ද්විතීය කතාව 31:1-30

  • මෝසෙස් මැරෙන්න ළඟයි (1-8)

  • නීතිය හැමෝටම ඇහෙන්න කියවන්න (9-13)

  • යොෂුවාව පත් කරයි (14, 15)

  • ඊශ්‍රායෙල්වරු කැරලිගහනවා කියලා කලින්ම කියයි (16-30)

    • ඊශ්‍රායෙල්වරුන්ට උගන්නන්න ගීතයක් (19, 22, 30)

31  මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟ ළඟට ගිහින්  එයාලට මෙහෙම කිව්වා. “දැන් මට අවුරුදු 120ක් වෙනවා.+ යෙහෝවා මට කිව්වා ‘ඔයා යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්නේ නැහැ’+ කියලා. ඉතින් මට දිගටම ඔයාලාගේ නායකයා විදිහට වැඩ කරන්න ලැබෙන්නේ නැහැ.  ඒත් ඔයාලා ගඟෙන් එගොඩ වෙද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ඉස්සරහින් යයි. ඔහු ඔයාලාගේ ඇස් පනාපිටම මේ ජාතීන්ව නැත්තටම නැති කරලා දායි. එතකොට ඔයාලා එයාලාගේ දේශය අයිති කරගනියි.+ හැබැයි යෙහෝවා කියපු විදිහටම ඔයාලා ගඟෙන් එගොඩ වෙද්දී ඔයාලට නායකත්වය දෙන්නේ යොෂුවායි.+  යෙහෝවා අමෝරිවරුන්ගේ රජවරුන් වුණ සීහොන්ව,+ ඕග්ව+ සහ එයාලාගේ දේශ නැත්තටම නැති කළා වගේ මේ දේශයේ ඉන්න ජාතීන්වත් නැති කරලා දායි.+  ඒ ජාතීන්ව පරාජය කරන්න යෙහෝවා ඔයාලට උදව් කරයි. ඒ ජාතීන්ට කරන්න කියලා මම ඔයාලට අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම කරන්න.+  දැන් හිතට ධෛර්යය ගන්න. එඩිතරව ඉන්න.+ කිසි දේකට බය වෙන්න එපා.+ මොකද ඔයාලා සටනට යද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ඉස්සරහින් යනවා. ඔහු කවදාවත් ඔයාලව තනි කරන්නෙවත් අත්හැරලා යන්නෙවත් නැහැ.”+  ඊටපස්සේ මෝසෙස් යොෂුවාට එන්න කියලා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා එයාට මෙහෙම කිව්වා. “ඔයා හිතට ධෛර්යය අරන් එඩිතරව ඉන්න.+ යෙහෝවා මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වුණ දේශයට මේ සෙනඟව අරගෙන යන්නේ ඔයායි. ඒ දේශය උරුමයක් හැටියට එයාලට ලබා දෙන්නේ ඔයායි.+  ඔයා සටනට යද්දී ඔයාගේ දෙවි වන යෙහෝවා ඔයාට ඉස්සරහින් යනවා. ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.+ ඔහු කවදාවත් ඔයාව තනි කරන්නෙවත් අත්හැරලා යන්නෙවත් නැහැ. ඒ නිසා කිසි දේකට බය වෙන්න එපා.”+  ඊටපස්සේ මෝසෙස් නීතියට ඇතුළත් හැම දෙයක්ම ලියලා+ යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන යන ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන්ටයි, ඊශ්‍රායෙල්වරුන් අතරේ හිටපු වැඩිමහල්ලන් හැමෝටමයි ඒක භාර දුන්නා. 