ද්විතීය කතාව 21:1-23

  • මිනී මැරුමක් ගැන තොරතුරු නැත්නම් (1-9)

  • වහලුන් අතරේ ඉන්න තරුණියක්ව විවාහ කරගන්න එක (10-14)

  • කුලුඳුලාගේ අයිතිය (15-17)

  • මුරණ්ඩු පුතෙක් (18-21)

  • කණුවක එල්ලන්නේ ශාප ලබපු කෙනෙක් (22, 23)

21  “හිතන්න, ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ තියෙන ඉඩමක කවුරු හරි කෙනෙක්ව මරලා දාලා තියෙනවා කියලා. එයාව මැරුවේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ.  එහෙම දෙයක් වුණොත් වැඩිමහල්ලන් සහ විනිශ්චයකරුවන්+ මිනිය තියෙන තැනට ගිහින් එතනට කිට්ටුවෙන්ම තියෙන නගරේ මොකක්ද කියලා බලන්න ඕනේ.  ඊටපස්සේ මිනිය තිබුණ තැනට ළඟින්ම තියෙන නගරේ ඉන්න වැඩිමහල්ලන් කවදාවත් වියගහක බැඳලා නැති, වෙන කිසිම වැඩකට අරගෙන නැති වැස්සියෙක්ව තෝරගන්න ඕනේ.  ඊටපස්සේ ඒ වැස්සියව දිය පහරක් ගලාගෙන යන නිම්නයකට අරගෙන යන්න. ඒ නිම්නය කවදාවත් හාලා නැති, බීජ වපුරලා නැති එකක් වෙන්න ඕනේ. එහෙට ගිහිල්ලා වැඩිමහල්ලන් වැස්සියගේ බෙල්ලට පහර දීලා ඌව මරන්න ඕනේ.+  “ඒ වෙලාවේදී ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කීපදෙනෙකුත් එතන ඉන්න ඕනේ. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුට සේවය කරන්නත්+ යෙහෝවාගේ නමින් සෙනඟට ආශීර්වාද කරන්නත්+ තෝරගෙන තියෙන්නේ එයාලවයි. දරුණු අපරාධයක් වුණ වෙලාවක ඒක විසඳන්නේ කොහොමද කියලා තීරණය කරන්න පත් කරලා තියෙන්නෙත් එයාලවයි.+  මිනිය තිබුණ තැනට කිට්ටුවෙන්ම තියෙන නගරේ ඉන්න ඔක්කොම වැඩිමහල්ලෝ එයාලාගේ අත් නිම්නයේදී මරපු වැස්සියට උඩින් හිටින්න අල්ලලා හෝදගන්න ඕනේ.+  ඊටපස්සේ එයාලා මෙහෙම කියන්න ඕනේ. ‘මේ මනුස්සයාගේ ලේ හැලුවේ අපි නෙමෙයි. ඒක කළේ කවුද කියලා අපි දැක්කෙත් නැහැ.  අනේ යෙහෝවා, ඔයා නිදහස් කරගෙන ආපු ඔයාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්+ පිටට මේ වරද දාන්න එපා. අහිංසක කෙනෙක්ගේ ලේ හලපු වරදින් ඔයාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන්න.’+ එතකොට එයාලට ඒ කෙනාගේ ජීවිතය වෙනුවෙන් වග කියන්න වෙන්නේ නැහැ.  එහෙම කරන එකෙන් යෙහෝවා ඉස්සරහා හරි දේ කරලා අහිංසක කෙනෙක්ගේ ලේ හලපු වරදින් නිදහස් වෙන්න ඔයාලට පුළුවන්. 10  “සතුරන් එක්ක යුද්ධ කරද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා වෙනුවෙන් සටන් කරලා සතුරන්ව පරාජය කරලා දුන්නාම ඔයාලා ඒ අයව වහලුන් කරගනියි.