ද්විතීය කතාව 25:1-19
25 “දෙන්නෙක් අතරේ ආරවුලක් ඇති වුණොත් ඒක විසඳගන්න එයාලා විනිශ්චයකරුවන් ඉස්සරහට යන්න ඕනේ.+ විනිශ්චයකරුවන් ඒක විභාග කරලා නිදොස් කෙනා කවුද කියලත් වරදකරු කවුද කියලත් දැනුම් දෙයි.+
2 වරදකරු පහර ලබන්න වටින වරදක් කරලා තියෙනවා නම්+ විනිශ්චයකරු එයාට කියන්න ඕනෙ බිම දිගා වෙන්න කියලා. ඊටපස්සේ විනිශ්චයකරු ඉස්සරහා වරදකරුට පහර දෙන්න. එයාට කී පාරක් ගහන්න ඕනෙද කියලා තීරණය කරන්න ඕනෙ එයාගේ වරදේ බරපතළකම අනුවයි.
3 හැබැයි එයාට පහරවල් 40කට+ වඩා ගහන්න අවසර නැහැ. ඊට වඩා වැඩියෙන් ගැහුවොත් ඔයාලා ඉස්සරහා ඔයාලාගේ සහෝදරයා නින්දාවට පත් වෙයි.
4 “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා.+
5 “සහෝදරයන් කීපදෙනෙක් ඉන්න පවුලක එක සහෝදරයෙක් විවාහ වුණාට පස්සේ පුතෙක් ලැබෙන්න කලින් එයා මැරුණා කියලා හිතන්න. එයාගේ බිරිඳට වෙනත් පවුලක කෙනෙක් එක්ක විවාහ වෙන්න අවසර නැහැ. එයාගේ මස්සිනා එයාව විවාහ කරගෙන මස්සිනාගෙන් වෙන්න ඕනෙ යුතුකම ඉටු කරන්න ඕනේ.+
6 විවාහ වුණාට පස්සේ එයාලට හම්බ වෙන කුලුඳුල් පුතාව සලකන්න ඕනෙ මැරුණ සහෝදරයාගේ පුතෙක් හැටියටයි.+ එතකොට ඒ මැරුණ කෙනාගේ නම ගෙනියන්න කෙනෙක් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉඳියි.+
7 “ඒත් මැරුණ සහෝදරයාගේ බිරිඳව විවාහ කරගන්න එයා කැමති නැත්නම් ඒ වැන්දඹුව නගරේ දොරටුව ළඟ රැස් වෙන වැඩිමහල්ලන් ළඟට ගිහිල්ලා මෙහෙම කියන්න ඕනේ. ‘මගේ සැමියාගේ සහෝදරයා මාව විවාහ කරගෙන මස්සිනාගේ යුතුකම ඉටු කරන්න කැමති නැහැ. ඊශ්‍රායෙල් සෙනඟ අතරින් මගේ සැමියාගේ නම නැති වෙලා යයි කියලා දැන දැනත් එයා එහෙම කරන්න බැහැ කියනවා.’
8 එතකොට නගරේ වැඩිමහල්ලන් එයාට අඬගහලා එයාගෙන් ඒ ගැන අහන්න ඕනේ. ‘මම එයාව බඳින්න කොහොමටවත් කැමති නැහැ’ කියලා එයා කියන්න ඉඩ තියෙනවා.
9 එහෙම වුණොත් එයාගේ මැරුණ සහෝදරයාගේ බිරිඳ නගරේ වැඩිමහල්ලන් ඉස්සරහා මෙහෙම කරන්න ඕනේ. ඒ කෙනාගේ පාවහනක් ගලවලා+ මූණට කෙළ ගහලා ‘සහෝදරයා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න කැමති නැති කෙනෙක්ට කරන්න ඕනෙ මෙහෙමයි’ කියලා කියන්න.
10 එදායින් පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ එයාගේ පෙළපත හඳුන්වන්නේ ‘පාවහනක් ගලවපු කෙනාගේ පෙළපත’ කියලයි.
11 “පුරුෂයන් දෙන්නෙක් රණ්ඩු කරද්දී එක් කෙනෙක්ගේ බිරිඳ තමන්ගේ සැමියාගේ උදව්වට ඇවිත් එයාගේ සැමියාට ගහන කෙනාගේ ලිංගේන්ද්‍රියෙන් අල්ලගත්තොත්
12 එයාගේ අත කපලා දාන්න ඕනේ. එයාට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා.
13 “ඔයාලාගේ මලුවල නියම බර තියෙන මිනුම් පඩියකුයි, අඩු බර තියෙන මිනුම් පඩියකුයි තියාගන්න එපා.+
14 ඔයාලාගේ ගෙවල්වල ධාන්‍ය මනින්න නිවැරදි මිනුම් භාජනයකුයි, හොර මිනුම් භාජනයකුයි* තියාගන්න එපා.+
15 ඔයාලා ළඟ තියෙන්න ඕනෙ නියම බර තියෙන මිනුම් පඩි සහ මිනුම් භාජනයි. ඒ විදිහට ඔයාලා අවංකව වැඩ කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ලබා දෙන දේශයේ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි.+
16 අවංකව වැඩ කරන්නේ නැතුව වංචනික දේවල් කරන අයව ඔයාලාගේ දෙවි වන යෙහෝවා පිළිකුල් කරනවා.+
17 “ඔයාලා ඊජිප්තුවෙන් පිටත් වෙලා ඇවිත් ඔයාලාගේ ගමන යද්දී අමලෙක්වරුන් ඔයාලට කරපු දේ මතක තියාගන්න.+
18 ගමන් මහන්සිය නිසා හෙම්බත් වෙලා ඔයාලා අතරේ පිටිපස්සෙන්ම ආපු අයට එයාලා ඇවිත් පහර දුන්නා. එයාලට දෙවියන් ගැන කිසිම ගරුබියක් තිබුණේ නැහැ.
19 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන දේශයට ගියාම ඔයාලාගේ සතුරන්ගෙන් කිසිම හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න අවස්ථාව යෙහෝවා ඔයාලට දෙයි.+ එතකොට ඔයාලා අමලෙක්වරුන් කියන ජාතිය අහස යට ජීවත් වෙන කාටවත් ආයේ මතක් වෙන්නේ නැති විදිහට නැත්තටම නැති කරලා දාන්න ඕනේ.+ එහෙම කරන්න අමතක කරන්න එපා.