ද්විතීය කතාව 27:1-26

  • නීතිය ගල්වල ලියන්න (1-10)

  • ඒබාල් කන්ද ළඟදී සහ ගෙරිසීම් කන්ද ළඟදී (11-14)

  • ශාප ගැන කියයි (15-26)

27  ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන් එක්ක එකතු වෙලා මෝසෙස් සෙනඟට මෙහෙම අණ කළා. “අද මං ඔයාලට කියලා දෙන හැම ආඥාවක්ම පිළිපදින්න.  ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශයට ගියාම විශාල ගල් කීපයක් තෝරගෙන ඒවා කපරාදු කරන්න.*+  ඊටපස්සේ මේ නීතියට ඇතුළත් හැම දෙයක්ම ඒ ගල්වල ලියන්න. එතකොට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන ඒ දේශයට ඇතුල් වෙන්න ඔයාලට පුළුවන්. ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔයාලට පොරොන්දු වුණ ඒ දේශය ඇත්තටම කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන දේශයක්.+  ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වුණාට පස්සේ අද මං ඔයාලට අණ කරන විදිහටම ඒ ගල් කපරාදු කරලා ඒබාල්+ කන්දේ තියන්න.  තවත් ගල් ටිකක් අරගෙන ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පූජාසනයක් හදන්න. ඒ ගල් යකඩ ආයුධවලින් කපන්න එපා.+  ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් ඒ පූජාසනය හදන්න ඕනෙ ආයුධවලින් කපපු නැති ගල් පාවිච්චි කරලයි. ඊටපස්සේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඒක උඩ දවන පූජා ඔප්පු කරන්න.  හවුල් පූජාත්+ ඔප්පු කරලා එතනදීම ඒවායින් කන්න.+ ඒ විදිහට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සතුටු වෙන්න.+  මේ නීතියේ තියෙන හැම දෙයක්ම ඒ ගල්වල පැහැදිලිව ලියන්න.”+  ඊටපස්සේ මෝසෙස් සහ ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, නිශ්ශබ්ද වෙලා හොඳට ඇහුම්කන් දෙන්න. අද ඉඳලා ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට අයිති සෙනඟ වෙනවා.+ 10  ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට ඇහුම්කන් දෙන්න ඕනේ. මම අද ඔයාලට කියලා දෙන ඔහුගේ ආඥා+ සහ නියෝග පිළිපදින්න.” 11  එදා මෝසෙස් සෙනඟට මෙහෙම අණ කළා. 12  “ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වුණාට පස්සේ සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර්, යෝසෙප් සහ බෙන්ජමින් කියන ගෝත්‍ර ගෙරිසීම්+ කන්ද ළඟ රැස් වෙන්න ඕනේ. එයාලා එතනට රැස් වෙන්නේ සෙනඟට ලැබෙන ආශීර්වාද ගැන කියන්නයි. 13  රූබෙන්, ගාද්, ආෂෙර්, සෙබ්‍යූලන්, දාන් සහ නෆ්තලී කියන ගෝත්‍ර ඒබාල්+ කන්ද ළඟ රැස් වෙන්න ඕනේ. එයාලා එතනට රැස් වෙන්නේ සෙනඟට ලැබෙන ශාප ගැන කියන්නයි. 14  රැස් වෙලා ඉන්න හැම ඊශ්‍රායෙල්වරයෙක්ටම ඇහෙන්න ලෙවීවරුන්* පැහැදිලිව මෙහෙම කියන්න ඕනේ.+ 15  “‘ලීවලින් හරි ලෝහවලින්+ හරි මිනිස්සු හදන රූප+ යෙහෝවාට පිළිකුලක්.+ කෙනෙක් ඒ වගේ රූපයක් හදාගෙන කාටත් හොරෙන් ඒකට නමස්කාර කරනවා නම් ඒ කෙනාට ශාප වේවා!’ (ඒකට හැමෝම ‘ආමෙන්’* කියලා කියන්න ඕනේ.) 16  “‘තමන්ගේ අම්මාටයි, තාත්තාටයි ගෞරවයෙන් සලකන්නේ නැති කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 17  “‘තමන්ගේ අසල්වැසියාගේ ඉඩමේ මායිම වෙනස් කරන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 18  “‘අන්ධ කෙනෙක්ව නොමඟ යවන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 19  “‘ඔයාලා අතරේ ඉන්න විදේශිකයෙක්ට හරි තාත්තා නැති දරුවෙක්ට හරි වැන්දඹුවකට හරි+ මොනවා හරි අසාධාරණයක් කරන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 20  “‘තමන්ගේ තාත්තාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා තාත්තාට අගෞරව කරන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 21  “‘සතෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 22  “‘තමන්ගේ සහෝදරිය එක්ක ඒ කියන්නේ තාත්තාගේ දුව එක්ක හරි අම්මාගේ දුව එක්ක හරි ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 23  “‘නැන්දම්මා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 24  “‘මඟ රැකගෙන ඉඳලා අසල්වැසියාව මරලා දාන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 25  “‘අහිංසක කෙනෙක්ව මරලා දාන්න* අල්ලසක් ගන්න කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) 26  “‘මේ නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්නේ නැති කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)

පාදසටහන්

හෝ “සුදු හුණු ගාන්න.”
මෙතන කතා කරන්නේ ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් ගැන වෙන්න පුළුවන්.
හෝ, “එසේම වේවා!”
හෝ, “කෙනෙක්ට පහර දීලා මරන්න.”