10  මෝසෙස් එයාලට මෙහෙම අණ කළා. “හැම අවුරුදු හතකට සැරයක්ම එන සහන අවුරුද්දේ+ පැල්* උත්සවය+ පවත්වන කාලේදී 11  මුළු ඊශ්‍රායෙල් සෙනඟම ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට ඇවිත් ඔහු ඉස්සරහා රැස් වුණාම+ හැමෝටම ඇහෙන්න ඔයාලා මේ නීතිය කියවන්න ඕනේ.+ 12  පුරුෂයන්, ස්ත්‍රීන්, දරුවන්* සහ ඔයාලාගේ නගරවල ජීවත් වෙන විදේශිකයන් ඇතුළු හැමෝවම එකට රැස් කරන්න.+ එතකොට නීතියට සවන් දෙන්න එයාලට පුළුවන්. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ගැන ඉගෙනගන්නත් ඔහුට ගරුබිය දක්වන්නත් නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්නත් ඒකෙන් එයාලට පුළුවන් වෙයි. 13  ඒ වගේම මේ නීතියේ තියෙන දේවල් ගැන දැනගෙන හිටියේ නැති එයාලාගේ දරුවන්ටත් ඒකට සවන් දෙන්න පුළුවන්.+ යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ඔයාලා අයිති කරගන්න දේශයේ ජීවත් වෙන තාක් කල් ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ගරුබිය දක්වන්න එතකොට එයාලා ඉගෙනගනියි.”+ 14  ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා තව වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ.+ දැන් යොෂුවාත් එක්ක හමු වීමේ කූඩාරම ළඟට යන්න. මං එයාව නායකයා විදිහට පත් කරන්නම්.”+ ඉතින් මෝසෙස් යොෂුවා එක්ක හමු වීමේ කූඩාරම ළඟට ගියා. 15  එතකොට යෙහෝවා එතනට ආවා කියලා කූඩාරමට ඇතුල් වෙන තැන තිබුණ වලා ටැඹෙන් දිස් වුණා.+ 16  යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “තව ටික දවසකින් ඔයා මැරෙනවා. ඔයාගේ මරණෙන් පස්සේ මේ සෙනඟ මට ද්‍රෝහි වෙනවා.* එයාලා යන දේශය අවට ඉන්න වෙනත් ජාතීන්ගේ දෙවිවරුන්ට එයාලා නමස්කාර කරන්න පටන්ගන්නවා.+ එයාලා මාව අත්හැරලා ගිහින්+ මම එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩලා දානවා.+ 17  එතකොට මගේ කේන්තිය එයාලට විරුද්ධව ඇවිළෙයි.+ මම එයාලව අත්හැරලා දානවා.+ එයාලා විනාශ වෙලා යන කල් මම අහක බලාගෙන ඉන්නවා.+ ගොඩක් විපත්තිවලට සහ කටුක දේවලට මුහුණ දුන්නාට පස්සේ+ එයාලා මෙහෙම කියයි. ‘අපේ දෙවියන් අපිත් එක්ක නැති නිසයි අපි මේ විපත්තිවලට මුහුණ දෙන්නේ.’+ 18  ඒත් එයාලා වෙනත් දෙවිවරුන් පස්සේ ගිහින් ගොඩක් දුෂ්ට දේවල් කරපු නිසා මම එයාලා දිහා බලන්නෙවත් නැහැ.+ 19  “දැන් ඔයාලා මේ ගීතය ලියාගෙන+ ඒක ඊශ්‍රායෙල් සෙනඟට උගන්නන්න.+ එයාලට ඒක කටපාඩම් කරගන්න කියන්න. මං දීපු අනතුරු ඇඟවීම් මේ ගීතයෙන් ඊශ්‍රායෙල් සෙනඟට මතක් කරලා දෙයි.+ 20  එයාලාගේ මුතුන්මිත්තන්ට මම පොරොන්දු වුණ+ කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන+ දේශයට මම එයාලව අරගෙන ගියාම එයාලා හොඳට කාලා බීලා තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.