ද්විතීය කතාව 18:1-22

  • පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි ලැබෙන කොටස (1-8)

  • මන්තර ගුරුකම් කරන එක තහනම් (9-14)

  • මෝසෙස් වගේ අනාගතවක්තෘවරයෙක් (15-19)

  • බොරු අනාගතවක්තෘවරුන්ව හඳුනගන්න විදිහ (20-22)

18  “පූජකයන් ඇතුළුව ලෙවී ගෝත්‍රයට අයිති කිසිම කෙනෙක්ට අනිත් ඊශ්‍රායෙල් සෙනඟට වගේ දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ. සෙනඟ යෙහෝවා දෙවියන්ට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් කොටසක් කෑමට ගන්න එයාලට පුළුවන්. ඒවා අයිති ඔහුටයි.+  ඉතින් අනිත් ඊශ්‍රායෙල්වරුන්ට වගේ දේශයේ උරුමයක් එයාලට ලැබෙන්නේ නැහැ. මොකද යෙහෝවා තමයි එයාලාගේ උරුමය. ඒ පොරොන්දුව ඔහු එයාලට දුන්නා.  “සෙනඟ ඔප්පු කරන දේවලින් පූජකයන්ට ලැබෙන කොටස් තමයි මේ: ගවයෙක්ව හරි බැටළුවෙක්ව හරි පූජා කරනවා නම් ඒ සතාගේ ඉස්සරහා ගාතය, උගේ හකු සහ බඩ* පූජකයාට දෙන්න.  ඔයාලා මුලින්ම නෙළාගන්න ධාන්‍යවලින්, මුලින්ම පෙරන වයින්වලින්, මුලින්ම හදන තෙල්වලින්, ඔයාලාගේ බැටළුවන්ගෙන් මුලින්ම කපන ලොම්වලින් කොටසක් එයාලට දෙන්න.+  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ හැම ගෝත්‍රයක් අතරින්ම ලෙවීවරුන්ව තමයි තෝරගෙන තියෙන්නේ. එයාලව තෝරගත්තේ යෙහෝවාගේ නමින් ඔයාලා වෙනුවෙන් හැමදාටම සේවය කරන්නයි.+  “ඊශ්‍රායෙල් දේශයේ නගරෙක පදිංචි වෙලා ඉන්න ලෙවීවරයෙක්ට+ ඒ නගරෙන් පිටත් වෙලා යෙහෝවා තෝරගන්න තැනට* යන්න ආස හිතෙන්න පුළුවන්.+  එහෙමනම් එයාට පුළුවන් එහෙට ගිහින් යෙහෝවා ඉස්සරහා සේවය කරන+ එයාගේ සහෝදරයන් වන ලෙවීවරුන් වගේ එයාගේ දෙවි වන යෙහෝවාගේ නමින් සේවය කරන්න.  අනිත් ලෙවීවරුන්ට ලැබෙන කෑම කොටසට සමාන කොටසක් එයාටත් ලැබෙනවා.+ පරම්පරාවෙන් ලැබුණ දේවල් විකුණලා ඒකෙන් යම් මුදලක් එයාට ලැබිලා තිබුණත් ඒ කොටස එයාට ලැබෙනවා.  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශයට ගියාට පස්සේ එහේ ඉන්න ජාතීන් කරන පිළිකුල් දේවල් කරන්න යන්න එපා.+ 10  තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා පූජා කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. පේන කියන,+ මන්තර ගුරුකම් කරන,+ නිමිති බලන,+ මායා බලයෙන් දේවල් කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. 11  කොඩිවින සහ හදිහූනියම් කරන, කට්ටඩියෙක්ගෙන්+ හරි ශාස්ත්‍ර බලන කෙනෙක්ගෙන්+ හරි උදව් ගන්න, මැරුණ අය එක්ක කතා කරන්න හදන*+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. 12  ඒ වගේ දේවල් කරන හැම කෙනෙක්ම යෙහෝවාට පිළිකුලක්. ඔයාලා යන දේශයේ ඉන්න ජාතීන් ඒ වගේ පිළිකුල් දේවල් කරන නිසයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ අයව ඔයාලා ඉස්සරහින් පන්නලා දාන්නේ. 13  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඔයාලා පවිත්‍ර* ජීවිතයක් ගත කරන්න ඕනේ.+ 14  “ඔයාලා දේශයෙන් පන්නලා දාන ඒ ජාතීන් මන්තර ගුරුකම් කරන+ සහ පේන+ කියන අයගෙන් උදව් ගන්න පුරුදු වෙලා හිටියා. ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ වගේ කිසිම දෙයක් කරන්න ඔයාලට අවසර දීලා නැහැ. 15  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා අතරින් මං වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරයි. ඔයාලා එයාට සවන් දෙන්න ඕනේ.+ 16  ඔයාලාගේ දෙවි වන යෙහෝවා එහෙම කරන්නේ ඔයාලා හොරෙබ්වල රැස් වෙලා හිටිය වෙලාවේ+ කියපු දේ නිසයි. ඔයාලා කිව්වා ‘අපේ දෙවි වන යෙහෝවාගේ හඬ ආයේ අහන්නවත් මේ මහ ගින්න ආයේ දකින්නවත් අපි කැමති නැහැ. මොකද අපිට බයයි අපි මැරෙයි’ කියලා.+ 17  එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘එයාලා කියන දේ හරි. 18  මම එයාලා අතරින් ඔයා වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරනවා.+ මට කියන්න තියෙන දේ මම එයාට කියන්නම්.+ මම එයාට අණ කරන හැම දෙයක්ම එයා සෙනඟට කියයි.+ 19  මගේ නමින් එයා කියන දේවල් අහන්නේ නැති හැම කෙනෙක්ටම ඒ ගැන මට වග කියන්න වෙනවා.+ 20  “‘කවුරු හරි අනාගතවක්තෘවරයෙක් මම අණ කළේ නැති, එයාට හිතෙන හිතෙන දේවල් මගේ නමින් කිව්වොත් එහෙම නැත්නම් වෙනත් දෙවිවරුන්ගේ නමින් මොනවා හරි දෙයක් කිව්වොත් එයාව මරලා දාන්න ඕනේ.+ 21  ඒත් ඔයාලට හිතෙයි “අපි කොහොමද දැනගන්නේ මේ දේවල් එයාට යෙහෝවා කිව්වේ නැහැ” කියලා. 22  ඒ අනාගතවක්තෘවරයා යෙහෝවාගේ නමින් කියන දේවල් ඉටු වෙන්නේ නැත්නම්, එයා කියන දේවල් බොරුවක් වුණොත් ඒවා එයාට කිව්වේ යෙහෝවා නෙමෙයි. එයා උඩඟු විදිහට කතා කළේ එයාගෙම අදහස්. ඔයාලා ඒ වගේ කෙනෙක්ට බය වෙන්න එපා.’

පාදසටහන්

ඒ කියන්නේ බොකු නැත්නම් බාබත්.
ඒ කියන්නේ නමස්කාර වැඩ වෙනුවෙන් යෙහෝවා තෝරගන්න ප්‍රධාන ස්ථානයට.
ඒ කියන්නේ දේවාලවල කපුවන් විදිහට වැඩ කරන.
හෝ, “නිර්දෝෂ.”