+ 11  ඒ වහලුන් අතරේ ඉන්න ලස්සන තරුණියකට ඔයාගේ හිත ඇදිලා ගිහින් එයාව විවාහ කරගන්න හිතුණොත් 12  ඔයාට පුළුවන් එයාව ගෙදරට එක්කගෙන යන්න. එයා එයාගේ ඔළුව බූ ගාලා නියපොතු කපලා 13  වහල්කමට ගත්ත වෙලාවේ ඇඳගෙන හිටපු ඇඳුම් අයින් කරන්න ඕනේ. ඊටපස්සේ එයාට පුළුවන් ඔයාගේ ගෙදර ඉන්න. එයාගේ මැරුණ අම්මායි, තාත්තායි ගැන වැලපෙන්න එයාට මාසයක් කල් දෙන්න.+ ඊටපස්සේ එයාව ඔයාගේ බිරිඳ විදිහට භාරගන්න. ඔයාලට අඹු සැමියන් විදිහට ජීවත් වෙන්න පුළුවන්. 14  හැබැයි ඔයාට එයාව එපා වුණොත් එයාට කැමති තැනකට යන්න අවසර දෙන්න.+ ඔයා එයාව බලෙන් විවාහ කරගත්ත නිසා එයාව සල්ලිවලට විකුණන්නවත් එයාට නපුරු විදිහට සලකන්නවත් ඔයාට අවසර නැහැ. 15  “පුරුෂයෙක්ට භාර්යාවන් දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. එක් කෙනෙක්ට එයා වැඩියෙන් ආදරේ කරනවා. ඒ දෙන්නාටම පුතාලා හිටියත් කුලුඳුල් පුතා හම්බුණේ එයා එච්චර ආදරේ කරන්නේ නැති බිරිඳගෙන් වෙන්න පුළුවන්.+ 16  එයා උරුමය බෙදද්දී කුලුඳුලාට අඩු සැලකිල්ලක් පෙන්නලා එයා ආදරේ කරන බිරිඳගේ පුතාට වැඩි සැලකිල්ලක් පෙන්නන්න එයාට බැහැ. කුලුඳුල් පුතාට ලැබෙන්න ඕනෙ අයිතිය එයා ආදරේ කරන බිරිඳගේ පුතාට දෙන්න අවසර නැහැ. 17  මොකද එච්චර ආදරේ කරන්නේ නැති බිරිඳගේ පුතා වුණත් එයා තමයි මුලින්ම ලැබුණ දරුවා.* කුලුඳුලා විදිහට එයාව පිළිගන්න. ඒ නිසා කුලුඳුලා විදිහට එයාගේ අයිතිය+ ඒ කියන්නේ හැම දේකින්ම කොටස් දෙක ගාණේ එයාට දෙන්න. 18  “කෙනෙක්ට හරිම මුරණ්ඩු, කැරලිකාර පුතෙක් ඉන්නවා කියලා හිතන්න. එයාගේ අම්මා හරි තාත්තා හරි කියන කිසිම දෙයක් එයා අහන්නේ නැහැ.+ කොච්චර උත්සාහ කළත් එයාව හදන්න බැරි නම්+ 19  එයාගේ දෙමාපියන් නගරේ දොරටුව ළඟ රැස් වෙන වැඩිමහල්ලන් ළඟට එයාව එක්කගෙන යන්න ඕනේ. 20  එයාලා වැඩිමහල්ලන්ට මෙහෙම කියන්න ඕනේ. ‘අපේ පුතා හරිම මුරණ්ඩුයි. කැරලිකාරයි. අපි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. එයා හරිම කෑදරයි.+ ඒ මදිවට බේබදුකමටත් වැටිලා.’+ 21  ඒ නගරේ ඉන්න පුරුෂයන් ඔක්කොම එකතු වෙලා එයාට ගල් ගහලා මරන්න ඕනේ. දුෂ්ටකම් කරන කෙනාව ඔයාලා අතරින් අයින් කරන්න. ඒ ගැන මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ආරංචි වුණාම එයාලට බයක් ඇති වෙයි.+ 22  “කෙනෙක් මරණ දඬුවම ලබන්න සුදුසු වරදක් කළොත් එයාව මරලා+ එයාගේ ශරීරය ලී කණුවක එල්ලලා තියන්න.+ 23  ඒත් මළ සිරුර මුළු රෑම ඒ කණුවේ එල්ලලා තියන්න එපා.+ එයාව ඒ දවස ඇතුළත තැන්පත් කරන්න. මොකද කණුවක එල්ලන්නේ දෙවියන්ගෙන් ශාපයක් ලබපු කෙනෙක්වයි.+ ඒ දවස ඇතුළත එයාව තැන්පත් කළේ නැත්නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන දේශය අපවිත්‍ර වෙයි.+

පාදසටහන්

හෝ, “පුරුෂ ශක්තියේ මුල්ම පලය.”