+ එහෙම ඉද්දී එයාලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගනියි. මම එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කරලා මට අගෞරව කරයි.+ 21  ඒ නිසා එයාලා විපත්තිවලට සහ කටුක දේවලට මුහුණ දෙයි.+ එතකොට මම දීපු අනතුරු ඇඟවීම් මේ ගීතයෙන් එයාලට මතක් කරලා දෙයි. ඒ නිසා එයාලාගෙන් පැවතෙන අය මේ ගීතය අමතක නොකර ඉන්න වගබලා ගන්න ඕනේ. මම මේ දේ කියන්නේ මම එයාලට දෙන්න පොරොන්දු වුණ දේශයට එයාලව අරගෙන යන්නත් කලින් එයාලාගේ හිතේ වැරදි ආකල්ප තියෙනවා කියලා මට හොඳටම පේන නිසයි.”+ 22  එදා මෝසෙස් ඒ ගීතය ලියාගෙන ඊශ්‍රායෙල් සෙනඟට ඒක කියලා දුන්නා. 23  ඊටපස්සේ ඔහු* නූන්ගේ පුතා වුණ යොෂුවාව+ නායකයා හැටියට පත් කරලා එයාට මෙහෙම කිව්වා. “හිතට ධෛර්යය ගන්න. එඩිතරව ඉන්න.+ මම ඊශ්‍රායෙල් සෙනඟට දෙනවා කියලා පොරොන්දු වුණ දේශයට එයාලව අරන් යන්නේ ඔයායි.+ මම ඔයාත් එක්කම ඉන්නවා.” 24  මෝසෙස් නීතියට ඇතුළත් හැම දෙයක්ම ලියවිල්ලක ලියලා ඉවර වුණාට පස්සේ+ 25  යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන යන ලෙවීවරුන්ට මෙහෙම අණ කළා. 26  “නීතිය සඳහන් වෙන මේ ලියවිල්ල අරගෙන+ ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය ළඟින් තියන්න.+ ඒක හරියට සාක්ෂිකරුවෙක් වගේ දෙවියන්ට විරුද්ධව ඔයාලා කරන දේවලට සාක්ෂි දෙයි. 27  මොකද මම හොඳටම දන්නවා ඔයාලා හරිම මුරණ්ඩු,+ කැරලිකාර+ සෙනඟක් කියලා. මං ජීවත් වෙලා ඉද්දී ඔයාලා යෙහෝවාට විරුද්ධව මෙහෙම කැරලිගහනවා නම් මං මැරුණාම කොහොම කැරලිගහයිද! 28  දැන් ඔයාලාගේ ගෝත්‍රවල ඉන්න වැඩිමහල්ලන්වයි, නිලධාරීන්වයි මං ළඟට රැස් කරන්න. මම මේ වචන එයාලට ඇහෙන්න කියන්නම්. ඒ වගේම මම කැමතියි ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැමෝවම එයාලට විරුද්ධව සාක්ෂිකරුවන් විදිහට ගන්න.+ 29  මම හොඳටම දන්නවා මම මැරුණාට පස්සේ ඔයාලා හරිම දුෂ්ට විදිහට වැඩ කරනවා කියලා.+ ඔයාලා මම කියලා දුන්න මාර්ගයෙන් ඉවත් වෙලා යනවා කියලත් මං දන්නවා. ඒ නිසා ඉස්සරහට ඔයාලට අනිවාර්යයෙන්ම විපත්තිවලට මුහුණ දෙන්න වෙයි.+ එහෙම වෙන්නේ ඔයාලා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරලා ඔහුව කේන්ති ගස්සන නිසයි.” 30  ඊටපස්සේ මෝසෙස් ඒ ගීතයේ වචන මුල ඉඳන් අග වෙන කල් මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ඇහෙන්න කියෙව්වා.+ ඒ ගීතය තමයි මේ.

පාදසටහන්

හෝ, “තාවකාලික මඩු.”
මූ.අ., “කුඩා දරුවන්.”
ඒ ද්‍රෝහිවීම හරියට කෙනෙක් අනාචාරයේ යෙදෙනවා වගෙයි.
පේන විදිහට දෙවියන්.