලාගේ රැළවල්වලින්+ අරගන්න. යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ගිහින් ඒ පූජාව ඔප්පු කරන්න.+  ඊටපස්සේ මුහුන් දාපු නැති රොටි එක්ක ඒ සතාව කෑමට ගන්න.+ එදා ඉඳන් දවස් හතක් යන කල් මුහුන් දාපු කිසිම දෙයක් කන්න අවසර නැහැ. ඔයාලා ඊජිප්තුවෙන් හදිස්සියේම+ පිටත් වෙලා ආපු දවසේ කළා වගේ මුහුන් දාපු නැති රොටි විතරක් කෑමට ගන්න. එහෙම කරද්දී ඔයාලා අද්දැක්ක දුක් පීඩා ඔයාලට මතක් වෙයි. ඒ වගේම ඊජිප්තුවෙන් ඔයාලා නිදහස් වෙලා ආපු විදිහත් ඔයාලට කවදාවත් අමතක වෙන එකක් නැහැ.+  ඒ දවස් හත ඉවර වෙන කල් ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයේ කිසිම තැනක පිපුණු පිටි තියාගන්න එපා.+ පළවෙනි දවසේ හවස ඔප්පු කරන සතාගේ මස් ඊළඟ දවසේ උදේ වෙන කල් තියාගන්න එපා.+  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ ඔයාලා කැමති කැමති නගරවලදී පාස්කු උත්සවයට ගන්න සතාව ඔප්පු කරන්න අවසර නැහැ.  ඒ වෙනුවට සතාව ඔප්පු කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ගිහිල්ලයි. ඌව මරන්න ඕනෙ ඉර බැහැලා යනවාත් එක්කමයි.+ මොකද ඔයාලා ඊජිප්තුවෙන් පිටත් වෙලා ආපු දවසේ වුණෙත් ඒ වගේ දෙයක්.  ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට ගිහින්+ ඒ සතාව ගින්නෙන් පුච්චලා කෑමට ගන්න.+ පහුවෙනිදා උදේට ඔයාලාගේ කූඩාරම්වලට යන්න පුළුවන්.  දවස් හයක් යන කල් මුහුන් දාපු නැති රොටි කන්න. හත්වෙනි දවසේදී ඔයාලාගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න ශුද්ධ එක්රැස්වීමක් පවත්වන්න. ඒ දවසේදී කිසිම වැඩක් කරන්න ඔයාලට අවසර නැහැ.+  “දෑකැත්තෙන් අස්වැන්න නෙළන්න පටන්ගන්න දවසේ ඉඳන් සති හතක් ගණන් කරන්න.+ 10  ඊටපස්සේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සති උත්සවය පවත්වන්න.+ ඒ උත්සවයේදී ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔයාලාගේ අස්වැන්නෙන් කොටසක් කැමැත්තෙන්ම දෙන්න. ඔහු ඔයාලා එක් එක් කෙනාට ආශීර්වාද කරලා තියෙන විදිහට ඒක දෙන්න පුළුවන්.+ 11  ඔයාලයි, ඔයාලාගේ දූපුතුනුයි, ඔයාලාගේ දාස දාසීනුයි, ඔයාලාගේ නගරේ ජීවත් වෙන ලෙවීවරුනුයි, ඔයාලා අතරේ ඉන්න විදේශිකයනුයි, තාත්තා නැති දරුවනුයි, වැන්දඹුවනුයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සතුටු වෙන්න ඕනේ. ඒ විදිහට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ගිහින් සතුටු වෙන්න ඔයාලට පුළුවන්.+ 12  ඔයාලත් ඊජිප්තුවේ වහලුන් විදිහට හිටියා කියලා මතක තියාගන්න.+ ඒ නිසා මේ හැම නියෝගයක්ම ඒ විදිහටම පිළිපදින්න වගබලා ගන්න. 13  “ඔයාලාගේ අස්වැන්න කමතෙන් ගෙනල්ලා රැස් කරගත්තාට පස්සේ සහ ඔයාලාගේ වතුවල පලදාවෙන් තෙලුයි, වයිනුයි රැස් කරගත්තාට පස්සේ දවස් හතක් පුරා පැල්* උත්සවය+ පවත්වන්න ඕනේ. 14  මේ උත්සව කාලේදී ඔයාලා ඔයාලාගේ දූපුතුන්, ඔයාලාගේ දාස දාසීන්, ඔයාලාගේ නගරවල ජීවත් වෙන ලෙවීවරුන්, විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් එක්ක සතුටු වෙන්න.+ 15  යෙහෝවා තෝරගන්න තැනට ගිහිල්ලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ගෞරව කරන්න දවස් හතක් ඔයාලා මේ උත්සවය පවත්වයි.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ අස්වැන්නටත් ඔයාලා කරන හැම දේකටමත් ආශීර්වාද+ කරන නිසා ඔයාලා නිමක් නැති සතුටක් අද්දකියි.+ 16  “සෙනඟ අතරේ ඉන්න හැම පුරුෂයෙක්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට අවුරුද්දකට තුන් පාරක් යන්න ඕනේ. මුහුන් නොදැමූ රොටි උත්සවයේදී,+ සති උත්සවයේදී+ සහ පැල් උත්සවයේදී+ එයාලා යෙහෝවා ඉස්සරහට යන්න ඕනේ. එහෙම යද්දී කිසිම කෙනෙක් හිස් අතින් යන්න එපා. 17  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා එක් එක් කෙනාට ආශීර්වාද කරලා තියෙන විදිහට ඔයාලා පරිත්‍යාග කරන දේ ගෙනියන්න.+ 18  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන හැම නගරෙකටම විනිශ්චයකරුවන්වයි,+ නිලධාරීන්වයි පත් කරන්න. එක එක ගෝත්‍ර වෙනුවෙන් පත් කරන ඒ අය සෙනඟව විනිශ්චය කරද්දී සාධාරණය ඉටු කරන්න ඕනේ. 19  එයාලා අතින් කිසිම අසාධාරණයක් වෙන්න බැහැ.+ එයාලා හැමෝටම එක වගේ සලකන්න ඕනේ.+ අල්ලස් ගන්න එකෙනුත් වළකින්න ඕනේ. මොකද ඥානවන්තව විනිශ්චය කරන කෙනෙක් වුණත් අල්ලසක් නිසා නොමඟ යන්න පුළුවන්.+ ධර්මිෂ්ඨ කෙනෙක් වුණත් අල්ලසක් නිසා තමා දෙන තීන්දුව වෙනස් කරන්න පෙලඹෙන්න පුළුවන්. 20  එයාලා විනිශ්චය කරද්දී යුක්තිය, සාධාරණය ඉටු කරන්නම ඕනේ.+ එහෙම කරනවා නම් එයාලාගේ ජීවිතේ රැකගන්නත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ලබා දෙන දේශයේ දිගටම ජීවත් වෙන්නත් එයාලට පුළුවන් වෙයි. 21  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් හදන පූජාසනය ළඟ නමස්කාර කරන්න කණුවක්*+ විදිහට කිසිම ගහක් පැළ කරන්න එපා. 22  “නමස්කාර කරන්න කුලුනක් ඉදි කරන්නත් එපා.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ වගේ දේවල් පිළිකුල් කරනවා.

පාදසටහන්

උප. B15 බලන්න.
හෝ, “තාවකාලික මඩු.”